නවසීලන්තයට එරෙහිව පැවති සුපිරි 8 වටයේ තරගයෙන් ලකුණු 61 ක පරාජයක් ලැබීමෙන් පසු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට යන අතර, නවසීලන්තය ප්‍රසාද ලකුණු 3 දක්වා ඉහළ දමා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අද (25 දා) රාත්‍රිෙය් ඉහළ නංවා ගත්තේය. සුපිරි අට වටයේ ප්‍රසාද ලකුණු ලබා නැති ශ්‍රී ලංකාවට පාකිස්තානය සමඟ තරගය ඉතිරිව ඇති අතර, නවසීලන්තයට එංගලන්තය සමඟ තරගය ඉතිරිව තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (25) පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාවේ ආරාධනාව පරිදි මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය මුලින් පන්දුවට පහරදී කඩුලු 7ක් දැවී ලකුණු168ක් රැස් කළේය. ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.
ඉනිමේ මුල්ම පන්දුවේදීම පැතුම් නිශ්ශංක දැවී යාමෙන් අසුබ පෙර නිමිත්තක් දුටු ශ්‍රී ලංකා පිල ඉක්මනින්ම කම්පනයට පත්වූයේ අංක තුන පිතිකරු චරිත් අසලංක ලකුණු 5කට දැවී යෑමෙනි. එවිට ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 6ක් වූ අතර, සාර්ථක සබඳතා ගොඩනඟන්නට නවසීලන්ත පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. පන්දු 23කදී හතරේ පහර 4ක් එල්ල කරමින් ලකුණු 31ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් හා පන්දු 23කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 29ක් ලැබූ දුනිත් වෙල්ලාලේ හැරෙන්නට අනෙක් පිතිකරුවන්ට හිස ඔසවන්නට ඉඩක් නොලැබුණි.
කුසල් මෙන්ඩිස් ලකුණු 11ක් ලබා ගත් අතර, චරිත් අසලංක ලකුණු 5ක් ලබා ගත්තේය. පවන් රත්නායක ලකුණු 10කට දැවී ගිය අතර, නායක දසුන් ශානක ලකුණු 3කට දැවී ගියේය. ප්‍රබල පන්දු යැවීමක නිරත වූ රචින් රවීන්ද්‍රා ලකුණු 27කට කඩුලු 4ක් හා මැට් හෙන්රි ලකුණු 3කට කඩුලු 2ක් බිදහෙළූහ.
නවසීලන්තය පන්දුවට පහරදෙද්දී මුල් කඩුලු 6ක් ලකුණු 84කට බිඳ වැටී තිබූ අවස්ථාවේ නායක මිචෙල් සැන්ටර් හා කෝල් මැක්කොන්චි එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 47කදී ලකුණු 84ක සබඳතාවක් ගොඩනැඟීම හේතුවෙන් ලකුණු පුවරුව ශක්තිමත් විය.
නවසීලන්තය අවසන් ඕවර් 4 තුලදී ලකුණු වේගය වැඩි කර ගත් අතර, චමීර යැවූ 17 වැනි ඕවරයේ හයේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 18ක් ලාබා ගැනීමට සමත් විය. තීක්ෂණ යැවූ 18 වැනි ඕවරයේදී හයේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 21ක්, මධුසංඛ යැවූ 19 ඕවරයේදී හයේ පහරක් හා හතරේ පහරක් සමඟ ලකුණු 19ක් ලබා ගැනීමට නවසීලන්තය සමත්වීමෙන් අපේක්ෂා නොකළ පරිදි ඉදිරියට ගියේය.
මිචෙල් සැන්ටර් පන්දු 26කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමඟ ලකුණු 47ක් ලබාගත් අතර, කෝල් මැක්කොන්චි පන්දු 23කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 31ක් ලබා ඉනිම ශක්තිමත් කළහ.
රචින් ලකුණු 32ක් ලබා සිටියදී මහීෂ් තීක්ෂණ එවු පන්දුවකට ‘බැක්වර්ඩ් පොයින්ට්‘ වෙතට එල්ල කළ බැක් කට් පහරින් ලැබුණු උඩ පන්දුව දුෂාන් හේමන්ත රැක ගැනීමෙන් ශ්‍රී ලංකාවට තිබූ හිසරඳයක් නිමාවට පත් විය. එම ඕවරයේදීම මාර්ක් චැප්මන්ට එවු තීක්ෂණගේ ‘ඕෆ් බ්‍රේක්‘ පන්දුවට ඉදිරි පාදයේ ක්‍රීඩා කරද්දී පාද අතරින් රිංගා ගිය පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී චැප්මන් ලකුණු නොලබා දැවී ගියේය. ඊළඟ 13 වැනි ඕවරයේ වෙල්ලාලගේ යැවූ පළමු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ඩැරෙල් මිචෙල් දැවී ගිය අතර, මේ හේතුවෙන් නවසීලන්ත මැද පෙළ කඩු වැටුණි.
පවර්ප්ලේ අවස්ථාවේදී ආරම්භක පිතිකරුවන් වූ ෆින් ඇලන් හා ටිම් සයිෆර්ට් දැවී යෑමෙන් ආරම්භයේදී නවසීලන්ත ලකුණු වේගය අඩාල වූවේය. ලකුණු පුවරුව 30ක් වෙද්දී ෆින් ඇලන් ලකුණු 23කට හා ලකුණු පුවරුව 34ක් වෙද්දී ටිම් සයිෆර්ට් ලකුණු 8කට දැවී ගියහ. මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් හා දුෂ්මන්ත. චමීර කඩුලු 2ක් බිදෙලා ගත්හ. තරගයේ වීරයා සම්මානය රචින් රවින්ද්‍රාට හිමි වූවේය.
නවසීලන්තය ඕවර් 20 කදී කඩුලු 7කට ලකුණු 168යි
ෆින් ඇලන් 23, ටිම් සයිෆර්ට් 8, රචින් රවින්ද්‍රා 32, ග්ලේන් පිලිප්ස් 18, ඩැරල් මිචෙල් 3, මාක් චැප්මන් 0, මිචෙල් සැන්ටර් 47, කෝල් මැක්කොන්චි නොදැවී 31 (ඩිල්ෂාන් මධුසංඛ 34/0, දුනිත් වෙල්ලාලගේ 27/1, මහීෂ් තීක්ෂණ 30/3, දුෂ්මන්ත. චමීර 38/2, දුෂාන් හේමන්ත 22/0, චරිත් අසලංක 16/0)
ශ්‍රී ලංකාව ඕවර් 20 කදී කඩුලු 8කට ලකුණු 107යි
පැතුම් නිශ්ශංක 0, කුසල් මෙන්ඩිස් 11, චරිත් අසලංක 5, පවන් රත්නායක 10, කමිඳු මෙන්ඩිස් 31, දසුන් ශානක 3, දුෂාන් හේමන්ත 3, දුනිත් වෙල්ලාලගේ 29, මහීෂ් තීක්ෂණ නොදැවී 1, දුෂ්මන්ත චමීර 7 ( මැට් හෙන්රි 3/2, මිචෙල් සැන්ටර් 19/1, රචින් රවින්ද්‍රා 27/4, ග්ලේන් පිලිප්ස් 21/1)
source: srilankacricket.lk











