2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලුම විෂය ධාරාවන් ඔස්සේ ඉහළම ලකුණු ලබාගත් සිසුන්ගේ නම් විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අත්සනින් යුතුව අද (01) නිකුත් කර ඇත.
2025ර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති අතර සිසුන් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති අතර සිසුන්ගෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වී ඇත.
2025 උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් සංඛ්‍යාව 7,477ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.
විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණු ප්‍රමාණයන්
| විෂය ධාරව | රාජ්‍ය පාසල් % | පුද්ගලික පාසල් % |
| ජීව විද්‍යාව | 59.56 | 58.43 |
| වාණිජ | 72.02 | 66.59 |
| කලා | 67.57 | 63.57 |
| ඉංජිනේරු තාක්ෂණවේදය | 64.85 | 62.65 |
| ජෛව පද්ධති තාක්ෂණවේදය | 71.76 | 70.24 |
| වෙනත් විෂය | 55.39 | 51.45 |
2025 අපොස උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ප්‍රතිශතය පළාත් අනුව, බස්නාහිර – 69.42%ක්, වයඹ – 68.48%ක්, උතුරු – 66.91%ක්, නැගෙනහිර – 66.32%ක්, දකුණ – 65.69%ක්, සබරගමුව – 64.97%ක්, ඌව – 63.53%ක් , මධ්‍යම – 63.04%ක්, උතුරු මැද – 60.91%ක්
2025 උසස් පෙළ විභාගයේ ප්‍රවණතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙසේ ද සඳහන් කළාය. “2025 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට අපට ප්‍රවණතා කිහිපයක් දැක ගන්න පුළුවන්. 2025 අපොස උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ප්‍රතිශතය පළාත් අනුව, බස්නාහිර ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම මෙවර විශ්වවිද්‍යාල ලැබූ පිරිස අතරින් බහුතරයක් ගැහැණු දරුවන් වීමත් කාලයක් පුරා පවතින ප්‍රවණතාව යළි තහවුරු වීමක් ලෙස සැලකිය හැකියි. නමුත් ජීව විද්‍යා අංශයෙන් පමණක් පිරිමි දරුවන් වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් ලබා තිබෙනවා.ඒ වගේම තමයි මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ දී කලා විෂය ධාරාවට පෙනී සිටින දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 32.03%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. කලා විෂය ධාරාවේ මෙම පහළ වැටීම සමගාමීව ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තොරතුරු තාක්ෂණය යන විෂය ධාරාවන්ට ළමුන්ගේ වැඩි නැඹුරුවක් තිබෙනවා. මේ තත්ත්වය වැදගත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකියි”
සියලුම විෂය ධාරාවන් හරහා පළමු ස්ථාන තුන ලබාගත් සිසු සිසුවියන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
ජීව විද්‍යා විෂය ධාරාව:
- ප්‍රථම ස්ථානය: ඩිලාන් සංජන (රාජකීය විද්‍යාලය, කොළඹ)
- දෙවන ස්ථානය: ක්‍රිෂාන් සසිදු නම්තර (තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ)
- තෙවන ස්ථානය: දර්ශන කෝනේෂ් (ශ්‍රී ෂන්මුගා හින්දු කාන්තා විද්‍යාලය, ත්‍රිකුණාමලය)
භෞතික විද්‍යා විෂය ධාරාව
- පළමු ස්ථානය: දෙවෙන්දන් තිරුකුමාරන් (කිලිනොච්චි මහා විද්‍යාලය)
- දෙවන ස්ථානය: තරුෂ ගිම්හාන ගම්ලත් (මලියදේව විද්‍යාලය, කුරුණෑගල)
- තෙවන ස්ථානය: විනුර ප්‍රසාද් ද මෙල් (ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය, පානදුර)
වාණිජ විෂය ධාරාව
- පළමු ස්ථානය: සුබෙයිදීන් මොහොමඩ් ෆර්දාන් (කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය)
- දෙවන ස්ථානය: සේනාදි දිහස්නා සුමනසේකර (මූසියස් විද්‍යාලය, කොළඹ)
- තෙවන ස්ථානය: දිලීප සඳරැස් කරුණාරත්න (බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ)
කලා විෂය ධාරාව
- ප්‍රථම ස්ථානය: අචින්ත මිහිරංග රත්නායක (වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල)
- දෙවන ස්ථානය: Aaliyah Zainab (දේවි බාලිකා විද්‍යාලය, කොළඹ)
- තෙවන ස්ථානය: මෙතුසාරි දිනෙත්‍යා රණතුංග (කොළඹ මියුසියස් විද්‍යාලය)
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව
- ප්‍රථම ස්ථානය: හේෂාන් අනුජය වනිගසූරිය (බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ)
- දෙවන ස්ථානය: සිතිජ දුලාන් බණ්ඩාර (විජයබා ජාතික පාසල, මහව)
- තෙවන ස්ථානය: රිවීන් වින්සරා (CWW කන්නන්ගර මහා විද්‍යාලය, මතුගම)
ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව
- පළමු ස්ථානය: ඉෂානි මනෝධා (බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ)
- දෙවන ස්ථානය: විහඟ ඉමාෂා කන්දෙආරච්චි (රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ)
- තෙවන ස්ථානය: ජයත්මා අමන්දි විජේසිංහ (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය)














