එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
දිට්වා ලෙස නම් කරනු ලැබූ සුළි කුණාටුවෙන් උද්ගත වූ ව්‍යසනය හමුවේ අනෙකුත් රටවල මෙන් කාලගුණය පිළිබඳව අන් කවරදාකටත් වඩා අවධානය යොමු කිරිමට දැන් අපි වඩාත් නැඹුරුවී සිටිමු. එමෙන්ම කාලගුණ අනාවැකි හා ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව පිළිබඳව ද ජනසමාජය තුළ උණුසුම් කතිකාවතක් මේවනවිට දී නිර්මාණයවි තිබේ. කෙසේ වුවද, ඩොප්ලර් රේඩාර් පද්ධතියකින් බැහැරව කාලගුණ චන්ද්‍රිකා, රේඩියෝසොන්ඩස් (කාලගුණ නිරික්ෂණ බැලූන්), මතුපිට නිරීක්ෂණ මධ්‍යස්ථාන, අකුණු අනාවරක හා අහස්කුස සැරිසරන ගුවන් යානා සහ සාගරයේ ගමන්කරන නැව් වෙතින් ලබාගන්නා කාලගුණ දත්ත විශ්ලේෂණයකර, පවතින කාලගුණික ස්වරූපය අර්ථකථනය කිරීම හා ඇතිවිය හැකි කාලගුණික තත්වයන් පුරෝකතනය කිරීම මෙරට මෙන්ම ලෝකයේ බොහෝ රටවල කාලගුණ විද්‍යා සේවාවන් වෙතින් ඉටු කෙරෙන වැදගත් කාර්යයකි.
ඒ කෙසේ වුවද, කාලගුණය පුරෝකථනය කිරීම සඳහා මෙන්ම කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව පෙර දැනුම්වත්වීම උදෙසා වඩාත්ම සාර්ථක තොරතුරු ලබාගතහැකි මෙවලම් වලින් එකක් ලෙස ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් Doppler Weather Radar Systems හැඳින්විය හැකි ය. මෙවැනි ඩොප්ලර් රේඩාර් පද්ධතියක දක්නට ලැබෙන සුදු පැහැති ගෝලය තුළ එකිනෙකට සහසම්බන්ධව ක්‍රියාකරන සංරචක කිහිපයකින් සමන්විත වේ.
මෙවැනි රේඩාර් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේදී එහි වූ සම්ප්‍රේෂකය Transmitter මගින් විද්‍යුත් චුම්භක ශක්තියෙන් යුතු කෙටි ස්පන්දන වලින් යුක්ත රේඩියෝ තරංග (රේඩාර් කදම්භ) නිපදවනු ලැබේ. එම තරංග, භ්‍රමණය කළහැකි ඇන්ටෙනාව Antenna / රේඩාර් තැටිය Radar Dish ඔස්සේ අවට වායුගෝලය පරිලෝකනය කිරීම සඳහා වාතලයට මුදාහරී. එකී තරංග ස්පන්දන වැහි බිංදු, හිම පියලි, හිම කැට, දූවිලි අංශු හෝ කෘමීන් වැනි වස්තූන් මත ගැටෙන අවස්ථාවේදී එහි ශක්තියෙන් කොටසක් දෝංකාර Echoes ලෙස පරාවර්තනයවී නැවත රේඩාර් තැටිය /ඇන්ටෙනාව වෙත පැමිණේ. එකී තරංග (දෝංකාර) එහි වූ ග්‍රාහකය Receiver මගින් ග්‍රහණය කර ඒවායේ සංඛ්‍යාතයේ Frequency හා කලාවේ Phase වෙනස තවදුරටත් විස්තාරණය කරයි. ඉන් අනතුරුව රේඩාර් පද්ධතියේ වූ සකසනය Signal Processor (Radar Processor) මගින් එම තොරතුරු විශ්ලේෂණයකර, වීඩියෝ ආකෘති බවට පත්කර, අවසාන වශයෙන් ප්‍රදර්ශන පුවරු Display System ඔස්සේ දැකබලා ගැනීමට සලස්වනු ලැබේ.

මෙම රේඩාර්-ව්‍යුත්පන්න දත්ත පරිගණක පුරෝකථන ආකෘති සඳහා තීරණාත්මක ආදානයක් සපයා දෙයි. එකී තොරතුරු පදනම් කරගෙන නිරීක්ෂණය කරන ප්‍රදේශය අවට වායුගෝලයේ පවතින ජල බිංදු, හිම පියලි, හා හිම කැට වැනි (වර්ෂා) පතන වර්ගය හඳුනාගැනීමට සහ ඒවායෙහි චලිතය සහ තීව්‍රතාවය පිළිබඳව අවබෝධයක් කාලගුණ විද්‍යාඥයින්ට ලබාගත හැකි වේ. සාමාන්‍යයෙන් බහුලව භාවිතවන මෙවැනි පද්ධතියක් මගින් නිකුත්කරන රේඩාර් කදම්භ මගින් කිලෝමීටර 5-200 දුර පරාසයක තොරතුරු ප්‍රශස්ත ලෙස අනාවරණය කරගැනීමට හැකියාව පවතියි.
මෙම හැකියාව හුදෙක් ඒවා හඳුනාගැනීමට වඩා බොහෝ සෙයින් ඔබ්බට යන්නකි. ඒ අනුව එමගින් යොමුකරන තරංග ආපසු පැමිණීමට ගතවන කාලය මත වර්ෂාපතනය සිදුවන කාල වේලාව තීරණය කළ හැකි වේ. එසේම අදාල ප්‍රදේශයේ පවතින සුළඟේ වේගය සහ දිශාව, කුණාටු ව්‍යුහයේ ස්වරූපය සහ පරාවර්තනය වූ තරංගවල විස්තාරය (දෝංකාරය) මගින් වර්ෂාපතනයේ තීව්‍රතාවය පිළිබඳව යම් නිගමනයකට එළඹීමට අවස්ථාව උදාකෙරේ. වර්ෂාපතනය රේඩාර් පද්ධතිය දෙසට පැමිණෙන අවස්ථාවේ රේඩාර් සංඥාවේ සංඛ්‍යාතය වැඩි වන අතර වර්ෂාපතනය රේඩාර් වලින් ඉවතට ගමන් කරන විට රේඩාර් සංඥාවේ සංඛ්‍යාතය අඩු වේ. එම ස්වරූපය ඩොප්ලර් ආචරණය Doppler Effect ලෙස හැඳින්වේ. වර්ෂාපතන ප්‍රදේශවල සුළඟ පිළිබඳ තීරණාත්මක තොරතුරු (අරීය ප්‍රවේගය) එමගින් අධ්‍යනය කළහැකිවීම ද විශේෂත්වයකි. ඒ හේතුවෙන් ඉදිරියේ ඇතිවියහැකි වර්ෂාපතන, සුළි සුළං, දරුණු ගිගුරුම් සහිත වැසි, දැඩි වර්ෂාපතන සහ හානිදායක සුළං ප්‍රවාහ පිළිබඳ පැය 2-3 වැනි කාලයක් තුළ කෙටි කාලීන හා ආසන්න කාලීන පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කාලගුණ විද්‍යාඥයිනට අවකාශය සැලසේ. ඒ අනුව එකී තොරතුරු ගුවන් සේවා හා නාවුක බලධාරීන්ට, ආපදා කළමනාකරුවන්ට හා මාධ්‍ය ආයතනවලට නොමිලේ සපයා දීමට ද ඔවුන් යුහුසුළුව කටයුතු කරනු ලැබේ.
කෙසේ වුවද ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් නිකුත්කරන රේඩියෝ තරංග වාතයේ සරල රේඛාවක් පරිදි ගමන් කරන හෙයින් කඳු වැනි බාධක විනිවිද යාමට ඒවාට නොහැකි ය. එමෙන්ම පෘථිවි පෘෂ්ඨයේ වක්‍රතාවය හේතුවෙන් අඩු උන්නතාංශවල වර්ෂාපතනයට අදාල දත්ත නිරීක්ෂණය කිරීම දුෂ්කර වේ. කෙසේ වෙතත්, වායුගෝලයේ වර්තන දර්ශකයේ අවකාශීය ව්‍යාප්තිය අනුව ඒවාට අසාමාන්‍ය ප්‍රචාරණ මාර්ගයක් ද අනුගමනය කළ හැකිය. එවැනි තරංග පෘථිවි පෘෂ්ඨයට හෝ ගොඩබිම / සමුද්‍ර ව්‍යුහයන් සමග ගැටිය හැකි අතර ඒ හේතුවෙන් තීව්‍ර දෝංකාරයන් පවා ඇති කෙරේ. ගොඩබිම් හෝ ස්ථාවර ව්‍යුහයන් වැනි නිශ්චල පෘෂ්ඨ මතුපිටින් රේඩියෝ තරංග පරාවර්තනය නිසා ඇතිවන මෙම ගැටළු සහගත තොරතුරු, තත්ත්ව පාලනයේදී සාමාන්‍ය රේඩාර් දෝංකාරයන්ගෙන් වෙන්කර හඳුනාගැනීමට හැකි වේ. රේඩියෝ තරංග පාදක නිරීක්ෂණයේ මෙම ලක්ෂණ නිසා නොමඟ යවන දෝංකාර ග්‍රහණයවීම නොවැළැක්විය හැකි වේ.

එමෙන්ම වායුගෝලීය උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය මත යොමුකරන රේඩාර් කදම්භයේ තරංග නැමීමට සහ පරාවර්තනයවීමට බඳුන්වීමෙන් එම සංඥා දුර්වලවීම හරහා ඒවාට සැලකිය යුතු බලපෑමක් එල්ල වේ. මෙම තත්වයන් කාලගුණ සංරචකයන්හි පිහිටීම, උස සහ තීව්‍රතාවය රේඩාර් පද්ධතිය මගින් වැරදි ලෙස විනිශ්චය කිරීමට ද හේතු විය හැකිය. එවැනි ගැටළු සහගත අවස්ථාවන්හිදී ඒවා ප්‍රවේශමෙන් අර්ථ නිරූපණය කිරීම උදෙසා අතිරේක කාලගුණික දත්ත එක්රැස්කර භාවිත කිරීමට ද කාලගුණ විද්‍යාඥයින්හට සිදුවිය හැකිය.
කෙසේ වුවද ඩොප්ලර් රේඩාර් පද්ධතියක ඇති බලවත්ම වාසියක් වන්නේ කුණාටුවල අභ්‍යන්තර ගතිකතාවයන් හෙළි කරගැනීමට ඇති හැකියාවයි. සුළං ප්‍රවේගය මැනීමෙන්, පද්ධතිය මඟින් කුණාටුවක් තුළ සුළං රටා පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් ඔස්සේ වර්ෂාපතනයට අදාල අංශු රේඩාර් පද්ධතිය දෙසට හෝ එයින් ඉවතට කොතරම් වේගයෙන් ගමන් කරනවාද යන්නත්, සුළි සුළං ඇතිවීමේ විභවයත් අවබෝධකරගත හැකි වේ. විශේෂයෙන්ම ගුවන් තොටුපළ ආශ්‍රිත ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධති ගුවන් ධාවන පථ අසල අනතුරුදායක කාලගුණ තත්වයන් හඳුනාගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර දෙයි. ඒ අනුව ගුවන් තොටුපොළක අවට සුළං වේගය / දිශාව සහ කුණාටු ස්වරූපයන් පිළිබඳ වූ සවිස්තරාත්මක වායුගෝලීය සිතියමක් නිර්මාණය කර ගැනීමට ඒවා ඇසුරුකර ගැනේ. ගුවන් යානයක් ගුවන් ගතකිරීමේදී සහ ගොඩබෑමේදී ඇතිකළ හැකි අවදානම් හඳුනාගැනීමට එය තීරණාත්මක සාධකයකි. ගුවන් ගමනා ගමන කටයුතු කළමනාකරණය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිකිරීමට අවැසි ආරක්ෂාව ඉන් සහතික කෙරේ. මෙම තොරතුරු ගුවන් ගමන් පාලකයිනට Air Traffic Controllers සහ ගුවන් නියමුවන්ට සිදුවිය හැකි අනතුරු වළකාගැනීමට ඉතා වැදගත් වේ.
නිකුත්කරන තරංග ආයාමය සහ සංඛ්‍යාත පරාසයන් අනුව දැනට ලෝකය පුරා භාවිත ඩොප්ලර් රේඩාර් පද්ධති S-band , C-band , X-band ලෙසින් ඒවා බොහෝ දුරට වර්ගීකරණයට ලක්ව ඇත. ඒ අනුව තරංග ආයාමයය සෙ.මී. 15 – 7.5 දක්වා වූ S-Band radar පද්ධතියක් 2 – 4 GHz සංඛ්‍යාත පරාසයක් තුළ ක්‍රියාත්මක වේ. C-Band radar පද්ධතියක තරංග ආයාමය සෙ.මී. 7.5 – 3.8 දක්වා වූ 5.3 – 5.6 GHz සංඛ්‍යාතය පරායක් තුළ තුළ ක්‍රියාත්මක වේ. එමෙන්ම තරංග ආයාමය සෙ.මී. 3.8 – 2.5 පවතින, X-Band radar සංඛ්‍යාතය 8-12 GHz මත ක්‍රියාත්මක වේ. මේ අනුව කාලගුණ රේඩාර් තාක්ෂණය දශක ගණනාවක් පුරා සැලකිය යුතු ලෙස පරිණාමය වෙමින් පවතින ආකාරයක් පිළිබිඹු කෙරේ. එය තවදුරටත් සංවර්ධනය වනු ඇත. වඩාත්ම පරිවර්තනීය පද්ධතීන්ගෙන් එකක් ලෙස ගැනෙන ද්විත්ව ධ්‍රැවීකරණ ඩොප්ලර් කාලගුණ රේඩාර් Dual Polarization Doppler Weather Radar පද්ධති දැන් බොහෝ රටවල භාවිතයට පැමිණ තිබේ. මේ ආකාරයේ පද්ධතියක් එකවර තිරස් සහ සිරස් තරංග සම්ප්‍රේෂණයකර ලබාගන්නා දත්ත ඇසුරෙන් වර්ෂාපතන වර්ගීකරණය කිරීමට මෙන්ම වැසි තීව්‍රතාවය නිවැරදිව තීරණය කිරීමට ද හැකියාව උදාකර දෙයි.

ඒ අනුව කාලගුණ විද්‍යාඥයින්ට වර්ෂාපතන අංශුවල ප්‍රමාණය, හැඩය සහ දිශානතිය ඇස්තමේන්තු කිරීමට ඉන් ඉඩකඩ සැලසේ. එහි ප්‍රතිඵලයක් ලෙස, වැසි, හිම පියළි සහ හිම කැට වඩාත් නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමටත්, හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් සඳහා වර්ෂාපතන ප්‍රමාණයන් ඇස්තමේන්තු කිරීමටත්, ටොනේඩෝ මගින් වාතයට ඔසවා රැගෙනයන සුන්බුන් පවා හඳුනාගැනීමටත් ඇති විශ්වසනීයත්වය වැඩි දියුණු කරවයි.
කාලගුණ ස්වරූපය අර්ථ නිරූපණය කිරීමේදී කාලගුණ විද්‍යාඥයින් විසින් මෙම මූලික රේඩාර් දත්ත දෘශ්‍ය නිරූපණයන් බවට පරිවර්තනය කරනු ලැබේ. එමඟින් වර්ෂාපතන රටා සිතියම්ගත කිරීමට සහ විශ්ලේෂණය කිරීමට ඉඩකඩ සැලසේ. මෙම දෘශ්‍යකරණයන් ඔස්සේ බොහෝවිට වර්ෂාපතනයේ තීව්‍රතාවය දැක්වීමට දීප්තිමත් කොළ, කහ සහ රතු වර්ණ ඇසුරෙන් අදාල ප්‍රදේශ පෙන්වනු ලැබේ. සාමාන්‍යයෙන්, තද වැසි උණුසුම් වර්ණ මගින් දර්ශණය වේ. කොළ පැහැයෙන් සාමාන්‍යයෙන් සැහැල්ලු වර්ෂාවක් පෙන්නුම් කරන අතර කහ පැහැයෙන් මධ්‍යස්ථ වර්ෂාවක් සහ රතු පැහැයෙන් තද වැසි හෝ හිම කැට වර්ෂාවක් පෙන්නුම් කළ ද, අවශ්‍යනම් විකාශන නිෂ්පාදන පරිශීලකයින්ට තමන්ගේම වර්ණ කේත අභිරුචිකරණය කිරීමට වුවද ඉඩකඩ තිබේ. සාමාන්‍ය ජනතාවට ඩොප්ලර් රේඩාර් වඩාත් සමීපවන්නේ කාලගුණ අනාවැකි ප්‍රකාශන අතරතුර ප්‍රදර්ශනය කරන වර්ණවත් ඡායාරූප හරහා පවතින තත්වය පැහැදිලි කරන ආකාරය හේතු කොටගෙනයි. එමගින් නරඹන්නන්ට උද්ගතවන කාලගුණයේ ස්වරූපය ඉක්මනින් ග්‍රහණය කරගැනීමට හැකියාව උදාකෙරේ.
වර්තමානය වනවිට කාලගුණ විද්‍යා නිරීක්ෂණ කටයුතු කාලගුණ රේඩාර් නිරීක්ෂණ චන්ද්‍රිකා ඡායාරූප, භූ කම්පන සංවේදක, අන්තර්ජාල ගත දේවල් පිළිබඳ උපාංග සහ පූර්ව දේශගුණික දත්ත සමඟ ඒකාබද්ධකර උසස් පුරෝකථන ආකෘති ඔස්සේ ඉතා අවධානයෙන් සිදුකරනු ලැබේ. මෙම අතිවිශාල දත්ත කට්ටල විශ්ලේෂණය කිරීමට, කෙටි කාලීන අනාවැකි වැඩිදියුණු කිරීමට සහ තීරණාත්මක කාල සීමාවන් තුළ කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීමට දැන් කෘතිම බුද්ධිය සහිත පරිගණක යන්ත්‍ර පවා ඇසුරුකර ගැනේ.
කෙසේ වුවද, කාලගුණ රේඩාර් යන්ත්‍ර ක්‍රියාකාරිත්වයට සීමාවන් පවතියි. එහි ඵලදායී පරාසය පෘථිවියේ වක්‍රතාවය හේතුවෙන් සීමාවන අතර සැහැල්ලු වැස්ස රේඩාර් කදම්භයට පහළින් වැටුණහොත් එය අනාවරණය නොවිය හැකිය. වායුගෝලයේ ඉහළ වර්ෂාපතනයක් අනාවරණය වුවද ඒවා බිමට පතිතවීමට පෙර වාෂ්පවී ගියහොත් ව්‍යාජ කියවීම් සිදුවිය හැකිය. ඩොප්ලර් රේඩාර් මගින් සුළඟේ වේගය මනින්නේ නැත. එමගින් මනිනු ලබන්නේ රේඩාර් පද්ධතිය දෙසට හෝ එයින් ඉවතට ගමන් කරන සුළඟේ ප්‍රවේගය පමණි. සැබෑ සුළඟ අවම වශයෙන් ඩොප්ලර් ප්‍රවේගය තරම් තීව්‍ර වීමට ඉඩකඩ ඇත. ඩොප්ලර් රේඩාර් මගින් සුළඟේ අරීය ගමන් ස්වරූපය පමණක් හඳුනාගනියි. මෙය රේඩාර් දෙසට හෝ ඉන් ඉවතට, ඕනෑම දිශාවකට සෘජුවම යෙමුවන්නකි. එහෙයින් සෘජු කෝණවලින් චලනය වන තීර්යක් සුළඟ රේඩාර් පද්ධතිය මගින් මැනිය නොහැකි ය. එසේම ඩොප්ලර් පද්ධතියේ ප්‍රවේග රූප මගින් බිම් මට්ටමේ සුළං වේගය නොපෙන්වයි. රේඩාර් කදම්භයට ඉහලින් පවතින සුළං පහළ මට්ටමට වඩා තීව්‍ර වියහැකි නමුත් සෑමවිටම එසේ නොවනු ඇත. රේඩාර් කදම්භය සාමාන්‍යයෙන් තිරස් අතට යොමු නොකෙරේ. අසල ඇති වස්තූන් හෝ භූ විෂමතාව මත තරංග පොලාපැනීම වැළැක්වීම සඳහා එලෙස උඩු අතට ආනතකර ඇත. මෙයින් අදහස් කරන්නේ රේඩාර් වෙතින් ඉවතට ගමන් කරන විට එම කදම්භය ඉහළ යන බවයි. එබැවින් නිවැරදි අර්ථ නිරූපණය සහ සැලකියයුතු පුරෝකථනය සඳහා මෙම සීමාවන් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ.

ආන්තික කාලගුණික සිදුවීම් නිතර සිදුවන විට ඩොප්ලර් රේඩාර් වල අවශ්‍යතාව වඩවඩාත් අවධාරණය කෙරේ. මෝසම් වැසි සහ හදිසි ගංවතුර නිරීක්ෂණය කිරීමේ සිට සුළි සුළං සහ දරුණු ගිගුරුම් සහිත වැසි නිරීක්ෂණය කිරීම දක්වා මෙම තාක්ෂණය ලොව පුරා ප්‍රජාවන් කෙරෙහි නිහඬ ආරක්ෂකයෙකු ලෙස දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ උදෙසා අවට පරිසරයේ බාධාවකින් තොරව අංශක 360 ක දර්ශනයක් ලබාගතහැකි විවෘත වූ අවකාශයක් සහිත අනෙකුත් රේඩාර් පද්ධති වලින් බැහැර දුරස්ථ ප්‍රදේශවල කඳු මුදුන් හෝ වානේ කුලුනු මත ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධති ස්ථානගත කර ඇති අයුරු විද්‍යාමාන වේ. එදිනෙදා ජීවිතයේදී කලාතුරකින් දක්නට ලැබුණද, ඩොප්ලර් රේඩාර් පද්ධති ගුවන් ගැබ නිරීක්ෂණය කරමින් පූර්ව අනතුරු ඇඟවීම් ඔස්සේ දැනුම්වත්ව තීරණ ගෙන අනපේක්ෂිත වාතාවරණයක් යටතේ සුරක්ෂාවිය යුතු මග අපට කියා දෙයි. මේ අර්ථයෙන් ගත් කල ඩොප්ලර් රේඩාර් තාක්ෂණය නූතන කාලගුණ විද්‍යා සේවාවක අත්‍යවශ්‍ය අංගයක් බව තහවුරු වේ. ඒ කෙසේ වුවද මේවනවිටත් මෙරට කාලගුණ විද්‍යාඥයින් හා කාලගුණ විද්‍යා නිරීක්ෂක හා සංනිවේදන නිලධාරීන් විසින් සිදුකරනු ලබන සුවිශේෂී කාර්යභාරය අප අවතක්සේරු නොකළ යුතුය. එමෙන්ම ලොව පුරා පිහිටි කාලගුණ විද්‍යා ආයතන සමග අන්තර් සහයෝගීතාවය පදනම්කරගෙන නිදහසේ දේශගුණික ප්‍රවණතා, කාලගුණය, ජල විද්‍යාව සහ තවත් බොහෝ දේ පිළිබඳ වැදගත් තොරතුරු හුවමාරුකර ගන්නා ජාත්‍යන්තරය හා බැඳුණු සුවිශේෂී කාර්යයක ඔවුන් නිරතව ද සිටීයි.
කරුණු එසේ වුවද, නිරතුරුවම කාලගුණ විපර්යාස සිදුවන බෙංගාල බොක්ක අභිමුඛ දූපත් රාජ්‍යයක් වන අප රට ප්‍රධාන මෝසම් ප්‍රවාහ දෙකකට හා අන්තර් මෝසම් දෙකකට මුහුණපාන බව ඉතා පැහැදිලි වේ. එවැනි තත්වයන් හමුවේ සිදුවන ව්‍යසනයන් අවමකර ගැනීමට අපි ක්‍රියාකල යුතු වෙමු. ඒ අරභයා කාලගුණ පුරෝකතන වඩාත් සාධානීය මට්ටමකට ඔසවා තැබීමට ශ්‍රී ලංකාව හා ඒ අවට බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙවැනි පද්ධති තුනක් වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් බද, වෙරළාසන්න හෝ උපායමාර්ගික ස්ථානයන්හි පිහිටුවීම වැදගත් වනු ඇත.
(Bureau of Meteorology-Australia, SGS Weather products & services හා Japan Meteorological Agency තොරතුරු ඇසුරෙනි.)

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

















