ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ අසභ්‍ය පින්තූරයක් හෝ වීඩියෝවක් තමන්ගේ කැමැත්තෙන්වත් ප්‍රසිද්ධ අවකාශයට මුදා හරින්න පුළුවන් කමක් නැතැයි නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත අවධාරණය කරයි.
ඔහු පැවසුවේ, යම් පාර්ශවයක් විසින් එවැනි වීඩියෝ හෝ ඡායාරූප ප්‍රසිද්ධ අවකාශයට මුදා හරින්නේ නම්, එම පාර්ශවයට එරෙහිව සිවිල් නීතිය සහ අපරාධ නීතිය යටතේ පියවර ගත හැකි බව ය.
එහිදී අගතියට පත්වන පාර්ශවය දරුවෙකු නම්, ළමාරක්ෂණ අධිකාරියට ඒ පිළිබඳව ක්‍රියාත්මක විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
“සිවිල් නීතිය යටතේ, ඉතා පැහැදිලිව ඒක අපහාසයක් වෙනවා. එතකොට ඒ පාර්ශවල කීර්ති නාමයට වන හානිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. වන්දි ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා,” නීතිඥවරයා පැහැදිලි කළේ ය.
එවැනි වීඩියෝ දර්ශන හෝ ඡායාරූප හුවමාරු කර ගැනීම නීතියෙන් වරදක් බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පැවසීය.
“ඒක ඉතා පැහැදිලිව දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. පරිගණක අපරාධ පනත යටතේත් නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒක අදාළ පුද්ගලයාගේ අවසරයෙන් තොරවනේ අරගෙන තියෙන්නේ. අනෙක් පැත්තෙන්, තවත් පිරිසක් මීම්ස් හදනවා, ඒ ගැන විහිළු කරනවා, පින්තූර එහෙම දාලා. එහෙම කරලා පාසලට හෝ, අදාළ ළමයින්ට හෝ ගුරුවරුන්ට, වීඩියෝ එක ලීක් නොකරත්, ඒ ගැන විවිධ කටකතා හෝ විහිළු ආකාරයෙන් අදහස් පළ කිරීමත් නීත්‍යනුකූලව වරදක්” නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත වැඩි දුරටත් පැවසුවේය.
Source:bbc.com / sinhala


