ඉතාම චාම් සහ සරල ලෙස මෙවර නත්තල සමරමු – රොෂාන් ප්‍රනාන්දු පියතුමා,

රොෂාන් ප්‍රනාන්දු පියතුමා, අංශ ප්‍රධාන, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයන අංශය, කැළණිය විශ්වවිද්‍යාලය

  • නත්තල ගැන අපිට සාම්ප්‍රදායික අරුත් ගණනාවක් තිබෙනවා. එම සම්ප්‍රදායික අරුත් අදටත් වලංගු ද ?

නත්තලේ අරුත සන්දර්භීකරණය කළ යුතුයි. එසේ නොකර එය තේරුම් ගැනීම අපහසුයි. අපි අති බිහිසුණු ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීලා සති කිපයක් පමණයි ගෙවී ගිහින් තියෙන්නේ. මේ අවස්ථාවේ නත්තලේ සැබෑ අර්ථය පෙරට පැමිණිය යුතුයි, ඉදිරියට ගත යුතුයි. නැතිනම් අවුල්. නත්තල ගැන හැමදාම කිව්වේ සරුවපිත්තල කතාවක්. ගව ලෙනේ නත්තලක් නොමේ අපි සැමරුවේ, ඒක තානායමක ගන්න උත්සවයක් වාගේ සැමරුවේ, මල් මල් එකක් තිබුණේ. ඒ නිසා මෙවරවත් නත්තලේ සැබෑ අරුත ඉලිප්පෙන්න සැලැස්විය යුතුයි.

  • ඔබ කියන ආකාරයට නත්තලේ සැබෑ අරුත කුමක් ද ?

ජේසුස් වහන්සේ දේවත්වයේ සිට මනුෂ්‍යත්වයට ආවා, මහ පොළවට ආවා. අම්මෙකුට, තාත්තෙකුට දාව පවුලකට පැමිණියා. මේ පවුල පුද්ගලික පවුලක් නෙමෙයි, ඒක මහා විශ්වීය පවුලක්, උන් වහන්සේ ඒ විශ්වීය පවුල තුළ ඉපදුණා. උන් වහන්සේ උප්පත්තිය ලැබුවේ ඒ මහා විශ්වීය පවුල තුළයි. නත්තල කියන්නේ ‘මාංශගත වීමේ මංගල්‍යය’, මිනිස් බව ගැනීමේ මංගල්‍යය, දෙවියෝ මනුෂ්‍යත්වය වැළඳ ගැනීමේ මංගල්‍යය, මිනිසාගේ දුක, වේදනාවට පැමිණීමේ මංගල්‍යය. දැන් මිනිස්සු ඉන්නේ හරිම දුකෙන්, වේදනාවෙන් ඉන්නේ, සියල්ල නැතිවෙලා ඉන්නේ. මේ වගේ තත්ත්වයක් තුළ අපි නත්තල සමරන්නේ කොහොමද ?. සියල්ලම අහිමි වුණ විශාල පිරිසක් අපි අසල ඉන්න මේ මොහොතේ අපි නත්තල සමරන්නේ කොහොමද ?. මේ ව්‍යවසනයෙන් ලොකු බලපෑමක් සිදු නොවුණ අපට නිකං බාල් නටන්න පුළුවන් ද ?, මගේ අදහස නම් බැහැ.

  • ඔබ කියන ආකාරයට අපි මෙවර නත්තල සැමරිය යුත්තේ කෙසේ ද ?

අපි මේක සංවේදීව, විපතට, දුකට, වේදනාවට පත් වූවන් ගැන හිතලා අපි නත්තල සැමරිය යුතුයි. ඒ අනුව මෙවර නත්තල ඉතාම චාම්, සරල නත්තලක් විය යුතුයි. අපේ තිබෙන දේවල් බෙදා හදා ගන්න පුළුවන් නත්තලක් විය යුතුයි. ළමයි, විශේෂයෙන් තරුණ ළමයි මේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඉතාම සරලව, චාම් ආකාරයට මෙවර නත්තල සමරන්න ඔවුන් සිතට ගත යුතුයි. අලුත් ඇඳුම් පැළඳුම් මිල දී ගැනීම, ගෙවල්වල අලුතින් තීන්ත ගෑම, නිමක් නැති ආටෝප වලට වියදම් කිරීම ගැන අපි මෙවර දෙවරක් නොව සිය දහස් වාරයක් කල්පනා කළ යුතුයි.

  • ඔබ මෙවැනි දැඩි ප්‍රකාශයක් කරන්නේ ඇයි ?

අපි හැම දෙනාම දන්නවා දිව්ටා සුළි කුණාටුවෙන් සිය ගණනක් මිය ගියා, අතුරුදන් වුණා, ගෙවල් දහස් ගණනක් විනාශ වුණා, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් වුණා, අදත් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් කඳවුරුවල ඉන්නවා. මෙවැනි පසුබිමක් තුළ අපට සාටෝපකාරී ලෙස නත්තල සමරන්න පුළුවන් ද ?. මම කියන කතාව ඇතැමුන්ට රිදෙන කතාවක් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඇත්ත. සියලුම කතෝලික ආගමික නායකයෝ කියන්න ඕනෑ ‘මෙවර නත්තල ඉතාම චාම්, අල්පේච්ඡ සහ අනෙක් අය ගැන හිතන, දුගියා ගැන හිතන, පීඩාවට පත් වුණ ජනතාව ගැන හිතන, නිවාස අහිමි වුණ ජනතාව ගැන හිතන, පොත පත නැති වුණ දරුවෝ ගැන හිතන නත්තලක් විය යුතුයි. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව. අන්න එහෙම හිතුවොත් අපට මේ නත්තල සතුටින් සමරන්න පුළුවන්.

නාය ගිය දේපොළ, වස්තුව ගොඩගන්න පුළුවන්, නැති නම් නැවත උපයා ගන්න පුළුවන්. නමුත් අපේ වටිනාකම් නාය ගියොත් ඒවා යළි කවදාවත් ගොඩගන්න බැහැ, උපයා ගන්න බැහැ. ඒ නිසා අපේ වටිනාකම් නායයෑමට ඉඩ නොදිය යුතුයි. අපි ඒවා ආරක්ෂා කර ගෙන කටයුතු කළ යුතුයි. ඒවායේ වටිනාකම සමාජයට වටහා දිය යුතුයි. ඒ නිසා මෙවර නත්තල විශේෂ  නත්තල්. මං මේ ගැන ප්‍රසිද්ධියේ කියා තිබෙනවා, මෙවර නත්තලට කැරොල් සංදර්ශන කිසිවක් නෑ, අපි ඉතාම චාම් ලෙස මේක සමරනවා. අපි පුළුවන් විදිහට විපට පත් වුණ ජනතාවට සේවය කරනවා. මම සියලුම කතෝලිකයින්ගෙන් ඉල්ලා සිටිනේ අපි අපිට පුළුවන් උපරිම ආකාරයෙන් මේ නත්තලේ දී විපතට පත් ජනතාවට, දුකට, චේදනාවට පත් ජනතාවට සහනයක් ලබා දෙමු කියලයි. අපි එහෙම කළොත් පමණයි ජීවමාන නත්තලක් සමරන්නේ. මම මේ අදහස සාරාංශ කරන්නම්, අපේ වටිනාකම් නායයෑමට නොදී ඒවා ආරක්ෂා කර ගත යුතුයි.

  • මේ වන විට අපේ කතෝලික ජනතාව නත්තලට දක්වන සූදානම ගැන ඔබ වහන්සේට අදහසක් තිබෙනවා ද ?

අපේ කතෝලික ජනතාව මේ ව්‍යසනයට ලක් වුණ ජනතාවට අත දෙන්න සූදානම්. ඒක හොඳ අදහසක්. නමුත් ඔවුන්ගේ මේ යහපත් අදහසට වෙළෙඳ ලෝකය ඉඩ දෙයි ද ? කියන එක ප්‍රශ්නයක්. ව්‍යාපාරිකයින් කොහොම හරි බලන්නේ ඔවුන්ගේ ජාවාරම් ටික කර ගන්න, උපරිම ලාභයක් උපයා ගන්න. ඔවුන් පසුගිය කාලය පුරාම නත්තල වාණිජ්‍යකරණය කළා. ඒක අදත් දැක ගන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍යයි නත්තල ව්‍යාපාරයක් බවට පත්කර ගන්න. ඒ නිසා ඔවුන් කළ හැකි සෑම දෙයක්ම කරනවා. නමුත් වෙන නත්තල්වලට වඩා මෙවර මේ ව්‍යාපාරික බලපෑම සැලකිය යුතු ලෙස අඩු වෙලා තිබෙන බවකුත් පේන්න තියෙනවා. වෙන නත්තල්වලට වඩා මෙවර ලයිට්ස් නැහැ, සැරසිලි නැහැ, සද්ද බද්ද නෑ, නත්තල් සීයලා පාරේ දඟලන්නේ නැහැ, පාරවල් දිගේ බඩුමූට්ටු විකුණන එක අඩුයි. මේක හොඳ ලක්ෂණයක්.

  • නත්තල සහ දුගියා අතර සම්බන්ධයක් තිබෙනවා ද ?

නත්තල කියන්නේ නැති කෙනා, දුගියා සමඟ බෙදා ගැනීමක්, ආදර නැති තැනට  ආදරය දිම, ගොඩ නොවන තැනට ගොඩවීම, කතා නොකරන කෙනා සමඟ කතා කිරීම, නොයන තැන්වලට යෑම, සමාව නැති තැන සමාව දිම, තේරුම් නොගන්නා තැන තේරුම් ගැනීම, ඉවසීම නැති තැන ඉවසිම මේවා තමයි නත්තල තුළ පැවතිය යුතු ගුණධර්ම. මේ ගුණධර්ම රැක ගැනීම තුළ තමයි නත්තලේ සැබෑ අරුත ඉටු වෙන්නේ. මේ ව්‍යවසනය තුළ මේ ගුණ ධර්ම රැක ගැනීම ගැන යළි උනන්දුවක් ඇති වුණා, කැමැත්තක් ඇති වුණා.

  • නත්තල් පණිවුඩයක් ගැන සෑම නත්තලකම කතා වෙනවා නේද ?, මොකක්ද ඒ පණිවුඩය ?

ඔව්, නත්තල් පණිවුඩය නිරන්තරයෙන් අපි අතර කියවෙන්න ඕනෑ. එ් පණිවුඩය තමයි, ‘මිනිස්සු මිනිස්කම ඇතිව ජීවත් විය යුතුයි’. මෙහිදී බොරු නොකළ යුතුයි, රැවටීම නොකළ යුතුයි, අනෙක් කෙනාගේ දේවල් කඩාවඩා නොගත යුතුයි, අසාධාරණකම්, අනීතිකකම් නොකළ යුතුයි. ඔවුන් ඉතාම අවංකව මේ ගමන යා යුතුයි. මම හිතන ආකාරයට පසුගිය ස්වභාවික ව්‍යසනය අපිට යම් කිසි සංඥාවක් දුන්නා.

  • බටහිර ලෝකය සහ අපිත් අයිති වන පෙරදිග ලෝකය අතර නත්තලේ අරුත සමාන ද ?

මේ ලෝක දෙක අතර ඉතාම පැහැදිලි වෙනස්කම් ගණනාවක් තිබෙනවා. බටහිර ලෝකයට නත්තල කියන්නේ සැමරුම් උත්සවයක් පමණයි. උපන් දින සැමරුමක් පමණයි. ඔවුන්ට අනුව ජේසුගේ උපන් දින පාටිය උපරිමයෙන් ගන්න ඕනෑ. ඒ අනුව ඔවුන්ට මේක හුදෙක් බාහිර සැමරුමක් පමණයි. ඒකට හේතුව තමයි බටහිර ලෝකයට ප්‍රශ්න නැහැනේ. ජාති ප්‍රශ්න නැහැ, ආගම් ප්‍රශ්න නැහැ, මුදල් ප්‍රශ්න නැහැ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය සැමරුම් උත්සව පමණයි. එහිදීත් ඔවුන්ට අවශ්‍ය බාහිර සැමරුම් උත්සව පමණයි.

නමුත් පෙරදිග, විශේෂයෙන් ආසියාවේ වැඩිපුරම තියෙන්නේ දරිචද්‍රතාවය, දුප්පත්කම,  අපිට නිමක් නැති ප්‍රශ්න තියෙනවා, ජාති භේද, ආගම් භේද, පංති භේද තියෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම උපරිමයෙන් තියෙනවා. හැම දේටම, හැම වෙලාවේම ගහ මරා ගන්නවා, ඇණකොටා ගන්නවා. ඒ අතරේ ආසියාවේ ආගමිකත්වයත් උපරිමයෙන් තියෙනවා, ඒකටම ගැළපෙන ලෙස දරිද්‍රතාවයත් උපරිමයෙන් තියෙනවා. ඔවුන්ට ආගම සම්බන්ධයෙන් තියෙන්නේ භක්තියක්. ඔවුන් ආගමේ ආධ්‍යාත්මිකත්වය, ප්‍රතිපත්ති එක්ක යන ගමනකට වඩා ආගම ඔළුව උඩ තියාගෙන යනවා, හරියට පූජා වට්ටියක් වාගේ.

නමුත් ආගම කියන්නේ ඊට වඩා ආධ්‍යාත්මික කතාවක්, ඒක ප්‍රතිපදාවක්. පල්ලි යනවා, පන්සල් යනවා කියන එක නෙමෙයි ආගම අනුව ජීවත් වෙනවා කියන්නේ. බුදුන් වහන්සේ උපුටා දක්වන්නේ නම්, ධර්ම අනුව ජීවත් විය යුතුයිනේ.  ධර්මයේ හැසිරිය යුතුයි, ධර්මය තුළ ජීවත් විය යුතුයි. නමුත් ආසියාවේ අපි ධර්මයට වඩා ආගමත් එක්ක ගමයි ගනුදෙනු කරන්නේ, ගමන් කරන්නේ. පෙරහැර, සැරසිලි, පන්සල, පල්ලිය, කෝවිල, පිළිම, මංගල්‍ය, ලයිට් ඒවත් එක්ක තමයි අපි යන්නේ. මේවත් එක්ක ගියාම ඇතුලාන්තයට කිසිවක්ම නැහැ, බාහිර සතුටක් පමණක් ලැබෙනවා. සුන්දර සතුටක්, ආතල් එකක් ලැබෙනවා, එච්චරයි. නමුත් සතුට, ප්‍රීතිය කියන්නේ වෙනස් දෙයක්. තමන්ට කිසිම දෙයක් නැති වුණත් ඇතුලාන්තයේ සතුට, ප්‍රීතිය රැක ගත යුතුයි. බෙදා හදා ගැනීම තුළින් මේ සතුට සොයා ගත යුතුයි, ලබා ගත යුතුයි. අන්න එවිට තමයි සැබෑ සතුට, ප්‍රීතිය භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ.

මේ අනුව අපට පැහැදිලිව පේනවා බටහිර සහ අපරදිග කිසිසේත්ම සැසදිය නොහැකි බව. අපි ඉන්නේ ලොකු ආගාධයක. අපි මේ ආගාධයේම සිටිමින් බටහිර යන පාරේ ගියොත් තවත් ලොකු අර්බුදයකට යනවා.

  • සිංහල බෞද්ධ ජනතාව අතර, විශේෂවෙන් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර නත්තල සැමරීමේ උනන්දුවක් අපි දකිනවා. ඔබ වහන්සේ මේ ගැන නිරීක්ෂණය කර තිබෙනවා ද ?

මේ ව්‍යසනයත් එක්ක නත්තල සමරන්න නෙමෙයි ඒක ගැන හිතන්නවත් වේලාවක් නැහැ, හැකියාවක් නැහැ. නත්තලේ සැබෑ අරුත, පණිවුඩය නොදන්න කෙනා හිතන්නේ නත්තල හුදෙක් භෞතික, බාහිර සහ ලෞකික උත්සවයක් පමණක් කියලා. කූඩු වලින්, තොරණ් වලින් අපට වෙසක් එකේ තිබෙන ආධ්‍යාත්මික වටිනාකම තේරුම් ගන්න බැහැනේ. ඒවත් එක්ක ආමිස වටිනාකම් ගන්න බැහැනේ. මිනිස්සු කොතරම් මානුෂික ද, ප්‍රතිපත්ති එක්ක ජීවත් වෙනව ද කියලා තොරණ් වලින්, කූඩු වලින් මනින්න බැහැනේ. නමුත් මිනිස්සු බලන්නෙම බාහිර දේවල්. ඒ නිසයි මේ සියල්ල වෙලා තියෙන්නේ.

  • මේ සම්බන්ධ වගකීම තියෙන්නේ කාටද ?

නත්තල වේවා, වෙසක් උත්සවය වේවා මේවායේ සැබෑ අරුත වෙත තමන්ගේ ප්‍රජාව ගැනීමේ වගකීම වැඩිහිටියන්ට සහ ආගමික නායකයින්ට තිබෙනවා. නමුත් අපි ඒක සිදු නොවන බව දකිනවා. බොහෝ ආගමික නායකයින්ට බාහිර ආටෝපය, පුරාජේරුව වටිනවා, අවශ්‍ය කරනවා. නමුත් අපි ඊට එහා ප්‍රතිපත්තිමය තැනකට යා යුතුයි. විවිධ ආගම් විවිධාකාර මාර්ග ඔස්සේ මේ ගමන යනවා. පොඩි ළමයෙක් නත්තල් ගසක් හදන එක, ගව ලෙනක් හදන එක, නත්තල් සීයට ලියුම් ලියන එක වෙනම කතාවක්. ඔවුන් ඒ තුළ කිසියම් සුන්දරත්වයක් අත්දකිනවා. නමුත් නත්තල හෝ වෙසක් උත්සවය කියන්නේ හුදෙක් සැරසිල්ලක් පමණක් නෙමෙයි කියන එක අප වටහා ගත යුතුයි. ඒ වටිනාකම අපි කුඩා දරුවන්ට පහදා දිය යුතුයි, අවබෝධ කර දිය යුතුයි. අපේ ජීවිත විතරක් සරසා ගෙන වැඩක් නැති බව, අපි පමණක් කුස පුරවා ගෙන වටිනාකමක් නැති බව අපි අපේ දරුවන්ට කියා දිය යුතුයි. තමන්ගේ දරුවන්ට මේ අවබෝධය ලබා දීමේ වගකීම වැඩිහිටියන්ට තියෙනවා.

  • මෙවර නත්තල සැමරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් කතෝලික බැතිමතුන්ගෙන් කරන්න ඉල්ලීමක් තිබෙනවා ද ?

මම මුලින්ම ඉල්ලන්නේ නත්තල කියලා පරිසරය විනාශ කරන්න එපා. හේතුව, නත්තල කියන්නේ පරිසරයේ මහා මංගල්‍යය, ඒක විශ්වීය මංගල්‍යයක්, සමස්ත ලෝකයටම පණිවුඩයක් ගෙන ආ මංගල්‍යයක්, ජීවයක් ගෙන ආ මංගල්‍යයක්. අපේ මිඳුලේ හොඳ කොළ පාට ගහක් තියා ගෙන තවත් ගහක් කපා ගෙන ඇවිත් ගේ අස්සට දා ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. ඒකට සරුවපිත්තල සුකුරුත්තන් ටිකක් එල්ලන එකේ කිසිම වටිනාකමක් නැහැ. ගව ලෙන කියලා කරන සමහර දේවල් බලා ඉන්න බැරි තරම් හාස්‍යජනකයි. ගව ලෙනේ සැබෑ අරුත අපි වටහා ගත යුතුයි. නත්තල වෙනුවෙන් කරන විශාල නාස්තිය (කාලය, මුදල්, පරිසරය, ආහාර පාන, විදුලිය, ඇඳුම් පැළඳුම්) නතර කළ යුතුයි. අපට අවශ්‍ය ප්‍රමාණයට, අවශ්‍ය දේවල් පමණක් ලබා ගත යුතුයි. උත්සව ප්‍රමාණයට ගත යුතුයි, මම මුලින් සඳහන් කළ ආකාරයට ඉතාම සරලව, චාම් ලෙස මෙවර නත්තල සමරුම කියලා මම අපේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මම නැවත නැවත අවධාරණය කරන්නේ මේ පාපකාරී නාස්තිය වළක්වා ගන්න කියන එකයි. නත්තල සමරන්න එපා කියලා මම කිසිම අවස්ථාවක කියන්නේ නැහැ.

රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 21 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි

සටහන – භාතිය බරුකන්ද

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website