උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2026/ 2027 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය සලකනු නොලබන අතර උසස් පෙළට ඇතුළත් වී 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමකින් යුතු වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට සිසුන්ට අවස්ථා සැලසේ.
202 5(2026) හෝ පසුගිය වසර 3ක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑ ම සිසුවෙකුට වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකිය. 13 ශ්‍රේණියේ දී එම සිසුන්ට සුදුසු වෘත්තියක NVQ 4 මට්ටමේ පුහුණුවක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින් ම සම්බන්ධ කරනු ලැබේ. මෙහි දී, සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන් ම රැකියා ස්ථානයක පුහුණුව ද ලබා ගත හැකි ය.
සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර් රථ/ රථ වාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, ප්‍රාසාංගික කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදනය, ඇඟලුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිසැකසුම්කරණය, පෑස්සුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියාකරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප, වෙළඳ හා සැපයුම් යනාදී ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා සිසුන්ට හිමි වේ.
මෙම පුහුණුව සාර්ථක ව නිමා කරමින් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට NVQ 4 සහතිකය හිමිකර ගත හැකි අතර, එයින් දේශිය හෝ විදේශීය රැකියාවලට මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථාවලට ද ව්‍යවසායකත්වයට ද පිවිසිය හැකි ය.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීමේ අයදුම් පත්‍රය, අයදුම් කළ හැකි පාසල් ලේඛනය, වෘත්තීය පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර ඇතුළු තොරතුරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ යටතේ පළ කර ඇත.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොසලකා සිසුන්ට දහතුන් වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කෙරේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා සම්බන්ධ වීමෙන් හෝ මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි ය.
අධ්‍යාපන අධ්යක්ෂ (සැමට අධ්‍යාපන), අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. දුරකථන – 0112 787136, 0112 786746, directorefa@moe.gov.lk
Web – www.moe.gov.lk
















