2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර: මළවුන් අමතක කළ නොහැක

ජෙහාන් පෙරේරා

වත්මන් ආණ්ඩුව තේරී පත්වූයේ සත්‍යය, යුක්තිය සහ වගවීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදෙමිනි. කතෝලික පල්ලිය විශේෂයෙන් ආණ්ඩුවට මෙම පොරොන්දුව මතක් කර දී ඇති අතර පිළිතුරු සඳහා දිගටම බලපෑම් කරයි.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් එකක් වන 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණවල නව ප්‍රගතියක් ඇත්තේ මේ නිසා විය හැකිය. 2019 පාස්කු ඉරිදා සිදුකරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් 279 දෙනකු මියගොස් තවත් බොහෝදෙනකුට තුවාල සිදුවිය.

පසුගියදා පළකෙරුණු ප්‍රවෘත්ති වාර්තාවක(https://www.ucanews.com/news/sri-lanka-arrests-ex-intelligence-chief-over-2019-easter-bombings/112031) කියවුණේ, පිපිරීම්වලින් තම සය හැවිරිදි දියණිය අහිමි වූ පියෙකුගේ කතාව කියයි. ඇය අද ජීවතුන් අතර සිටියා නම්, ඇයට වයස අවුරුදු 13 කි. ඔහු පැවසුවේ, “ඔබට සත්‍යය සදහටම සැඟවිය නොහැක. දැන් එය එළියට එන්නට පටන් ගෙන තිබේ. අපට සම්පූර්ණ සත්‍යය සහ යුක්තිය අවශ්‍යයි. අපේ දරුවන් නිෂ්ඵල ලෙස මියගියේ නැත”. ඔහුගේ වචනවලින් විඳිත පවුල්වලට තවමත් දැනෙන ගැඹුරු වේදනාව පෙන්නුම් කරයි. සිදු වූ දේ මතක තබාගැනීමට සහ ඔවුන්ගේ ආදරණීයයන් සඳහා සත්‍යය සහ යුක්තිය ඉල්ලා සිටීමට ඔවුන් තුළ ඇති දැඩි අධිෂ්ඨානය ද ඔවුහු පෙන්නුම් කරති.

විශේෂයෙන් තමන් ආදරය කරන කෙනකු අන් අයගේ ක්‍රියාවන් හෝ වැරදි නිසා මරාදැමුණු විට, යුක්තිය සඳහා වන ආශාව සෑම කෙනකුටම තේරුම්ගත හැකි තත්වයකි. උතුරේ මව්වරුන් තුළ, යාපනයේ සහ අනෙකුත් නගරවල මෙය දැකිය හැකිය. වසර ගණනාවක් තිස්සේ, යුද්ධය අවසන් වූ 2009 දී සහ ඊට පෙර පවා අතුරුදහන් වූ තම දරුවන්ට සිදුවූයේ කුමක්දැයි විමසමින් ඔවුහු මාර්ග දෙපස වාඩි වී සිටිති. 1990 සැප්තැම්බර් 5 වැනි දින සිදු වූ දෙය එක් උදාහරණයකි. එදින මඩකලපුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාවකාලික සරණාගත කඳවුරකින් පුද්ගලයන් 158 දෙනකු රැගෙන යන ලදී. ඔවුන් ඉන් රැගෙන ගිය අතර, කිසිවකු නැවත කිසි දිනෙක ඔවුන් දැක නැත. එහෙත් යථාර්ථයේ දී, බලයේ සිටින තැනැත්තන් විසින් පුද්ගලයන්ගේ දුක් වේදනා බොහෝවිට පසෙකට තල්ලු කරනු ලැබේ. ඔවුන් ආණ්ඩු බලයේ රැඳීසිටීම කෙරෙහි පමණක් අවධානය යොමුකරති. ආරක්ෂක හමුදා එකිනෙකා ආරක්ෂා කරයි. ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය හෝ ජාතික අභිමානය යන නාමයෙන් විසින් අතීතය අමතක කිරීමට සමාජය සමහර විට දිරිමත් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව එය අමතක කර නැත. කතෝලික පල්ලියේ සහ වින්දිතයන්ගේ පවුල්වල අඛණ්ඩ උත්සාහයන් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සඳහා වන ඉල්ලීම ශක්තිමත්ව පවතී. උදාසීනත්වය, කෝපය සහ තර්ජන පවා නොතකා එය දිගටම පැවැතිණි. සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, තවමත් මෙම අපරාධය සිදුවූ ආකාරය පිළිබඳ ගැටළුවට පිළිතුරු සොයන අය විසින් වැදගත් මොහොතක් ලෙස සලකන්නේ මෙම අධිෂ්ඨානය නිසා විය හැකිය. ඔහු කලක් හමුදා බුද්ධි අංශයට නායකත්වය දුන් සහ පසුව රාජ්‍ය බුද්ධි සේවයට නායකත්වය දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකි. ඔහුගේ අත්අඩංගුවට ගැනීම මතභේදයට තුඩු දී තිබේ. දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ජාල බිඳදැමීමේදී ඔහු වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව බොහෝ අය විශ්වාස කරති. සමහරු ඔහු ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ බුද්ධි අංශ නිලධාරියකු ලෙස ද දකිති.

නොනවතින සැකයන්

2019 අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ගතවූ පළමු දිනයේ සිටම බොහෝදෙනකුට හැඟීගියේ, මෙම ප්‍රහාර ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කර ඇති බවත්, ඒවා තනිව ක්‍රියාත්මක වන තරුණ හෝ රැඩිකල්කරණය වූ පිරිමින් කුඩා කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවත්ය. ප්‍රහාර පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බවට සෑම විටම සැකයක් පැවැතිණි. විමර්ශනවලට සම්බන්ධ සමහර ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීහු පවා මෙම සැකය පළකළහ. බෝම්බ ප්‍රහාර සඳහා ISIS සංවිධානය වගකීම භාරගත් අතර, එහි නායකයකු ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ මෙම ප්‍රහාර ගෝලීය දෘෂ්ටිවාදාත්මක අරගලයක කොටසක් බවයි. කෙසේවෙතත්, මෙය වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ නැත. විශේෂයෙන් එල්ටීටීඊය සමඟ යුද්ධය වසර ගණනාවකට පෙර අවසන් වී ඇති අතර, ඔවුන් තවදුරටත් ප්‍රති-බලකායක් ලෙස අවශ්‍ය නොවූ බැවින්, මෙම ප්‍රසිද්ධ මුස්ලිම් අන්තවාදීන් කළින් අත්අඩංගුවට නොගත්තේ ඇයි? ඉන්දියාවෙන් නැවත නැවතත් ලැබුණු බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරියේ ඇයි?

2019 ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් නොසැලකිලිමත් වූ බව සොයාගැනීමෙන් ඔබ්බට, ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු වසර හතක් තිස්සේ ඒ පිළිබඳව පියවර ගත්තේ නැත. විමර්ශනවල එතරම් ප්‍රගතියක් නොලැබුණු අතර, වැදගත් ප්‍රශ්න රැසකට පිළිතුරු නොලැබිණි. බුද්ධි අංශවල සිටින සමහර පුද්ගලයන්, සමහර විට ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ඇතිව, විමර්ශන දුර්වල කිරීමට හෝ ඒවාට බාධාකිරීමට උත්සාහ කර ඇති බවට පාර්ලිමේන්තු කමිටුවක් කනස්සල්ල පළකළේය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුව රජයේ නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු, නොසැලකිලිමත්කම සහ ඔවුන්ගේ රාජකාරි පැහැරහැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට තීන්දු කළේය. අධිකරණය ඔවුන්ට දැඩි දඩ මුදල් ගෙවීමට නියෝග කළේය. මෙම තීන්දුව මගින් තහවුරු කළේ රාජ්‍යය තම පුරවැසියන් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බවයි. කෙසේවෙතත්, නොසැලකිල්ල හිතාමතා සම්බන්ධ වීමට වඩා වෙනස් ය. නොසැලකිල්ල යනු නිසි ලෙස ක්‍රියාකිරීමට අපොහොසත් වීමයි. එහෙත් හිතාමතාම අනුග්‍රහය දැක්වීම යනු දැනුවත්ව උදව් කිරීම හෝ ප්‍රහාර සිදුවීමට ඉඩදීමයි. 2024 දී තේරී පත් වූ වත්මන් ආණ්ඩුව, පාස්කු ප්‍රහාර පිටුපස ඇති සම්පූර්ණ සත්‍යය අනාවරණය කිරීමට පොරොන්දු විය. ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ පොරොන්දු වූයේ සිය පාලනය යටතේ වගවීමක් ඇති බවයි.

2019 ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පුරවැසියන් ඇතුළු විදේශිකයන් කිහිපදෙනකු මියගියේය. මේ නිසා, ප්‍රහාරයෙන් ටික කලකට පසු එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල බුද්ධි අංශ තමන්ගේම පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ. එක්සත් ජනපදය ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඇත. කෙසේවෙතත්, අන්තර්ජාතික පරීක්ෂණ මගින් රටින් පිටත සිට ප්‍රහාර සැලසුම් කළ විදේශීය මහ මොළකරුවකු පිළිබඳ සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැත. ඒ වෙනුවට, ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි අසාර්ථකත්වයන් හෝ මැදිහත්වීම් කෙරෙහි අවධානය යොමුකර ඇත. දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) පරාජය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ බවට පුළුල් ලෙස විශ්වාස කරන ලද හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමෙන් රජය ප්‍රධාන දේශපාලන අවදානමක් ද ගෙන තිබේ. සමහර විපක්ෂ දේශපාලනඥයන් සහ ජාතිකවාදී කණ්ඩායම් පවසන්නේ, ඔහු අත්අඩංගුවට ගැනීම ආරක්ෂක හමුදාවන්ට සිදුකරන අසාධාරණයක් බවත්, විදේශ රටවල් තෘප්තිමත් කිරීම සඳහා සිදුකෙරෙන්නක් බවත්ය. තවත් සමහරු විශ්වාස කරන්නේ, මෙම අත්අඩංගුවට ගැනීම වත්මන් ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් මහජනතාව අවධානය වෙනතකට යොමුකිරීම සඳහා අදහස් කරන බවයි.

පාස්කුවෙන් ඔබ්බට

2019 ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් බොහෝදෙනකු නියෝජනය කරන කතෝලික පල්ලිය, ප්‍රහාර පිළිබඳ අලුත් කරන ලද පරීක්ෂණ සඳහා සහාය ලබා දී ඇත. පල්ලියේ මැදිහත්වීම මෙම ගැටලුව පක්ෂ දේශපාලනයෙන් ඉවතට ගෙන සත්‍යය සොයාගැනීම සහ යුක්තිය ඉටුකර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට උපකාරී වී තිබේ. කෙසේවෙතත්, ඒවා ඉතා බරපතල අපරාධ වුවද, සත්‍යය සෙවීම පාස්කු බෝම්බ ප්‍රහාරවලට පමණක් සීමානොවිය යුතුය. රාජ්‍යයක් එක් ඛේදවාචකයක් පමණක් විමර්ශනය කර අනෙක් ඒවා නොසලකා හරින්නේ නම්, සමහර ජීවිත අනෙක් ඒවාට වඩා වැදගත් බවට හැඟීමක් ඇතිකළ හැකිය. වාර්ගිකත්වය සහ ආගම මත පදනම් වූ බෙදීම් අත්විඳ ඇති ශ්‍රී ලංකාව වැනි රටක මෙය භයානක පණිවිඩයකි. සත්‍යය සෙවීම යනු දුෂ්කර අවස්ථාවන්හිදී සටන් කළ අය පාවාදීම නොවේ. ඒ වෙනුවට, නීතියේ ආධිපත්‍යය සැමට අදාළ වන බව එයින් පෙන්නුම් කෙරේ. සැකය ඉවත්කිරීමෙන් රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට සහ ජනතාව සහ රජය අතර විශ්වාසය නැවත ගොඩනැගීමට එය උපකාරී විය හැකිය.

ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය තුළ තවමත් නිසි ලෙස විමර්ශනය කර නොමැති බරපතල අපරාධ රාශියක් ඇතුළත් වේ. ජනවාර්ගික යුද්ධය අතරතුර, මහාපරිමාණ ඝාතන, බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීතිවිරෝධී ක්‍රියා තවමත් විසඳී නොමැත. යුද්ධය අතරතුර සමහර පල්ලි සහ අනාථ නිවාසවලට බෝම්බ හෙළන ලදී. බොහෝදෙනකු කඳවුරුවලින් රැගෙන ගොස් හෝ බලධාරීන්ට භාරකළ අතර, ඔවුන්ව නැවත කිසි දිනෙක දැක නැත. පවුල් දහස් ගණනක් තවමත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි නොදනී. අතුරුදහන්වූවන්ගේ මව්වරු විරෝධතා දක්වමින් පිළිතුරු ඉල්ලා සිටිති. ඔවුන් අව්වේ හා වැස්සේ එළිමහනේ වාඩි වී සිටින්නේ, තම දරුවන් අමතක කළ නොහැකි නිසා සහ ඔවුන්ට සිදු වූ දේ පිළිබඳ සත්‍යය දැනගැනීමට අවශ්‍ය නිසාය. ඔවුන්ගේ අධිෂ්ඨානය 2019 ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල්වල අධිෂ්ඨානයට සමානය. මෙම කණ්ඩායම් දෙකම එකම ප්‍රශ්නය අසයි: ඒ,  වගකිව යුත්තේ කවුද සහ ඇයි? යන්නය. දිගු කලක් තිස්සේ, ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. අතීත ගැටළු නැවත විවෘත කිරීම අස්ථාවරත්වයක් ඇති කළ හැකි බවටත්, ඒ වෙනුවට රට අනාගතය කෙරෙහි පමණක් අවධානය යොමුකළ යුතු බවටත් සමහරු තර්ක කර ඇත.

එහෙත් ජනතාවගේ මතකයන් සහ සත්‍යය හා යුක්තිය සඳහා ඇති ඔවුන්ගේ ආශාව අතුරුදහන් නොවේ. ශ්‍රී ලංකා රජය සත්‍යය සහ යුක්තිය පාලනයේ වැදගත් මූලධර්ම බවට පත්කරන්නේ නම්, රජයට රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම ආරම්භ කළ හැකිය. මෙයින් අදහස් කරන්නේම, අතීතයේ සැබවින්ම සිදු වූ දේ විමර්ශනය කිරීම සහ මීට පෙර යුක්තිය ලබානුදුන්නේ මන්දැයි තේරුම් ගැනීමයි. රටේ තුවාල සුවකිරීම සිදුකළ යුත්තේ, මියගිය අය අමතක කිරීමෙන් නොවේ. යුක්තිය යනු වගකිවයුත්තන්ට දඬුවම් කිරීම පමණක් නොවේ. එය, විශ්වාසය නැවත ඇතිකිරීම සහ සැඟවුණු වේදනාව හා පිළිතුරු නොලැබුණු ප්‍රශ්න රැගෙන නොගොස් සමාජය ඉදිරියට ගෙනයෑමට උපකාර කිරීම ද වේ. 2019 ශ්‍රී ලංකා පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්, යුද්ධය පැවැති වසරවලදී අතුරුදහන් වූ පුද්ගලයන් සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මියගිය සියලුදෙනා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ එකම ප්‍රජාවේ කොටසකි. ඔවුන් සියල්ලන්ටම එක හා සමානව සලකන බවට රජය පොරොන්දු වී ඇත. මේ සඳහා සත්‍යයට ස්ථාවර කැපවීමක් අවශ්‍ය වේ. පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශනය එය කොතැනට ගෙන ගියත්, සහ යුද සමයේ නොවිසඳුණු අපරාධ නැවත විවෘත කර විසඳීමෙන්, රජයට රට සුවකිරීම සහ අලුත් කිරීම කරා මෙහෙයවීමට උදව් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website