
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, නැතහොත් වඩාත් හුරුපුරුදු ‘අවුරුදු’ අපට වඩාත් සමීප වචනවලින් එකක් ලෙස සැලකිය හැකි වුව ද ‘අවුරුදු’ යනු කුමක් දැයි අපට පැහැදිලි නිර්වචනයක් නැති වීම දීර්ඝ කාලයක් පුරා පැවති ගැටලුවකි. එහෙත් ශ්‍රී ලංකාවේ වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන ‘අවුරුදු’ යන වචනය Avurudu/ Awurudu ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එක් කිරීම සමඟ අවුරුද්දට නිර්වචනාත්මක අදහසක් ලැබුණා පමණක් නොව එයට ගෝලීය වශයෙන් අනන්‍යතාවක් ද හිමිව තිබේ.
‘ Avurudu/ Awurudu – වසන්ත ඍතුවේදී සිදුවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පළමු දිනය’ ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය අවුරුද්ද අර්ථ දක්වා තිබෙන අතර අවුරුද්ද සමඟ රන්හුයක් සේ බැඳී ඇති කිරිබත් ද ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් වන්නේ කිරිබත් සහ අවුරුද්ද අතර පවතින සමීප ඥාතීත්වය යළි තහවුරු කරමිනි.
Kiribath -‘පොල් කිරිවලින් පිසූ බත්වලින් සාදන ලද ශ්‍රී ලාංකික කෑමක්. එය බ්ලොක් එකක් ලෙස සකසා, සාමාන්‍යයෙන් දියමන්ති හැඩැති කැබලිවලට කපා සාම්ප්‍රදායිකව සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේදී සහ වෙනත් විශේෂ අවස්ථාවන්හිදී අනුභව කරනු ලැබේ.’ යනුවෙන් එය අර්ථ දක්වා ඇත.
සංස්කෘතික අනන්‍යතාව
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු ‘සංස්කෘතියක්’ ලෙස සැලකිය හැකි බව විද්වතුන් පොදුවේ පිළිගන්නා කරුණකි.
මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දී ඇති පරිදි, සංස්කෘතිය ප්‍රකට වන ‘සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර’ ආදිය අලුත් අවුරුදු සංස්කෘතියට ද ඇතුළත් වේ. කෙසේ වෙතත්, අලුත් අවුරුදු සංස්කෘතිය මෙරටට ආවේණික අංගවලින් සමන්විතව ගොඩනැගුණු ‘ආවේණික, පාරිශුද්ධ සංස්කෘතියක්’ නොවන බව විද්වතුන්ගේ අදහසය.
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි ජනමාධ්‍ය පීඨයේ මහචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතා පවසන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනු සමාජ සහ සංස්කෘතික කාරණා ගණනාවකින් පෝෂණය වූ ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකි බවයි. මෙහි සිංහල සහ හින්දු වශයෙන් ජාතික හෝ ජනවාර්ගික පදනමක් දකින්න ලැබුුණත් මෙහි ජාතික හෝ වාර්ගික පදනම ඉක්මවා ගිය ලක්ෂණ දැකගත හැකි බවත්, මෙහි කාලය සහ අවකාශය පිළිබඳ යම් අදහසක් ද තිබෙන බවත් මහාචාර්ය ශ්‍රී රන්ජන්ගේ අදහසය.
“ඒ අනුව කාලය සහ අවකාශය මූලිකව ගොඩනැගෙන චර්යාත්මක සංකල්පයක් ලෙස අපට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැලකිය හැකියි. එසේම මෙය භෞතිකවාදී ක්‍රියාවලියක් ලෙස ද සැලකිය හැකියි. මේ භෞතිකවාදී ක්‍රියාවලිය අධ්‍යාත්මික හා මානසික ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර ගනිමින් චර්යාත්මක ලෝකයකට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවේශය සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ දී සිදුවෙනවා” යැයි මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් පෙන්නා දුන්නේය.
“සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සූර්ය සංක්‍රාන්තිය පදනම් කර ගෙන තමයි බිහිවෙන්නේ. ඒ කියන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම තමයි අපි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. මෙය සූර්ය සංක්‍රාන්තිය කියලා හැඳින්වුවත් මෙය ග්‍රහලෝක චලනය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන්නා වූ කාලය නැමති ප්‍රවේශය මූලිකව නිර්මාණය වන මානව සහ සමාජ චර්යාත්මක කලාපයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැලකිය හැකියි” ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
පාරිශුද්ධ සංස්කෘතියක් නොවේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගලට අනුව සිංහල අලුත් අවුරුදු සංස්කෘතිය මෙරටට ආවේණික අංගවලින් සමන්විතව ගොඩනැගුණු “ආවේණික, පාරිශුද්ධ සංස්කෘතියක් නොවේ.
“මේ උත්සවයේ වැඩිපුර තියෙන්නේ බාහිරින් එකතු වුණ අංග. ඒ නිසා මම මේ උත්සවය හඳුන්වන්නේ, සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියලා මේක හැඳින්වුවත්, මේක මම හඳුන්වන්නේ, සංස්කෘතික සම්මිශ්‍රණයක් කියලා. මේ සංස්කෘතිය ඇතුළේ බාහිර සංස්කෘති රැසක ලක්ෂණ සහ අංග සම්මිශ්‍රණය වෙලා තියෙනවා” මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ ය.
නැකැත් සීට්ටුව
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සැමරුම පදනම් වී ඇත්තේ ජ්‍යොතිෂය මත සැකසුණු නැකැත් චාරිත්‍ර මතය. ඒ අනුව සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සම්බන්ධ චාරිත්රවලදී ‘නැකැත් සීට්ටුවට’ ප්රමුඛස්ථානයක් හිමිවේ. මෙවර ද නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුව ද සංස්කෘතික අමාත්‍යාංශය මැදිහත් වී ‘නිල නැකැත් සීට්ටුව’ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේය.
අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඇතුළත් ලියවිල්ල සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලෙස ය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුව ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුව රැස්වී අදාළ වර්ෂය සඳහා වන නැකැත් සීට්ටුව සකසා ප්‍රසිද්ධ කිරීම සම්ප්රදායක් වශයෙන් ආරම්භ වී තිබෙන්නේ 1993 වසරේ දී ය.
ශක වර්ෂ ක්‍රමය
අලුත් අවුරුදු දිනයන්, නැකැත් ආදිය සකස් කරනුයේ ‘ශක රාජ වර්ෂ ක්‍රමය’ අනුව ය. ශක යනු ඉන්දියාවේ බිහිවූ අධිරාජ්‍යයෙකි. ශක රජු ක්‍රි.ව. 78දී උජ්ජයිනී නුවර වික්‍රමාදිත්‍ය නමැත්තෙකුට එරෙහිව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශක වර්ෂ ක්‍රමය ආරම්භ කළ බව මූලාශ්රවල සඳහන් වේ.
ඒ අනුව, 2026 වසර ශක රාජ වර්ෂ ක්‍රමය අනුව 1948 වන වසර ලෙස සැලකේ. ශක රාජ වර්ෂ ක්‍රමය අනුව, අලුත් වසර ආරම්භ වන්නේ, අප්‍රේල් මස 13 හෝ 14 වන දිනකය. ඒ අනුව, එම දිනවලින් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස නම් කෙරේ. ඒ අනුව, අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය.
සූර්ය කේන්ද්‍රීය වර්ෂ ක්‍රමය වන ශක වර්ෂ ක්‍රමයට පෙර දුරාතීතයේදී ජනතාව චන්ද්‍රයා මූලික කරගත් සම්ප්රදායක් අනුගමනය කළ බව විද්වතුන්ගේ අදහසයි. මේ අදහස මහින්ද කුමාර දළුපොත විසින් ද දරන අතර අතර වර්තමානයේ බක් මහා අලුත් අවුරුදු සැමරුමට සමාන සැමරුම අතීතයේදී සිදු වූයේ චන්ද්‍ර සම්ප්‍රදායට අනුව “නැකැත් කෙළිය” නමින් බව ඔහු පෙන්නා දී ඇත.
“චන්ද්‍රයා ගමන් කිරීමේදී පුර පස හා අව පස යනුවෙන් පස දෙකක් තිබෙනවා. මූලාශ්‍ර වලට අනුව අතීත මුතුන් මිත්තන් හිරුට සැලකුවේ රජු විදිහට. ඒ වගේම මිනිස්සු සඳටත් ගරු කළා. රාත්‍රියට තිබුණු එකම ආලෝකය වුණේ සඳ එළිය. ඒවගේම සඳේ ගමන් රටාව අනුව ගොවිතැන් කිරීම සහ ජීවන රටාව බැඳිලා තිබුණා. මේ දේවල් වලට අනුකූලව තමයි අතීතයේදී නැකැත් කෙළිය කියන සම්ප්රදාය පැවතුණේ. ඒ කියන්නේ අපි අතීතයේදී සිට නැකැත් ක්‍රමයක් අනුගමනය කරලා තිබෙනවා. නමුත් එය වර්තමාන ශක රාජ වර්ෂ නැකැත් ක්‍රමයට වඩා වෙනස් නැකැත් ක්‍රමයක්,” ඔහු පැහැදිලි කළේය.
ආරම්භය කොතැන ද ?
වත්මන් සම්ප්‍රදායට අනුව අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ වන්නේ කෝට්ටේ යුගයේ දී බව ප්‍රවීණ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොතගේ අදහසයි.
ඔහු කළ අදහස් දැක්වීමක දී සිංහල අලුත් අවුරුද්දේ ඉතිහාසය මෙසේ පැහැදිලි කර තිබුණේය. “වර්තමානයේ අපි සමරන අලුත් අවුරුද්ද සූර්ය කේන්ද්‍රීය උත්සවයක්. නමුත් මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, ගඟ සිරිපුර යන කිසිම රාජධානි කාලයක දකින්න ලැබෙන්නේ නැ. මුලින්ම මේ සූර්ය කේන්ද්‍රීය අවුරුදු සැමරුම පැවැත්වූවා කියන මූලාශ්‍ර අපට හමුවන්නේ කෝට්ටේ යුගයේ සයවන පරාක්‍රමබාහු රජු සමයේදීයි. කෝට්ටේ අවධිය කියලා කියන්නේ විවිධ ආගම් සහ සංස්කෘතීන් එකට එකතු වුණු අපූරු අවධියක්. ඒ කාලයේදී මේ පිළිවෙත් අනුගමනය කරලා තිබෙනවා. මීළඟට ආරම්භ වන සෙංකඩගල රාජධානි සමයේදී තමයි වර්තමානයේදී අපි සමරන සියලුම අලුත් අවුරුදු චාරිත්‍ර විධි සූර්ය කේන්ද්‍රීයව තහවුරු වෙලා සනිටුහන් වෙන්නේ. සෙංකඩගල රාජධානිය බිඳ වැටුණාටත් පසුව පටන් අද දක්වාම අපි පවත්වාගෙන ඇවිත් තිබෙන්නේ ඒ නැකැත් සම්ප්රදාය,”.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මෙසේ සඳහන් කළේය. “සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලාංකික සමාජය තුළ දැක ගන්න පුළුවන්. ඒ දීර්ඝ චර්යාත්මක කාලය තුළ අපට මේ හා සම්බන්ධ ප්‍රධාන සංකල්ප දෙකක් දකින්න පුළුවන්. ‘පරණ අවුරුද්ද’ කියන සංකල්පය සහ ‘අලුත් අවුරුද්ද’ කියන සංකල්පය. පරණ අවුරුද්ද කියන සංකල්පය කේන්ද්‍රීයව සාකච්ඡා කරන විට එතෙක් කර ගෙන ආ සියලු කටයුතු අතහැරීමක්, ඒ කටයුතු වලින් ඈත්ව සිටීමක් අදහස් වෙනවා. ඒ කියන්නේ එතෙක් කරගෙන ආ සියල්ල පරණ අවුරුද්ද ලබන විට අත්හරිනවා. අපේ ජනතාව කියන ආකාරයට පරණ තරහා – මරහා, එදිරිවාදිකම් පවා මේ කාලය තුළ අත්හරිනවා. ඒ අත් හැරීම, අමතක කිරීම තුළ තමයි අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ. පරණ අවුරුද්ද තුළ ගොඩනැගුණ කාරණා සොයා ගෙන යන විට ජීවන කාරණා සමාජීය කාරණා බවට පරිවර්තනය වෙනවා. මානව සමාජය තුළ සමාජීය කාරණා ඉතාමත් ප්‍රබලයි. මේ ජීවන කාරණා සහ සමාජීය කාරණා මූලික වූ තැන අපට සංස්කෘතික කාරණාවන් දැක ගන්න අවස්ථාව ලැබෙනවා”.
හින්දු සමාජයේ අදහස
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් හින්දු සමාජය තුළ පවතින අදහහස් විමසා බැලීම වැදගත්ය. මේ සම්බන්ධයෙන් බොරැල්ල ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලේ සිවකුමාරන් විනයාගන් කුරුක්කල්තුමාගේ අදහස මෙසේය, “හිරු එලියත් එක්ක තමයි අපේ නැකත් පටන් ගන්නේ. දෙමළ බසින් අවුරුද්ද යන්න හඳුන්වනු ලබන්නේ “තමිල් පුත්තාන්ඩු” ලෙසයි. දෙමළ අවුරුදු යෙදෙන්නේ සෑම වසරකම අප්‍රේල් 13 සහ 14 වැනිදායි. අලුත් අවුරුද්ද රෑ ඉපදුනත් ඒ වෙලාවට අපි කිසිදෙයක් කරන්නේ නැහැ. අපිට පුරාණේ සඳහන් වෙලා තියෙන්නේ ඉර එළිය එක්ක සමරන්න කියලා. එළියනේ වටින්නේ අපිට, අඳුරේ කරන දේවල් නෙමෙයි නේ. ඉර උදාවෙන කොටනේ මල් පවා පිපෙන්නේ. ඒකත් එක්ක සමරන්න කියලා තමයි පුරාණේ තියෙන්නේ.” කුරුක්කල්තුමා පැවසුවේය.
අලුත් අවුරුදු සැමරුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුරුක්කල්තුමා මෙසේ ද පැවසුවේය. “අපි ඖෂධ වතුර එකක් හදනවා ඒකට දෙමලෙන් කියන්නේ මර්තිනියර් කියලා. ඒ ඖෂධ වතුර බොහෝම කැපවීමකින් සාමිගොල්ලෝ හදන්නේ. කස්තුරි, පච්ච මංජල්, කොරෝෂණ ඖෂධ සෑහෙන දේවල් දානවා. ඒක උදේ පාන්දර හරි කලින් දවසේ හරි කෝවිල්වලට ගිහිල්ලා අරගෙන ගෙදර ගෙනල්ලා තියාගන්නවා. ඊට පස්සේ අවුරුදු උදා වුණාට පස්සේ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා හිතලා ඉර දෙවියෝ නමස්කාර කරලා, ගෙදර ඉන්න වැඩිහිටියන්ට කියලා ඒ ඖෂධ වතුර ගාලා නාලා ඒ දවසට අදාළ පාටින් ඇඳුම් ඇඳලා කෝවිල් ගිහිල්ලා දෙවියන් වඳිනවා.”
විද්‍යාත්මක ප්‍රවේශය
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සංස්කෘතිය තුළ විද්‍යාත්මක ප්‍රවේශයක් පවතින බව මහාචාර්ය ශ්‍රී රන්ජන්ගේ අදහසයි. “මේ සම්ප්රදාය තුළ පවතින විද්‍යාත්මක ප්‍රවේශය ඉතාම වැදගත් වෙනවා. ඒ විද්‍යාත්මක එළඹුම ඔස්සේ තමයි අපි අනාගත මානව සංවර්ධනාත්හක ප්‍රවේශය නිර්මාණය කර ගත යුත්තේ. ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද විද්‍යාත්මක එළඹුම්කරණයන්ගෙන් සැදුම්ලත් එකක්. ඒ විද්‍යාත්මක එළඹුම්කරණය සමඟ සම්බන්ධ වීම අපේ වගකීමක් සහ වගවීමක් බවට පත්වෙනවා”.
අලුත් අවුරුද්ද නවීකරණය වෙලා ද ?
සංස්කෘතිය නවීකරණය වීම හෝ වෙනස් වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ නියතයෙන් ගැළවීමට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ද සමත් වී නැත. තමන් ළමා කාලයේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරූ ආකාරයට වඩා බොහෝ නවීකරණයන් වත්මන් සැමරුම් තුළ දැකගත හැකි බව වර්තමානයේ මැදි වයසේ පවා පසුවන අයගේ අදහසය. අවුරුද්ද නවීකරණය වුව ද එහි සමාජීය හා සංස්කෘතිය වටිනාකම කිසිසේත් අඩු වී නොමැති බව ඔවුන්ගේ අදහසය.
වත්මන් සමාජයේ පවතින පොදු අදහස මහාචාර්ය රාජ් සෝමදේව විසින් ද තහවුරු කර ඇත. ඔහුට අනුව සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමඟ විදෙස් හෝ බාහිර අංග සම්මිශ්‍රණය වී තිබීම වැඩෙන සංස්කෘතියක දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි.
“යම් සංස්කෘතියක් වෙනස් නොවී, බාහිර අංග සමග මිශ්‍ර නොවී තියෙනවා නම් ඒ සංස්කෘතිය මළ සංස්කෘතියක් විදිහට යි හඳුන්වන්නේ. සජීවී සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්ද කියන සංස්කෘතිය ඇතුළට බාහිර අංග එකතු වෙලා තියෙනවා,” මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
සියවස් ගණනක් රැකුණ හේතුව
සියවස් පහකට අධික කාලයක් යටත් විජිතයක්ව තිබියදී සහ නිදහස දිනාගත් පසු මුහුණ දුන් ආර්ථික හා දේශපාලන පරිවර්තන හමුවේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සිය ජීව ගුණය නොනැසී රැක ගැනීම විද්වතුන්ගේ දැඩි අවධානය දිනාගත් කරුණකි. මහාචාර්ය රාජ් සෝමදේවට අනුව එය ‘නොමළ සංස්කෘතියක’ ස්වභාවය වන අතර මහාචාර්ය රත්නසිරි අරංගලට අනුව සංස්කෘතිය සම්මිශ්‍රණයේ ප්රතිඵලයකි.
මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් ද මෙම තත්ත්වය දකින්නේ ජනවාර්ගික අනන්‍යතාව ඉක්මවා ගිය ‘ජාතික’ සංස්කෘතියක් දක්වා අලුත් අවුරුද්ද පරිවර්තනය වීමේ වාසියක් ලෙසය. “අපි සිංහල හෝ හින්දු කීවත් ලාංකීය ප්‍රජාව සම්බන්ධ වන කාරණාවක් බවට අවුරුද්ද පත් වුණා. ඒ වගේම මෙහි ක්‍රියාමූල ස්වභාවය ඉතා වැදගත්. ඒ ක්‍රියාමූල පද්ධතිය සමාජ – සංස්කෘතික කාරණා සමඟ සම්බන්ධයි. ඒ තුළ සාමූහිකත්වය වර්ධනය වෙනවා. ඒ හරහා අනාගතය දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. සිංහල අලුත් අවුරුද්ද පදනම් වන වැදගත් සංකල්පයක් තමයි ‘එකට එකතු වී වැඩ කිරීම’. මේ සාමූහිකත්වය තුළ තමයි සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද මෙපමණ කාලයක් නොනැසී පැවතුණේ”.
මෙහි දී මහාචාර්ය ශ්‍රී රන්ජන් ඇතුළු විද්වතුන් සියලු දෙනාම පොදුවේ එකඟ වූ කාරණයක් වූයේ අලුත් අවුරුද්ද රැක ගැනීම සහ එහි අනන්‍යතාව රැක ගැනීම වැදගත් බවයි. එය සෙසු සියලු සංස්කෘතික උත්සව සේම යම් පමණකට වානිජකරණය වුව ද එහි ජීවගුණය රැක ගැනීමේ වැදගත්ම ඔහුහු දැඩිව අවධාරණය කළහ.
ඉහළ ඡායාරූප උපුටා ගැනීම – https://blog.cinnamonhotels.com/10-things-to-know-about-the-sinhalese-and-tamil-new-year
රතුඉර පුවත්පතේ 2026 අප්‍රේල් 12 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද












