2025 වසරේදී විදේශීය ජාතිකයින් 05 දෙනෙකු ශ්‍රී ලංකාව තුළ රිය පදවා මියගොස් ඇත. එමෙන්ම විදේශියකයන් විසින් රිය පදවා බරපතළ රිය අනතුරු 07 ක්, සුළු තුවාල රිය අනතුරු 78 ක් මෙන්ම රථ වාහන අලාභ අනතුරු 06 ක් ද වාර්තා වී ඇත.
මෙරට තුළ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවන විදෙස් සංචාරකයින් මෙන්ම මෝටර් රථ වාහන පනත උල්ලංඝනය කරමින් ඔවුනට කුලී රථ ලබා දෙන පාර්ශ්වයන් මෙලෙස අනතුරු වාර්තා වීමට හේතුවන බව නිරීක්ෂණය වී තිබේ.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම ශ්‍රී ලංකා පොලිසියේ වගකීම සහ යුතුකම වන බැවින් මෙම තත්වය වැළක්වාගැනීම සඳහා විදෙස් සංචාරකයන්ට වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව වාහන ලබා දෙන අයවළුන් සම්බන්ධව රථවාහන මෙහෙයුම් මගින් සොයා බැලීම දකුණු පළාත මූලික කරගනිමින් ආරම්භ කර ඇත.
විදේශිකයෙකු වෙත වාහනයක්, යතුරුපැදියක් හෝ ත්‍රීරෝද රථයක් ලබා දෙන්නේ නම් පහත බලපත්‍ර වලින් එකක් අනිවාර්යයෙන්ම එම විදෙස් ජාතික පුද්ගලයා සතුව තිබිය යුතුය.
• ජාත්‍යන්තර රියැදුරු බලපත්‍රය (මෙම බලපත්‍රයට අදාල පන්තිවලට අයත් වාහනය පැදවිය හැක.)
• මෙරට රැඳී සිටින විදේශිකයෙකු හට ශ්‍රී ලංකා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් රියැදුරු බලපත්‍රයක් නිකුත් කර ඇත්නම් එම රියැදුරු බලපත්‍රය (අදාළ පන්තියට ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවේ වාහනයක් පැදවීමට හැකියාව ඇත.)
• විදේශිකයන්ට තමන්ගේ රටෙන් නිකුත් කරන රියැදුරු බලපත්‍රයට සමගාමීව එම රියැදුරු බලපත්‍ර ශ්‍රී ලංකාවේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි පරිවර්තන සහතිකය. (එයට අදාල නියමිත පන්තියේ වාහනයක් පැදවිය හැක. මෙම පරිවර්තන සහතික වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ කවුළුවකින් නිකුත් කරනු ලබයි.)
ඉහත ආකාරයේ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයෙකුට මෝටර් වාහනයක්, ත්‍රීරෝද රථයක් හෝ යතුරුපැදි කුලී පදනම, බදු පදනම මත හෝ වෙනත් ආකාරයකින් ලබා දීම වරදක් වන අතර මෝටර් රථ වාහන පනත ප්‍රකාරව පාර්ශව දෙකටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.
ඇතැම් අවස්ථාවලදී විදේශිකයින් නොමග යවා ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර ඉදිරිපත් කරනු ඇත. එබැවින් කුලී රථ ලබාදීමේදී අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
එමෙන්ම රියැදුරෙකු වන ඔබ රථ වාහන ධාවනයට පෙර රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය, රථ වාහන දුම් විමෝචන සහතිකය සහ යෝග්‍යතා සහතික මෙන්ම වාහනයේ යාන්ත්‍රික දෝෂ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. පොලිස් නිලධාරියෙකු රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවකදි අනිවාර්යෙන්ම රියැදුරු බලපත්‍රය ඉදිරිපත්කළ යුතුය.
මෝටර් වාහන පනතේ 123 ( i අ) පරිදි රියැදුරු බලපත්‍රයක් නොමැතිව කිසිදු වාහනයක් ධාවනය කළ නොහැකි අතර රියැදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු සේවයේ යෙදවීම හෝ බාලවයස්කාර අයෙකු රිය පැදවිමට යෙදවුවහොත් පදවන අයට හා අයිතිකරු යන දෙදෙනාටම මෝටර් වාහන පනතේ යටතේ නඩු පැවරීම සිදුකෙරේ.















