2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයක්

2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,066.88 ක් විය.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට  ප්‍ර‍ධාන ශක්තියක් වි ඇත. සේවා අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 334.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68% ක වැඩිවීමකි.

2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුල මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයකි.

අපනයන ආදායමේ වර්ධනය, භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)  සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 ක් වූ අතර එය වාර්ෂිකව 4.22% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ බවත්, එමගින් වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ධනාත්මක බලපෑමක් සිදු වී ඇති බවත්ය. ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව ඔහු සඳහන් කළ අතර නිවැරදි සැලසුම් සහ නව අවස්ථාවන් සොයාගෙන 2026 වර්ෂය පුරාවට මෙම වර්ධනය ඉදිරියට ගෙන යා හැකි බවත් අවධාරණය කළේය.

දැනුම මත පදනම් වූ ආර්ථිකය (knowledge-based economy අපනයන ආදායමට වැඩි දායකත්වයක් ලබා දෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.

මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුව / ශ්‍රී ලංකා රේගුව

ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය / ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

26.03.2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website