‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයෙන් ඇරඹේ

රටේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් වෙන් කරන අතරම, නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි යම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

නැව් ගමනාගමනය සහ ගුවන් ගමනාගමනය, මුළුමනින්ම නතර වී බොහෝ රාජ්‍යයන් තමන්ගේ සීමාවලට කොටු වූ කොවිඩ් වසංගය හමුවේ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ලෝකයටම ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී තිබෙන අතර, රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවටත්, පුරවැසියාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාව සඳහා සැලසුම් සකස් කරන අතරම  විධිමත් අධ්‍යයනයකින් පසු යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි  නිදහස් කිරීමටද රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසරපත්‍ර සහ දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතාවලට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

ඒ අනුව, මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසරපත්‍ර හා දීමනාපත්‍රවල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසරපත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍රය ලබා දීම සිදු කෙරෙන අතර වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

අද (27) දින අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීම සිදු කෙරුණු අතර, ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ප්‍රතිලාභීන් 50 දෙනෙකු වෙත ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ප්‍රදානය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website