ආපදා සහන සැලසීම රාජ්‍ය යාන්ත්‍රණ තුළින් පමණක් සිදුවිය යුතු ද ? – විද්වතුන් කියන්නේ කුමක් ද ?

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 22ක් විපතට පත් දිස්ත්‍රික්ක  (ගාල්ල, මාතර සහ හම්බන්තොට හැර) ලෙස නම් කර ඇති අතර සමස්තයක් ලෙස විපතට පත් පිරිස ලක්ෂ 25ක් හෝ ඊට ආසන්න අගයක් බව ඇස්තමේන්තු කර ඇත. පුද්ගලයින් 600කට අධික පිරිසක් මරණයට පත්ව අති අතර 200කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇත. මෙම ආපදාවෙන් නිවාස 5000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් විනාශයට පත් වූ අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 81,000කට අධිකය. මහනුවර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල සහ කුරුණෑගල වැඩිම මරණ හා අතුරුදන් වීම් වාර්තා වූ දිස්ත්‍රික්ක වන අතර ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ද, මන්නාරම, පුත්තලම දිස්ත්‍රික්කවල ද විශාල වශයෙන් අවතැන්වීම් වාර්තා විය.

සුළි කුණාටුවේ බලපෑම ද අතිෂය ඉහළ ය. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට අනුව වගාබිම් හෙක්ටයාර් 131,743ක් විනාශයට පත්ව ඇති අතර ප්‍රධාන මාර්ග ඇතුළු දිවයිනේ මාර්ග පද්ධතියට, දුම්රිය මාර්ග පද්ධතියට, පාළම්වලට සහ විදුලි සහ ජල සැපයුමට සැලකිය යුතු හානියක් සිදුවිය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ පාසල් 1000කට ආසන්න ප්‍රමාණයකට යම්කිසි හෝ හානියක් සිදුව ඇති බවයි. එසේම පාසල් ළමුන් 200,000ක් පමණ පීඩාවට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ද පැවසුවේ ය.

මෙවර කතිකාවට ආරම්භයක් ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේ වත්මන් රජය අනපේක්ෂිත දැවැන්ත අභියෝගකට මුහුණ දී සිටින බවත් එය නිසි ලෙස ඉටු කිරීම රජයේ වගකීම බවත් ය. එම කාර්යය ඉටු කිරීමේ දී රජය තනිව කටයුතු කරනවා ද, එසේ නැතහොත් සෙසු සංවිධාන සහ ආයතනවලට ද අවස්ථාව ලබා දෙමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු ද ? යන ප්‍රශ්න මේ අවස්ථාවේ සංවාදයට ලක්ව ඇති බව මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.

(වසර 35කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කළ හිටපු දිසාපති සුනිල් කන්නන්ගර අම්පාර, රත්නපුරය සහ කොළඹ දිස්ත්‍රික්කවල දිසාපතිවරයෙකු ලෙස වසර 13කට අධික කාලයක් සේවය කර ඇත).

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ආපදාවට පසුගිය සතියේ (නොවැම්බර් 27සිට) මුහුණ දුන් බව සිහිපත් කරමින් කතිකාව සංවාදයට ආරම්භයක් ලබා දුන් හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා තමා දිසාපතිවරයෙකු ලෙස සේවය කළ කාලය තුළ මුහුණ දුන් ස්වභාවික අපාදා ගණනාවක් ද සිහිපත් කළේය. විශේෂයෙන් 2016 දී කොළඹ දිස්ත්‍රික්කයට සහ අම්පාර දිස්ත්‍රික්කයට බලපෑ මහ ගංවතුර තත්ත්වය සහ සාලාව යුධ හමුදා කඳවුර පුපුරා යාම හමුවේ තමා දිසාපතිවරයා ලෙස මුහුණ දුන් අත්දැකීම් ඔහු මෙහි දී සිහිපත් කළේය.

  • තත්ත්වයක් නොවෙයි

“මේක මං දැක ඇති විශාලම ස්වභාවික ආපදාව. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 22ක්ම මෙවර පීඩාවට පත් වුණා. මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට දැවැන්තම බලපෑමක් සිදුවෙලා තිබෙන අතර දකුණු පළාත හැර සෙසු පළාත්වලට සැලකිය යුතු බලපෑමක් වෙලා තිබෙනවා. උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට ගංවතුරෙන් දැඩි හානියක් සිදුවෙලා තියෙනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට නායයෑම්වලින් දැවැන්ත විනාශයක් සිදු වුණා. මේ තත්ත්වය තුළ මේ ආපදාව සංකීර්ණ හා විශාල ප්‍රදේශයක පැතිරුණු ආපදාවක් බවට පත් වුණා. නමුත් මේක අපට සුනාමිය වාගේ නුහුරු එකක් නෙමෙයි. ගංවතුර, නායයෑම් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අත්දැකීම් සහ එවැනි ආපදා කළමනාකරණය කිරීම හා සම්බන්ධ දැනුම හා පුහුණුව, අත්දැකීම් රාජ්‍ය සේවයට තිබෙනවා. නමුත් මේ ආපදාව දිවයින පුරා විශාල ප්‍රදේශයක සිදුවන විට ඒක කළමනාකරණය කර ගැනීමේ යම් යම් ප්‍රායෝගික අපහසුතා ඇති වෙනවා. මෙවරත් එය සිදු වුණ බව අපට පෙනී ගියා” කන්නන්ගර මහතා පැවසුවේ ය.

  • ආපදා කළමනාකරණය දුර්වල වුණ හේතු මෙන්න

මෙවර මෙම ආපදාව කළමනාකරණය කර ගැනීමට රජයට නොහැකි වීමට හේතු පහක් පමණ තම අත්දැකීම් අනුව පෙන්නා දිය හැකි බව හිටපු දිසාපතිවරයා පැවසුවේය. ඒ අනුව,

  • මෙම ආපදාව එකවර විශාල ප්‍රදේශයකට බලපෑ හෙයින් එය කළමනාකරණය කර ගැනීම අසීරු විය.
  • ආපදාව ආරම්භ වූ අවස්ථාවේ දීම සන්නිවේදනය, ප්‍රවාහනය විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටුණ අතර, ඒ අවස්ථාවේ අදාළ සම්බන්ධීකරණ කටයුතු පවත්වා ගෙන යාම දුෂ්කර වීම. මේ හරහා විපතට පත් ජනතාව හා ප්‍රදේශ හඳුනා ගැනීම සහ ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සහ තොරතුරු ලබා ගැනීමට පැවති අවස්ථාව අඩාල විය.
  • යම් ආකාරයක හෝ පූර්ව සූදානමක් නොතිබීම. මෙම මාසවල මෙතරම් දරුණු නොවුණ ද විශාල ස්වභාවික ආපදා (ගංවතුර, සුළි කුණාටු සහ නායයෑම්) සිදුවී ඇති අතර  එම අත්දැකීම් මත පදනම්ව කිසියම් ආකාරයක පූර්ව සූදානමක් ඇතිකර ගැනීමේ අවස්ථාව අදාළ අංශවලට තිබුණේය.
  • ආපදාව කළමනාකරණය කරන අංශවලට (විශේෂයෙන්ම) ජාතික මට්ටමේ දී එය මෙහෙය වීමට නිසි ස්ථානයක් නොතිබීම. දිස්ත්‍රික්ක ගණනාවකට එකවර මෙවැනි ස්වභාවික ආපදාවකට මුහුණ දීමට සිදුවන විට ජාතික මට්ටමේ මෙහෙයුම් මැදිරියක් තිබිය යුතුය. නමුත් මෙවර එවැනි ජාතික තලයේ මෙහෙයුම් මැදිරියක් දැක ගත නොහැකි විය.
  • අවස්ථානුකූලව තීන්දු හා තීරණ ගැනීම සම්බන්ධ යම් යම් පසුබෑම් දැක ගත හැකි වීම.

මෙම කාරණා ගණනාවක් දිට්වා සුළි කුණාටු ආපදා අවදානම කළමනාකරණය කිරීමේ දී දැක ගත හැකි වූ බව හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවසුවේය.

  • සහකම්පනය

ශ්‍රී ලංකාව තුළ ආපදාවක් සිදු වූ අවස්ථාවක ජනතාවගේ සහකම්පනය අවධි වන බවත්, ඒ හරහා ජනතාව විපතට පත් ජනතාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් කන්නන්ගර මහතා කීවේය.

“අපි මේ තත්ත්වය මෙවරත් කිසිම අඩුවක් නැතිව දැක්කා” ඔහු ප්‍රශංසනාත්මක ස්වරයෙන් පැවසුවේය.

ජනතාව තම තමන්ට හැකි ආකාරයෙන් විපතට පත් ජනතාවට සහාය ලබා දීමට ඉදිරිපත් වූ බවත් විශේෂයෙන් විපතට පත් ප්‍රදේශවල පිරිසිදු කිරීම් සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ජනතාවගෙන් විශාල ශ්‍රම දායකත්වයක් ලැබුණ බවත් ඔහු පෙන්නා දුන්නේය.

  • රාජ්‍ය යාන්ත්‍රණය

මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සමත් රාජ්‍ය යාන්ත්‍රණයක් රට තුළ පවතින බව කී කන්නන්ගර මහතා ජනතාව ලබා දෙන සහාය ද සහිතව මෙම රාජ්‍ය යාන්ත්‍රණය වහාම ක්‍රියාත්මක වන බව කීවේය.

“අපට බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි පුළුල් හා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ ද සහය ඇතිව ගම් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා වහාම ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවේ ඔවුන්ට ජාතික මටට්මේ උදව් උපකාර අවශ්‍ය කරනවා” යැයි පෙන්වා දුන් සුනිල් කන්නන්ගර මහතා ආපදාවකදී මුලින්ම අවශ්‍ය වන්නේ විපතට පත්වූවන් බේරා ගැනීම බවත් ඒ සඳහා විශේෂඥ දැනුම හා පුහුණුව සහිත පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන බව ද කීවේය.

මෙවැනි අවස්ථාවක ජාතික මට්ටමින් ත්‍රිවිධ හමුදාව සහාය ලබා දෙන අතර ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම සහ සම්බන්ධීකරණය රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා නායකත්වය හරහා ලබාදිය යුතු බව සඳහන් කළේය.

“මේ සඳහා ජාතික තලයේ ලොකු සම්බන්ධයක් අවශ්‍යයි“ ඔහු අවධාරණය කළේය.

විපතට පත්වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සහ රෝහල් ගත කිරීමේ දී සෞඛ්‍ය අංශ විශාල කාර්යභාරයක් ඉටුකරන බව පෙන්වා දුන් හිටපු දිසාපතිවරයා ඊට පසුව විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යා යුතු බව කීවේය. ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත මධ්‍යස්ථාන, සුබසාධන මධ්‍යස්ථාන පිහිටුවීම කරන බවත් ඒවා බොහෝ විට පොදු ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම සම්ප්‍රදාය බවත් කන්නන්ගර මහතා කීවේය.

මෙහිදී සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය සහ ඉඩකඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන අතර පාසල්, පන්සල් වැනි ස්ථාන මෙහි දී බහුලව යොදා ගන්නා බව ද ඔහු පෙන්නා දුන්නේය.

“විපතට පත්ව ආරක්ෂිත මධ්‍යස්ථානවලට ගෙන එන ජනතාවට කිසිම ගැටලුවකින් තොරව දින තුනක් දක්වා  පිසූ ආහාර ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාව තිබෙනවා. අවශ්‍යතාව අනුව පිසූ ආහාර ලබාදෙන දින ගණන ඉහළ දැමීමට පුළුවන්” යැයි කී කන්නන්ගර මහතා විපතට පත් ජනතාව කඩිනමින් යළි නැවත පදිංචි කිරීමට පියවර ගත යුතු බව ද කීවේය.

මෙහිදී නිවාස සම්පූර්ණයෙන් විනාශ වූ ජනතාවට නව නිවාස ලබාදිය යුතු බවත් ඒ අතර කාලය තුළ තාවකාලික නිවාස ලබාදීමට ද රජය පියවර ගතයුතු බව සඳහන් කළේය.

  • සනීපාරක්ෂාව

හානියට පත් නිවාස සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම ද මෙහි දී ප්‍රමුඛ අවශ්‍යතාවක් බව පෙන්වා දුන් කන්නන්ගර මහතා අදාළ ජනතාව සුබසාධන කඳවුරු තුළ සිටින කාලය පුරා ඔවුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ වගකීම ද රාජ්‍ය නිලධාරීන්ට පැවරෙන බව පෙන්වා දුන් අතර එය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවේ ය. “මෙවැනි තත්ත්වයක් තුළ සුබසාධන මධ්‍යස්ථාන තුළ බෝවන රෝග පැතිර යාම සුලභ තත්ත්වයක්. ඒ නිසා රජයේ සෞඛ්‍ය අංශ මෙම මධ්‍යස්ථාන වෙත පැමිණ අවශ්‍ය ප්‍රතිකාර සහ දැනුවත් කිරීම් කරනවා. මේවා ගැන අලුතින් කියා දීමට අවශ්‍යතාවක් නැහැ. ඔවුන් දීර්ඝ කාලීන අත්දැකීම් මත කළ යුතු දේවල් ගැන දන්නවා”.

මෙවර ආපදා තත්ත්වය තුළ මාර්ග පහසුකම් වල පැවැති ගැටලු හේතුවෙන් ආරක්ෂිත මධ්‍යස්ථානවල සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වූ බව පෙන්වා දුන් කන්නන්ගර මහතා තවත් වැදගත් කරුණක් අවධාරණය කළේය.

“ආපදාවෙන් පීඩාවට පත්ව ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින මේ ජනතාව යළි ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය ආරම්භ කරන තෙක් සැලකෙන්නේ විපතට පත්වූවන් ලෙසයි”.

  • රජයට තනියම පුළුවන් ද ?

ස්වභාවික ආපදාවකදී විපතට පත් ජනතාවට සහන සහ පහසුකම් සලසමින් ඔවුන් යළි සුපුරු ජීවන රටාවට එක්වන තෙක් රාජ්‍ය රැකවරණය යටතේ සිටින තත්ත්වයක් තුළ ‘රජයට මේ සියලු වගකීම් තනියම කළ හැකි ද ?’ යන ප්‍රශ්නය උද්ගත වන බව හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා කීවේය.

“මෙවැනි ආපදා අවස්ථාවක රජය හවුල්කාර සංවිධාන සමඟ ඉතාම සමීපව කටයුතු කළ යුතුයි. දේශීය සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන ආදි පුළුල් පරාසයක සිවිල් සංවිධාන ආපදා අවස්ථාවක අදාළ ජනතාව වෙනුවෙන් විවිධාකාර සහන සහ සුභසාධන සේවා ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. රජයට මේ සංවිධානවල සහාය අවශ්‍යයි. එම සහාය තිබෙනවා නම් තමයි (මගේ අත්දැකීම් අනුව) හොඳට මේ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ. මගේ රාජකාරී කාලය තුළ අපට එවැනි සංවිධාන විශාල සහායක් ලබාදී තිබෙනවා. අපි ඒ සංවිධාන සමඟ ඉතාම සමීපව කටයුතු කළා’.

මෙහිදී හිටපු දිසාපතිවරයා පෙන්වා දුන්නේ රජය අදාළ සංවිධානවලට මග පෙන්වීම කළ යුතු බවයි. තමන් අවශ්‍ය සේවය හෝ සහාය පිළිබඳව රජය අදාළ සංවිධාන නිසි පරිදි දැනුවත් කරමින් හා සම්බන්ධීකරණය කරමින් අදාළ අවශ්‍යතා ඉටුකර ගත යුතු බව ද හිටපු මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා මෙහිදී අවධාරණය කළේය.

“මේ සම්බන්ධයෙන් රජයට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එසේම අදාළ සිවිල් සංවිධාන මුහුණ දෙන ගැටලු, අභියෝග සහ දුෂ්කරතාවලට පිළිතුරු ලබා දෙමින් ඔවුන් සමඟ අවබෝධයෙන් රජය කටයුතු කළ යුතුයි. මම යළිත් අවධාරණය කරනවා, රාජ්‍ය නොවන සංවිධානවල සහ සිවිල් සංවිධානවල සහාය නොමැතිව ආපදා කළමනාකරණයක් ගැන මට නම් හිතන්නවත් බැහැ. අද එවැනි ප්‍රවණතාවක් තිබෙනවා නම් අපි ලොකු අමාරුවක වැටෙනවා. රජයට විතරක් මේක තනියම කරන්න බැහැ. අපේ ජනතාව තුළ තිබෙන සහකම්පනයට ඉඩක් තිබිය යුතුයි”.

මෙහිදී සුනිල් කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ නොදීම හේතුවෙන් පොදු ජනතාවට ද අදාළ ආපදා ප්‍රතිසාධන කටයුතුවලට සම්බන්ධ වීමට තිබෙන අවස්ථාව දුර්වල කරන බවයි.

  • රජයේ කාර්යභාරය කුමක් ද ?

මෙවැනි බරපතළ ආපදා තත්ත්වයක දී රජය අදාළ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකස් කිරීම, දුෂ්කරතා හා ගැටලු විසඳීම, මග පෙන්වීම හා සම්බන්ධීකරණ කාර්යයන් ඉටුකළ යුතු බව පෙන්වා දුන් හිටපු මහ දිසාපතිවරයා අදාළ යටිතල පහසුකම් (ඉඩම් ලබාදීම වැනි) සපයා දීම රජය කරන විට ඊට අදාළ සෙසු කාර්යයන් රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ඉටුකරනු ඇතැයි කීවේය.

මෙහිදී සුනාමිය උපුටා දැක්වූ හිටපු මහා දිසාපතිවරයා අදාළ ප්‍රතිසංස්කරණ හා සුබසාධන කටයුතුවලට එදා රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ සංවිධාන ලබා දුන් සහාය ගැන යළි සිය මතකය අවධි කළේය.

“මේ පසුබිම තුළ මම යළිත් අවධාරණය කරන්නේ ආපදා කළමනාකරණයට සහ ප්‍රතිසන්ධානයට රාජ්‍ය නොවන හා සිවිල් සංවිධානවල සහාය ලබාගත යුතු බවයි. එවැනි සහායකින් තොරව රජයට පමණක් මේ භාරධුර කර්තව්‍ය ඉටු කිරීම අපහසුයි” හිටපු මහා දිසාපතිවරයා යළි අවධාරණය කළේය.

දකුණු ආසියානු කලාපයේ රටක් ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ සහකම්පනය සාපේක්ෂව ඉහළය. ආගමික හා සංස්කෘතික පසුබිම අනුව ද මෙරට ජනතාව විපතකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මෙවර ආපදාවේ දී වසර සිය දහස් ගණනක් පුරා පැවත ආ මේ සහකම්පනයට බාධා පැමිණවීම සිදුවිය. වෙනදා සිය කැමැත්තෙන්, ස්වේච්ඡාවෙන් අනෙකාට උදව් – උපකාර කිරීමට ඉදිරිපත් වූ ජනතාවට මෙවර කිසියම් කණ්ඩායමක් විසින් පෙන්වා දුන් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට සිදුවිය. එය නියමිත ක්‍රියාපටිපාටි ඔස්සේ සහ අනියම් ක්‍රියාමාර්ග ඔස්සේ සිදුවන ආකාරය පහසුවෙන් දැකගත හැකි විය.

ආපදා සහන සැලසීම රාජ්‍ය යාන්ත්‍රණ තුළින් පමණක් සිදුවිය යුතු ද ? යන අදහස පිළිබඳව සිය දීර්ඝ කාලීන සමාජ සහ දේශපාලන අත්දැකීම් මත පදනම් කතිකාවට එක් වූ උපුල් නිශාන්ත මහතා අවධාරණය කළේ ආපදා අවස්ථාවක පුරවැසියන් සහන හා සුබසාධන කටයුතුවලින් ඈත්කර නිෂ්ක්‍රීය නරඹන්නන් ලෙස ස්ථානගත කිරීම ආණ්ඩුවට මෙන්ම සමාජයට ද යහපත් තත්ත්වයක් නොවන බවයි.

  • සහකම්පනයක් ඇති ජනතාවක්

මේ සම්බන්ධ තම ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය,  “අපි දන්න ආකාරයට මිනිස්සු ස්වභාවයෙන්ම දේශපාලනිකයි, ඒ නිසා මිනිස්සු කැමතියි කිසියම් නායකත්වයක් උසුළන්න. මෙවැනි ස්වභාවික විපතක් පැමිණි පසු ගම්වල සක්‍රීය වෙන මිනිසුන් අතර විශාල ප්‍රමාණයක් ඉන්නේ අන්න ඒ නායකත්වය අතට ගන්න මිනිස්සු. මම හිතනවා රජයක් ලෙස බුද්ධිමත්ව සිතනවා නම් ඒක මෙවැනි ව්‍යසනයක දී සමාජයට සහ රටට ලැබෙන සම්පතක් සහ අවස්ථාවක් කර ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ අවස්ථාවේ අපි මේ ගැන ගැඹුරින් කල්පනා කර බැලිය යුතුයි.

අපි අපේ සංස්කෘතිය, උරුමයන්, අපේ ආචාරධර්ම සහ අපේ හැසිරීම් ගැන හිතන්නේ නැතිව දරදඬු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කළොත් ඒකේ ප්‍රතිඵල ඊට වඩා භයානක වෙන්න පුළුවන්. අපේ දිසාපතිතුමා කිව්වා වාගේ මීට දශකයකට වඩා අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. සමාජ මාධ්‍ය බරපතළ ලෙස තීරණාත්මක කාර්යභාරයක් කරනවා.

ආපදාවට මුහුණ නොදුන් ජනතාව නිෂ්ක්‍රීයව ඉන්නේ නැහැ. ඔවුන් රටේ, ලෝකයේ වෙන්නේ මොකක්ද කියලා ඉතාම සවිඥානිකව සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ තමන්ගේ මතවාදයේ සහ දැනුමේ තරමට තීන්දු දෙන, තීරණ ගන්න තත්ත්වයකට පත්ව සිටිනවා. ඉතිං, මේ වුවමනාව තිබෙන මිනිස්සු සක්‍රීයව සම්බන්ධ නොවුණොත් ඒ අය අක්‍රීය නරඹන්නන් ලෙස බරපතළ ලෙස විවේචකයින්ගේ භූමිකාවට පැමිණෙනවා. මම හිතන ආකාරයට ඒක සමාජයක් ලෙසත්, රජයක් ලෙසත් යහපත් තත්ත්වයක් නෙමෙයි”.

  • ජනතාවට ඉඩදිය යුතු ඇයි ?

මෙහිදී උපුල් නිශාන්ත පෙන්වා දුන්නේ සහන සහ සුබසාධන ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම තුළින් ඔවුන් මෙම ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කළ හැකි බවත් ජනතාව හැකි තරම් මේ ආපදා කළමනාකරණ හා සහන ක්‍රියාවලිය හා සම්බන්ධ කරගත යුතු බවයි.

ආපදාවකින් පසු විපතට පත් ජනතාවට සහන සහ සුභසාධන සේවා සැලසීමට සාමාන්‍ය ජනතාව දක්වන උනන්දුව හා කැපවීම දින කිහිපයකින් පසු ක්‍රමයෙන් දුර්වල වන බව පෙන්වා දුන් හිටපු නගරාධිපතිවරයා ඊට පසුව අදාළ සමස්ත ක්‍රිායාවලියේ සම්පූර්න බර කරට ගැනීමට සිදුවන්නේ ආණ්ඩුවට පමණක් බව ද කීවේය.

“නමුත් අර ජනතා සහභාගීත්වය ජනතාවගේ එදිනෙදා ජීවිතයට, පැවැත්මට වටිනාකමක් දෙන්න ලොකු අවස්ථාවක් වෙනවා. ඒ වගේම විවේචකයින් වෙනුවට විපතට පත් ජනතාවට උදව් උපකාර කරන මිනිසුන් බවට ඔවුන් පත්වෙනවා. මේක ඉතාම යහපත් තත්ත්වයක්. මොකද විවේචකයින්ට වඩා රටක් ලෙස පරිත්‍යාගශීලී සහකම්පනයක් සහිත මිනිසුන් වටිනවා. ඒ නිසා මම යළි අවධාරණය කරනවා, මේ මිනිසුන් නරඹන්නන් පිරිසක් බවට පත් කිරීමට කිසියම් යාන්ත්‍රණයක් කටයුතු කරනවා නම් ඒක කිසිසේත්ම යහපත් තත්ත්වයක් නෙමෙයි. ඒක ඉතාම හානිකර තත්ත්වයක්. ඒ වගේම ඒක අපේ සංස්කෘතියත් එක්කත් ගැළපෙන්නේ නැහැ”.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කාර්යයයේ දී ආණ්ඩුව සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට අවස්ථාව ලබාදිය යුතුය යන ස්ථාවරයේ තම සංවිධානය ද සිටින බව දේශෝදය ජාතික සංවිධායක නිශාන්ත ප්‍රීතිවිරාජ් මහතා කීවේය.

මෙවැනි තත්ත්වයක් තුළ වැදගත් වන්නේ බහුපාර්ශ්වික ප්‍රවේශයක් බව අවධාරණය කළ ඔහු  මේ තුළ රාජ්‍යය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පුළුල් පාර්ශ්ව එකතුවක් සිටින බව ද සඳහන් කළේය.

  • මේක අපේ අනන්‍යතාව

“අපේ සමාජය තුළ සිටින සියලුම දෙනා මෙවැනි ආපදා අවස්ථාවක දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කටයුතු කරන ස්වභාවයක් තිබෙනවා. ඒක අපේ දකුණු ආසියානු, ශ්‍රී ලාංකික අනන්‍යතාවයයි. අපි සහකම්පනය සහිත ජනතාවක්. මේක ස්වභාවික ආපදාවකදී පමණක් නොමෙයි මහා මාර්ගයේ සිදුවන අනතුරකදී පවා දැක ගන්න පුළුවන් තත්ත්වයක්.

“බොහෝ විපත්වල දී අදාළ නිලධාරීන් එකී ස්ථානයට පැමිණීමට පෙර පෙරට එන්නේ සාමාන්‍ය ජනතාව, ඔවුන් එවැනි අවස්ථාවක ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා” නිශාන්ත පෙන්වා දුන්නේය.

“අපේ ජනතාව අතර තිබෙන මේ උතුම් ගුණය රාජ්‍ය යාන්ත්‍රණය හෝ වෙනත් කිසියම් බලවේගයක් විසින් අවතක්සේරු නොකළ යුතුයි. මේ හරහා තමයි අපි රටක් ලෙස, ප්‍රජාවක් ලෙස ඕනෑම ප්‍රශ්නයක දී එකට එකතු වෙලා වැඩ කරන්නේ“ යැයි කී නිශාන්ත මේ අවස්ථාවේ දී ද රාජ්‍ය යාන්ත්‍රණය බොහෝ දේ කළ බව අවධාරණය කළේය.

  • සිවිල් සමාජය වැදගත් වන්නේ ඇයි ?

“නමුත් බොහෝ අවස්ථාවල වැඩි බරක් ගත්තේ සිවිල් සමාජය සහ උනන්දුමත් පුරවැසියන් සහ පුරවැසි කණ්ඩායම්. මේ වන විට සමාජ මාධ්‍ය තුළ මේ තත්ත්වය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. නමුත් සිවිල් සමාජය සහ රාජ්‍ය නොවන සංවිධාන තවත් එහාට ගොස් විශාල මැදිහත්වීමක් කරනවා. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයට නැති ශක්තියක් හා හැකියාවක්, සම්බන්ධතා සිවිල් සමාජයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට තිබෙනවා. ඒ නිසා අපි දකිනවා, ප්‍රජාවත් එක්ක එකතු වුණ, සිවිල් සමාජයත් එක්ක එකතු වුණ, රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක එකතු වුණු ශක්තියක් එක්ක තමයි රාජ්‍ය අංශය ආපදා සහන සැලසීම කළ යුතු වෙන්නේ” යැයි කී නිශාන්ත මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය අංශය පහසුකම් ගලා යාමේ සීමාවන් පවතින බව ද පෙන්වා දුන්නේය.

“ඒක රාජ්‍ය අංශය සතු අඩුපාඩුවක් හෝ දුර්වලතාවක් නොවෙයි, ඒක තමයි ස්වභාවය. රාජ්‍ය අංශය ක්‍රියාත්මක වෙන්නේ ඒකට අදාළ අණපනත්, චක්‍රලේඛ, කාර්යපටිපාටි හා සම්ප්‍රදායන් තුළයි. ඉහළ සිට පහළට බලතල ගලා යන ධූරාවලියක් තමයි රාජ්‍ය අංශය සතු වෙන්නේ. ඒ තත්ත්වය ආපදාවක් වැනි අති සංකීර්ණ හා පුළුල් තත්ත්වයක් තුළ යම් ප්‍රමාදයන් සිදුවෙන්න පුළුවන්. හිටපු දිසාපතිතුමා කිව්වා වාගේ එවැනි සීමිතකම් නොතකා හරිමින් යම් යම් අවස්ථාවල රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන ආකාරය අපි දකිනවා. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් ඒකේ යම්කිසි අපහසුකමක් තිබෙනවා” නිශාන්ත රාජ්‍ය අංශය තුළ පවතින ස්වභාවික දුර්වලතා, සීමිතකම් පෙන්වා දෙමින් රාජ්‍ය යාන්ත්‍රණය බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක වීමේ ගැටලු ද පෙන්වා දුන්නේය.

මෙහි දී ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය යාන්ත්‍රණය සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා කණ්ඩායම් ඇතුළු බහුපාර්ශ්වික ප්‍රවේශයක් තුළ ඒකාබද්ධතාවකින් කටයුතු කරන්නේ නම් මේ ආපදා අවස්ථාවේ ජනතාවට සහන සැලසීම හා සුබසාධන සේවා ලබාදීම වඩාත් ඵලදායී හා තිරසාර ලෙස ඉටුකළ හැකි යැයි තමා විශ්වාස කරන බවයි.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website