2022 වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට පත් නොවී සිටීමට ඇති අයිතිය මෙහිදී උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් මෙම රැඳවියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බව යි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රැඳවියාට ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබිණි.













