ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අපොස උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.
2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (01) පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළාය
යම් යම් හේතූන් මත විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් වීම හේතුවෙන් පසුගිය කාලය පුරාම දරුවන් දැඩි අසීරුතාවයට පත්වූ බවත් ඒ නිසාවෙන් මේ වසරේ දැනුම්දෙන ලද දිනයන්හිදීම විභාග පැවැත්වීමට පියවර ගන්නා බවත් ඇය අවධාරණය කළාය. වැඩිදුරටත් සඳහන් කළාය.
“2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් 22 – 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට පළමු අදියරේ ඇගයීම් කටයුතු අවසන් කර තිබෙනවා. අද (01) දිනයේ සිට දෙවැනි වටයේ ඇගයීම් කටයුතු ආරම්භ කරන අතර අප්‍රේල් මස 30 වන දින සිට තුන්වන අදියරේ ඇගයීම් කටයුතු කිරීමට නියමිතයි. එසේම 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වන දිනත්, උසස් පෙළ අගෝස්තු 10 වන දිනත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8 වන දිනත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සියලු විභාග සැලසුම් කළ දිනවල පැවැත්වීමට අපි පියවර ගන්නවා” විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩි දුරටත් පැවසුවාය.







