2012-13 දැයට කිරුළේ දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා ගැන අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර පැවසුවේ 2012 සහ 2013 දැයට කිරුළ ප්‍රදර්ශන දෙක සංවිධානය කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී මහජන අරමුදල්වලින් රුපියල් මිලියන සිය ගණනක මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, ලැබුණු අරමුදල්, වාර්තාගත වියදම් සහ ජනනය කරන ලද සැබෑ ආදායම අතර සැලකිය යුතු පරතරයක් ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් කමන්ත තුෂාර මෙසේ ද පැවසුවේය, “2012 දී අනුරාධපුර ඔයාමඩුවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයට විවිධ ආයතනවලින් රුපියල් මිලියන 990ක් ලැබී තිබෙනවා. මෙයට ප්‍රදර්ශනය සඳහාම භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 63ක්, වර්ග අඩි 100,000 ක වී ගබඩා පහසුකමක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200ක්, පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 65ක් සහ ව්‍යවස්ථාපිත ආයතනවලින් රුපියල් මිලියන 95ක් ඇතුළු අනෙකුත් ප්‍රතිපාදන ඇතුළත්ව තිබෙනවා කෙසේ වෙතත්, වියදම්වලින් රුපියල් මිලියන 733.8ක් පමණක් නිසි ලෙස ගිණුම්ගත කර තිබුණත් ආසන්න වශයෙන් රුපියල් මිලියන 256ක ශේෂයක් ඉතිරිව තිබෙනවා. එසේම ප්‍රදර්ශනයේ කුටි 400 ත් 600 ත් අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ නමුත් මෙම කුටිවලින් උපයන ලද ආදායම සම්පූර්ණයෙන්ම ගිණුම්ගත කර නැහැ. අපේ නිරීක්ෂණය අනුව එම මුදල මිලියන 100කට ආසන්නයි. ඒ අනුව 2012 ප්‍රදර්ශනයට අදාළව රුපියල් මිලියන 500 ක වංචාවක් සිදුවී ඇති බව පැහැදිලියි

2013 දී අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ද මෙවැනිම චෝදනා එල්ල වී තිබෙනවා. දැයට කිරුළ සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 130ක් සහ ව්‍යවස්ථාපිත ආයතනවලින් රුපියල් මිලියන 157ක් ලැබී තිබෙනවා. ප්‍රදර්ශන කුටි කුලියට දීමෙන් සහ බදු දුන් විනෝදාස්වාද අංගවලින් රුපියල් මිලියන 10ක ආදායමක් වාර්තා කර තිබුණ ද, සංවිධානය කියා සිටියේ තවත් කුටි 500 කින් පමණ ලැබුණු ආදායම, එනම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 25ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි. අම්පාර ප්‍රදර්ශනය සම්බන්ධයෙන් රුපියල් මිලියන 200ක් පමණ අයථා ලෙස පරිහරණය කර ඇති බව මේ අනුව පැහැදිලියි.

මේ අනුව සමස්තයක් වශයෙන්, 2012 සහ 2013 දී පැවති දැයට කිරුළ ප්‍රදර්ශන දෙක හරහා රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් වංචා කර තිබෙන බව අපි විශ්වස කරනවා. පුද්ගලික සහ දේශපාලන සම්බන්ධතා මත පදනම්ව කුටි බදු දීම සහ සමාගම්වලට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම හරහා ද දූෂණ සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන මෙන් අපි අල්ලස් කොමිෂමට ගොනු කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස, එවකට විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අගමැති ලේකම් සිරිසේන අමරසේකර, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මෙන්ම රාජ්‍ය පරිපාලන, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන හා මහාමාර්ග, විදුලිබල හා බලශක්ති ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන් ඇතුළු පුද්ගලයින් සහ නිලධාරීන් කිහිප දෙනෙකු නම් කර ඇති බව ද කමන්ත තුෂාර මහතා පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website