සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ  බඳවා ගැනීම් කරනවා – අගමැති හරිනි

සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ  බඳවා ගැනීම් සිදු කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රජයේ මුද්‍රණාලය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරිය අද (05) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, “ශ්‍රී ලංකා මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන දෙපාර්තමේන්තුගත නිලධාරීයෙක් මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ නොමැති නිසා  මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සිටින සුදුසුකම් සහ අත්දැකීම් ඇති නිලධාරියෙක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව  පත්කිරීමට කටයුතු කර තිබෙනවා.  රහස්‍ය සහ ආරක්ෂක මුද්‍රණ ආදියට සම්බන්ධ මාර්ගගතව සිදුකළ කිසිදු කාර්යයක් අඩු කර නැහැ. ඒ කටයුතුවල ගුණාත්මකභාවය, රහස්‍යභාවය සහ කාර්යය පටිපාටි මත කටයුතු කර ගෙන යාමට රජය විශේෂයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරනවා. ඒ වගේම පුර්ණ කාලීන නිලධාරියෙක් පත්කර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙනවා.  රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වුණා. ඒකට නිශ්චිත හේතුත් අපි දන්නවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම තමයි ප්‍රධාන හේතුව, රජයේ මුද්‍රණාලයට පමණක් නෙමෙයි ආයතන ගණනාවකට මේ නිසා ගැටලු මතු වෙලා තිබෙනවා.  ඒ ගැටලු නිරාකරණය කිරීමට සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ  බඳවා ගැනීම් සිදු කරමින් තිබෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website