Full Vedio: සහන මල්ලක් රැගෙන ජනපති පාර්ලිමේන්තුවට – ඔබට ලැබෙන සුවිශේෂ සහන මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම අරමුණු කරගත් ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර ඇතුළු සහන ක්‍රියාමාර්ග මාලාවක් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.

වර්තමාන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බවත් ජනපතිවරයා පැවසුවේය.  එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බව පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බව ද පැවසීය.

වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු 600 ඉක්මවන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැවසුවේය.

මැයි මාසයේ සිට මාස තුනක කාලයක් සඳහා රජය ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 100 ක සහ පෙට්‍රල් සඳහා රුපියල් 20 ක සහනයක් ලබා දෙන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙය සුපිරි ඩීසල් හෝ සුපිරි පෙට්‍රල් සඳහා ඇතුළත් නොවන බව කී ජනපතිවරයා මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියන 20ක මුදලක් වෙන් කර ඇති බව ද සඳහන් කළේය.

“එළැඹෙන මැයි මාසයේ පළමු වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රුපියල් කෝටි 2000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

විදුලි සහනාධාරය සම්බන්ධයෙන් ලබා දෙන සහන හෙළි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඒකක 90ට අඩු අයට සහන දෙන්න රුපියල් බිලියන 15ක් වෙන් කර ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ධීවර අංශය සඳහා විශේෂ සහන ද හඳුන්වා දී ඇති අතර එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් මාස 3ක් සඳහා ලබා දෙන බවත් ඉදිරි මාස 3 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවත් ජනපතිවරයා පැවසුවේය.

හෙක්ටයාරයකට රුපියල් 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000ක් දක්වා ඉහළ නංවීමට පියවර ගන්නා බවත් අතිරේක බෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18,000දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

“ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදීමට රජය පියවර ගන්නවා” ජනපතිවරයා පැවසුවේය.

අස්වැසුම යෝජනා ක්‍රමයෙන් දැනටමත් ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට අප්‍රේල් මාසය සඳහා ගෙවීම් වැඩි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දීමට පියවර ගන්නා බව කී ජනපතිවරයා  රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබා දීම, රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම සහ  රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website