78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙළක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ එච් එම් එච් අබේරත්න මහතා සඳහන් කරයි.
මෙවර නිදහස් දින තේමාව ‘ගොඩනගමු ශ්‍රී ලංකා’ බව පැවසූ අමාත්‍යවරයා මෑතක දී රට තුළ ඇතිවූ ආපදාව හේතුවෙන් මෙවැනි තේමාවක් යොදා ගත් බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
78 වන නිදහස් දිනය මෙම වර්ෂයේත් අභිමානවත්ව සැමරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද මෙවර නිදහස් සැමරුම ඉතිහාසයේ පෙර පැවති අවස්ථා වලට වඩා සුවිශේෂී සහ අභියෝගාත්මක අවස්ථාවක් බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සඳහන් කළේය.
“සැබෑ නිදහසක් අත්කර ගැනීමට බහුවිධ ප්‍රවේශයකින් යුත් වැඩපිළිවෙළක් දියත් කරනවා” අමාත්‍යවරයා පැවසුවේ ය.
ඉතිහාසයේ මෙරටට වරින් වර විදෙස් ආක්‍රමණ සහ ඒවායින් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජනතාව පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කිරීම් සහ කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස 1948 වසරේ මෙරටට නිදහස ලබා ගැනීමට හැකියාවක් ලැබුණු බව ද පැවසුවේය.
ඒ වෙනුවෙන් කැපකිරීම් කළ ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාට අදාළ ගෞරවය බුහුමන පුද කරමින්ම 78 වන නිදහස් සමරුවේදී තවත් සුවිශේෂී වැඩපිළිවෙළක් ඇරඹීමට පියවර ගෙන ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.
“මෙවර නිදහස් දිනයේ සම්පූර්ණ අපේක්ෂාව වනුයේ බිඳ වැටුණු සියල්ල නැවත නගාසිටුවමින් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් සහ දේශපාලනිකව ශක්තිමත් ප්‍රජාවක් ලෙස ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි. 78 වන නිදහස් සමරුව හුදු උත්සවයක් බවට පත්කර නොගනිමින් අනාගතවාදී දැක්මකින් අනාගතය ගොඩනැගීමට මෙන්ම වඩා යහපත් රටක් නිර්මාණය කර ගැනීමටත් හොඳ ආර්ථිකයක් නිර්මාණය කර ගනිමින් එහි ප්‍රතිලාභ ජනතාවට ගලා ගෙන යා හැකි රටක් නිර්මාණය කර ගැනීමට ද මෙම අවස්ථාව පාදක කර ගනිමු කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පැවසුවේය.















