– මලෛයහ සිවිල් සමාජ සන්ධානය –

‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් මලෛයහ (කඳුකර) කලාපයට දැඩි ලෙස බලපා ඇති බව කවුරුත් දන්නා කරුණකි. මෙම ආපදා තත්ත්වය විශේෂයෙන් වතුකරයේ ජීවත් වන මලෛයහ තමිල් ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කර ඇත. එය දරිද්‍රතාවයේ සහ අනතුර අද්දර ජීවත් වූ ඔවුන් ව්‍යවසනයේ පතුලටම තල්ලු කර ඇත.
ස්වභාවධර්මයේ කෝපය නොවැළැක්විය හැකි වුවද, ආපදා අධ්‍යයනයන්හි ප්‍රධාන නිගමනවලින් එකක් වන්නේ එහි බලපෑම සහ දුක් වේදනා තීරණය වන්නේ ආපදාවට පෙර පැවති සමාජ-ආර්ථික ව්‍යුහය මත පදනම්ව බවයි. එබැවින්, මෙම ආපදා තත්ත්වය කඳුකර ප්‍රදේශයන්හි ජීවත්වන, ආන්තීකරණයට ලක්වූ මලෛයහ තමිල් ප්‍රජාවට ද විශාල වශයෙන් බලපා ඇති බව පුදුමයක් නොවේ.
ආපදාවට පත්වූ මලෛයහ තමිල් ජනතාවට, රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහනාධාර වැඩසටහන් වලින් සහය ලබාගැනීමේ දී විශාල වශයෙන් ගැටළු සහ අභියෝගවලට මුහුණපෑමට සිදුවේ. පොදුවේ රජයේ නිලධාරීන් තුල, මලෛයහ තමිල් ජනතාවට සහන සැලසීමේදී ඔවුන් මුහුණ දෙන ගැටළු පිලිබඳ අවබෝධයක් නොමැතිකම සහ විශේෂයෙන් ඉඩම් අයිතිවාසිකම් පිලිබඳ පැහැදිලිතාවයක් නොමැති වීම ඒ අතර වේ. මේවා නිසි ලෙස හසුරුවා නොගතහොත්, සති කිහිපයක් ඇතුළත මේවා විශාල ගැටළු ලෙස මතුවීමේ හැකියාවක් පවතී.
මෙම ජනතාවට නිසි ලෙස නැවත ගොඩනැගිය හැකිවන ආකාරයෙන් සහ ඔවුන්ට සුරක්ෂිත ප්‍රජාවක් ලෙස ආරක්ෂාව ලබා ගත හැකි වන පරිදි පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස මලෛයහ සිවිල් සමාජ සන්ධානය රජයෙන් ඉල්ලා සිටී.
- සහනාධාර සහ ඒවා ලබාදෙන වැඩපිළිවෙල මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ පැහැදිලි, නිල තොරතුරු සන්නිවේදනය කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒවා සෑම විටම තමිල් භාෂාවෙන් ද සන්නිවේදනය කිරීම සිදුකල යුතුය.
ආපදාවෙන් පීඩාවට පත් පිරිමින්, කාන්තාවන් සහ දරුවන් අවතැන් කඳවුරුවල, පාසල්වල, ඥාතීන්ගේ නිවාසවල සහ අර්ධ වශයෙන් හානි වූ නිවාසවල රැඳී සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් මලෛයහ තමිල් ජාතිකයන් ය. ඉදිරි සති සහ මාසවලදී ඔවුන්ගේ පුනරුත්ථාපන ක්‍රියාමාර් ග මොනවාද යන්න පැහැදිලි නැත.
බලපෑමට ලක් වූ මලෛයහ ජනතාව, ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට රජය විසින් ලබාදෙන ආධාර ලබාගන්නේ කෙසේද? එම ආධාර ලබාගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද? රජය විසින් ගන්නා තීන්දු තීරණ අනුව තමන්ගේ නිවාසවලට ආපසු යාමට නොහැකි නම්, ඒ වෙනුවෙන් ඔවුන්ට ලබාගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවාද? තාවකාලික විසඳුම් සහ තමන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් ඇති අතරමැදි සැලසුම් මොනවාද යන්න පිළිබඳව විශාල අවිනිශ්චිතතාවයක් පවතී. මෙවන් දේ ඔවුන්ව වඩ වඩාත් කනස්සල්ලට පත් කරන අතර සියලු ප්‍රජාව සහ දරුවන් මානසික පීඩාවන්ට සහ එහි ප්‍රතිවිපාකවලට යොමු කරයි. මෙම සන්දර්භය තුළ, ඔවුන්ගේ මානසික යහපැවැත්ම පවත්වා ගැනීමට සහ අනාගතය පිලිබඳ බලාපොරොත්තුවක් ඇතිකරගැනීමට පැහැදිලි සහ නිවැරදි තොරතුරු අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා රජය පහත සඳහන් ක්‍රියාමාර්ග ගත යුතු වේ.
1.1. සියලුම සහනාධාර සහ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාල තොරතුරු සහ නිවේදන බොහොමයක් දැනට සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කෙරන බව දැකගත හැකිවන අතර, ඒවා වහාම තමිල් භාෂාවෙන්ද නිකුත් කල යුතු වේ. එමෙන්ම මලෛයහ ජනතාව වෙත එම තොරතුරු ලැබෙන ලෙස, සුදුසු ක්‍රමවේද සහ ජනමාධ්‍ය හරහා ඒවා බෙදා හැරිය යුතු වේ.
1.2. සහනාධාර සහ පුනරුත්ථාපන කටයුතු යම්කිසි ස්ථාවර මට්ටමකට ළඟා වන තුරු, ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධ තීරණ ප්‍රකාශයට පත් කිරීමට සහ පැහැදිලි කිරීමට තමිල් භාෂාව කතාකරන අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සතිපතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී විය යුතුය. එසැන භාෂා පරිවර්තනය සිදුකිරීමද ඉතා වැදගත් වේ.
1.3. ආපදා කළමනාකරණය සඳහා පත් කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා සහ මහජන රැස්වීම්වලදී තමිල් භාෂා පරිවර්තනය ද සිදුකල යුතු වේ.
1.4. ජාතික ආපදා කළමනාකරණ සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ සහ සහන සේවා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ අනෙකුත් අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලද සියලුම චක්‍රලේඛ සහ නිවේදන තමිල් භාෂාවෙන් ද නිකුත් කළ යුතුය. මේවා නිසි ලෙස සිදු කරන බවට සහතික කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී සහාය වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ තාවකාලික ඒකකයක් ස්ථාපිත කළ යුතුය.
1.5. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් පවත්වන සාකච්ඡා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව පැවැත්විය යුතුය. පීඩාවට පත්වූවන්ට ඔවුන්ගේම භාෂාවෙන් රජයේ සේවාවන් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කළ යුතුය. ජනාධිපතිවරයා මෙය නැවත අවධාරණය කළ යුතුය.
- ආපදා සහන සේවා කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා මලෛයහ ප්‍රදේශවල රාජකාරී ආවරණය සඳහා අමතර රාජ්‍ය සේවකයන් අවශ්‍ය වේ.
කඳුකරයට බලපෑ අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් මාර්ග හානි වී ඇති අතර ප්‍රවාහනය අතිශයින් දුෂ්කර වී ඇත. ආපදා තත්වයට පෙර පවා, අසල ඇති මහාමාර්ගවලින් වතුකරයට ළඟා වීමට පැය ගණනක් ගත වූ බව අපි කවුරුත් දනිමු.
මලෛයහ ප්‍රජාව ජීවත්වන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුල, වෙනත් ප්‍රදේශවල ග්‍රාම නිලධාරී කොට්ඨාශ හා සසඳන විට බොහෝ විශාල නිවාස සංඛ්‍යාවක් ඇත. උදාහරණයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය සැලකීමේදී, වතුවල ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සාමාන්‍යය ජනගහනය, බොහෝ දුරට ගම්මානවලින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනගහනය මෙන් තුන් ගුණයකි. එපමණක් නොව 13,000 කට අධික ජනගහනයක් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාශ ද ඇත. බොහෝ දුරට ජනගහනය 3000 – 5000 අතර ජීවත්වන ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල සිටින්නේ එක් ග්‍රාම නිලධාරියෙකු පමණි.
රජය විසින් නිකුත් කරන සහනාධාර අයදුම්පත් බෙදා හැරීම, හානි තක්සේරු කිරීම, සහතික කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම වැනි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ග්‍රාම නිලධාරීවරයාගේ වගකීම මෙම ආපදා තත්ත්වය හේතුවන් කළමනාකරණය කරගත නොහැකි මට්ටමකට ලඟා වී තිබේ. බොහෝ ප්‍රදේශවල, යාබද සිංහල ගම්මානයේ ග්‍රාම නිලධාරීවරයා, මලෛයහ ජනතාවගේ කටයුතු සොයා බැලීමට තාවකාලිකව පත්කර ඇත. මෙහි ඇති ගැටලුව වන්නේ, මින් පෙර වතු සමාගම් සහ වැවිලි මානව සංවර්ධන භාරය විසින් සිදුකරන ලද බොහෝ ක්‍රියාවන් ග්‍රාම නිලධාරීන් විසින් සිදුකිරීමට සිදුවීමත්, ග්‍රාම නිලධාරීවරයාට ඒවා පිලිබඳ නිසි අවබෝධයක් නොමැති වීමත් වේ. විශේෂයෙන්ම තමිල් භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ ගැටලුවද පවතින අතර ඒ පිලිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
2.1. වැවිලි ප්‍රජා සන්නිවේදන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ තමිල් භාෂාව කතා කරන වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සමඟ වැඩ කිරීමට යොමු කළ යුතු අතර, අවශ්‍ය නම්, බලපෑමට ලක් නොවූ අනෙකුත් ප්‍රදේශවල නිලධාරීන් තාවකාලිකව මෙම ප්‍රදේශවලට අනුුයුක්ත කළයුතුය. ක්ෂේත්‍ර කටයුතු සඳහා යෙදීමට සරිලන ආකාරයේ දීමනාවක් නිලධාරීන් වෙත ලබාදිය යුතු අතර, අවශ්‍ය නම් සුදුසුකම් ලත් ස්වේච්ඡා සේවකයින් සම්බන්ධ කර ගැනීමට ද කටයුතු කළ යුතුය. එසේ නොමැති නම්, රු.25,000/- හෝ රු.50,000/- වැනි රජයේ ක්ෂණික සහන පවා පීඩාවට පත් පුද්ගලයන් වෙත ළඟා වීමට මාස කිහිපයක් ගත විය හැකිය.
2.2. වත්මන් තත්ත්වය ඇති වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මලෛයහ ජනතාවගේ සුභසාධන වගකීම් වතු පරිපාලනයට සහ ඔවුන්ගේ නියෝජිත ආයතනවලට භාර දී, රජය ඉන් ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙම ආපදා සහන වගකීම සඳහා වෙනත් කිසිදු සංවිධානයක් අතරමැදියෙකු හෝ නියෝජිතයෙකු බවට පත් නොකර මෙම ජනතාවට සෘජුවම සේවා සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. වතු පරිපාලනයේ අනවශ්‍ය මැදිහත්වීම් සහ වතුවල සේවය කරන අය සහ වතුවල සේවය නොකරන අය වශයෙන් වෙනස්කොට සැලකීම තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.
2.3. මලෛයහ ප්‍රදේශ බොහොමයකට තවමත් පත්කර නොමැති ආපදා කළමනාකරණ කමිටු වහාම පත් කළ යුතුය.
2.4. බොහෝ මලෛයහ ප්‍රදේශවල ජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා ග්‍රාම සංවර්ධන සමිති (RDS), කාන්තා ග්‍රාම සංවර්ධන සමිති (WRDS) සහ තරුණ කණ්ඩායම් නොමැති බැවින්, ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ මහජන උපදේශන සඳහා විශේෂ විධිවිධාන තාවකාලිකව හෝ සකස් කිරීම අවශ්‍ය වේ. එහි කාන්තාවන් සහ තරුණයින්ගේ සහභාගීත්වය සහතික කළ යුතුය. ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීම පිළිබඳ තීරණ ගැනීමේදී බලපෑමට ලක් වූ පිරිමින් සහ කාන්තාවන්ගේ නියෝජනය සහ ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගන්නා බව සහතික කළ යුතුය.
- රජය විසින් ලබාදෙන සමහර සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී, ඒ සඳහා අවශ්‍යවන සුදුසුකම් සහ නිර්ණායක සහතික කිරීමේ ක්‍රියාවලියේදී නම්‍යශීලී ලෙස ක්‍රියාකිරීම අවශ්‍ය වේ.
මලෛයහ ප්‍රදේශවල පවතින නෛතික හා පරිපාලන පරිසරය හේතුවෙන්, වතුකරයේ ජීවත් වන මලෛයහ තමිල් ජනතාවට ඉඩම් අයිතිය නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ කෘෂිකාර්මික, පශු සම්පත්, කර්මාන්ත සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමට නොහැකි වන බව කවුරුත් දන්නා කරුණකි. එබැවින්, දැනට පවතින රජයේ චක්‍රලේඛ මත පදනම්ව වන්දි ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සැපිරීම මලෛයහ ප්‍රජාවට ඇති විශාල ගැටලුවකි. එමෙන්ම එම ප්‍රදේශවල දත්ත රැස්කිරීමේ සහ අවශ්‍යතා හඳුනාගැනීමේ ගැටළු, අඩුපාඩු සහ පරස්පරතා බොහොමයක් පවතින බව පැහැදිලි කරුණකි.
3.1. බෝග හානි, පශු සම්පත් හානි, කුඩා පරිමාණ කර්මාන්ත හානි ආදිය සඳහා රජය විසින් සපයන ලද වන්දි, මලෛයහ තමිල් ජනතාවට ළඟා වන පරිදි ලියාපදිංචි කිරීම සහ සුදුසුකම් තහවුරු කිරීම් සඳහා නම්‍යශීලීභාවය අවශ්‍ය වේ. අතීතයේ සිට අනුගමනය කරන ලද වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තීන් හේතුවෙන්, මලෛයහ තමිල් ජනතාව ආන්තීකරණයට ලක් වී ඇති බැවින් එම තත්වයන් සමනය කිරීම සඳහා විශේෂයෙන් ආපදාවට ලක් වූ මලෛයහ ජනතාව ඉලක්ක කරගත් විශේෂ චක්‍රලේඛ සහ ක්‍රියා පටිපාටි අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, ජාතික ආපදා සහන සේවා කාර්යාලය සහ රේඛීය අමාත්‍යාංශ හරහා හරහා මේවා සිදුකල යුතු වේ.
3.2. දැනටමත් රජයේ සේවාවන් ලබාගැනීමේදී කොන් වීමට ලක්වන මලෛයහ ප්‍රජාව වෙත සේවා ලබාදීමේ ප්‍රායෝගික දුෂ්කරතා ඇති වේ. එබැවින්, මේවා වහාම සැලකිල්ලට ගෙන විසඳුම් සඳහා පහසුකම් සැලසීම සඳහා, අවම වශයෙන් තාවකාලිකව හෝ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකු (SLAS) අත්‍යවශ්‍ය සේවා සහකාර කොමසාරිස්වරයෙකු ලෙස පත් කළ යුතුය. ඔහු කඳුකර කලාපයේ ප්‍රායෝගික අත්දැකීම් ඇති තමිල් භාෂාව කතා කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විය යුතුය. ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සමඟ එක්ව කටයුතු කිරීමට ඔහුට බලය තිබිය යුතුය.
3.3. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අමාත්‍යාංශ විසින් හානි තක්සේරු කිරීම් සහ අවශ්‍යතා හඳුනාගැනීම් සිදු කිරීමේදී මලෛයහ ප්‍රජාවේ සහ කඳුකර ප්‍රදේශ පිලිබඳ දත්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සඳහා වගකිව යුතු නියෝජ්‍ය මාත්‍යවරයා සහ මලෛයහ ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙය නිසි ලෙස සිදු කරන බවට සහතික විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය සමග එකාබද්ධව සිදුකරනු ලබන අවශ්‍යතා තක්සේරුවට මලෛයහ ජනතාවකගේ ගැටළු නිසි ලෙස ඇතුළත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළ යුතුය.
- ආපදා තත්ත්වය නිසා හානියට පත්, වතු ප්‍රජා යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සහ නැවත ගොඩනැගීම සඳහා රජය විසින් වගකීම භාරගත යුතු අතර, ඒ සඳහා ප්‍රමාණවත් අරමුදල් වෙන්කිරීම සිදුකල යුතුය.
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන වතු මාර්ග කිලෝමීටර් සිය ගණනක් විනාශ වී ඇත. ඇතිවූ අධික වර්ෂා සහ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් වතු මාර්ග බොහොමයක පාලම්, කාණු, පඩිපෙල් සහ ආරක්ෂක බැමි වලට ද හානි සිදු වී ඇත. එමෙන්ම, බොහෝ පෙර පාසල් ගොඩනැගිලි, වතු රෝහල් ගොඩනැගිලි, දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ප්‍රජා රැස්වීම් ශාලාවන්ද විනාශයට පත්වී ඇත. මේවා බොහොමයක් රජය මගින් කළමනාකරණය වන ගොඩනැගිලි නොවන අතර, දශක ගණනාවක් තිස්සේ වතු කළමනාකරණය මගින් පාලනය කරනු ලැබීය. සමහර ගොඩනැගිලි පමණක් යම් තාක් දුරකට රජය මගින් නඩත්තු කරන බව පෙනෙන්නට තිබුනද, ඒවා වතු සමාගම් හෝ වැවිලි මානව සංවර්ධන භාරය වැනි ආයතන මගින් සිදු කරන්නේ නම්, ඒවා අලුත්වැඩියා කර නැවත ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇත. එබැවින්, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු රජය මැදිහත්වී සිදුකල යුතු අතර ඒ වෙනුවෙන් පහත සඳහන් මැදිහත්වීම් සිදු කලයුතුය.
4.1. 2018 වසරේ ප්‍රාදේශීය සභා පනත් සංශෝධනයට අනුව මලෛයහ ජනතාව ජීවත්වන ප්‍රදේශයන්හි, එවැනි යටිතල පහසුකම් කටයුතු සිදු කිරීමට ප්‍රාදේශීය සභාවලට බලය ඇති බව පැහැදිලි කරමින් අදාළ රේඛීය අමාත්‍යාංශය විසින් බලපෑමට ලක් වූ සියලුම ප්‍රදේශවල ප්‍රාදේශීය සභා කොමසාරිස්වරුන්ට නියෝගයක් යැවිය යුතුය. මෙම ආපදාවේ බලපෑම සැලකිල්ලට ගනිමින්, මධ්‍යම රජයේ අයවැයෙන් එවැනි ප්‍රාදේශීය සභා වෙත මේ සඳහා අමතර ප්‍රතිපාදන ලබා දිය යුතුය. මෙම කාරණයේදී නම්‍යශීලීව කටයුතු කිරීමේ වැදගත්කම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට පැහැදිලි කලයුතුය.
4.2. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, මලෛයහ ජනතාව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පළාත් සභාවලට අයත් විෂයයකි. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ පළාත් සභාවලට යොමු කර මෙම වැයකිරීම් සඳහා මධ්‍යම රජයේ අයවැයෙන් අමතර අරමුදල් වෙන් කළ යුතුය.
4.3. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැවිලි කටයුතු අමාත්‍යාංශයේ මලෛයහ සමාජ යටිතල පහසුකම් ඒකකයට සිදුවී ඇති හානියේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි අරමුදල් වෙන් කළ යුතුය. මෙම සන්දර්භය තුළ, වැවිලි කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නව ගම්මාන අධිකාරිය (NEVIDA) නීත්‍යානුකූලව විශේෂ වගකීම් දරයි. ‘මලෛයහ ජනාවාස යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සහිත ගම්මාන බවට පරිවර්තනය කිරීම’ වැනි එහි ප්‍රධාන අරමුණ, පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ කාලය තුළ ක්ෂේත්‍ර තත්වයන්ට අනුවර්තනය විය යුතුය. එබැවින්, මේ සඳහා ප්‍රමාණවත් අරමුදල් වෙන් කිරීම සහ මෙම අධිකාරියේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. යටිතල පහසුකම් හානිවලට අදාළ මිනුම් කටයුතු සිදු කිරීම ද මෙම අධිකාරියට පැවරිය හැකිය.
4.4. අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ මෙන්ම විදුලිබල හා ජල සම්පාදන මණ්ඩලය ද මලෛයහ ප්‍රදේශවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන වෙන්කරගනිමින්, එම ආයතනවලට අයත් වැඩකටයුතු කඩිනමින් ඉටුකල යුතුය.
- මලෛයහ ජනතාවගේ නිවාස සහ ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සහ අදාළ නිල පිළිගැනීමේ ක්‍රියාවලීන් තහවුරු කිරීම අවශ්‍ය වේ.
ප්‍රාදේශීය වතු සමාගම් සහ පෞද්ගලික වතුවල ජීවත් වන මලෛයහ ජනතාව සතුව ඉඩම් අයිතිවාසිකම් නොමැති වීම, ඔවුන්ගේ ජන ජීවිතය නැවත නගා සිටුවීමට ඇති මූලික ගැටලුවක් ලෙස සැලකිය හැකිය. රජය විසින් සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50 ක්, අර්ධ වශයෙන් හානිවූ නිවෙස්වල අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25 ක් සහ ඉඩම් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50 ක් වැනි වන්දි මුදල් ලබාදීමේ ක්‍රමවේද කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇතත්, මෙම ආධාර බොහෝ දුරට තම ඉඩම් සඳහා අයිතියක් නොමැති මලෛයහ තමිල් ජනතාව වෙත ලැබෙන්නේද යන්න විශාල ප්‍රශ්නාර්ථයකි. දැනට ක්‍රියාත්මක වන පරිදි, එම වන්දි මුදල් ලබාගැනීම සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. උදාහරණයක් ලෙස, ලයින් කාමර 4 ක් ආපදාවට ලක්වී විනාශ වූයේ නම්, එම වන්දි මුදල් ලැබෙන්නේ දශක ගණනාවක් තිස්සේ එහි ජීවත් වන පවුල්වලට ද එසේ නොමැති නම් ඉඩම් හිමිකාරිත්වය සහිත වතු හිමියන්ට ද යන්න ගැටලුවකි.
නායයෑම්වලින් පීඩාවට පත් වූ හෝ NBRO විසින් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල සිටින අවතැන් වූවන් සඳහා විකල්ප ස්ථාන ලබා දෙන්නේ කුමන ප්‍රදේශයන්ගේ ද, ඒවා ලබාදෙන ක්‍රමවේද මොනවාද යන්න ගැටලුවකි.
බදුල්ල සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල, වතු සමාගම්වලින් ඉඩම් ආපසු ලබා ගැනීම, සමහර පෞද්ගලික වතු වල ඉඩම් අත්පත් කර ගැනීම හෝ විකල්ප ස්ථාන හඳුනා ගැනීමකින් තොරව මේ සඳහා විසඳුම් සොයාගත නොහැක. පර්යේෂණ මත පදනම් වූ අපගේ ස්ථාවරය වන්නේ මේ සඳහා ප්‍රමාණවත් ඉඩම් කඳුකර ප්‍රදේශයන්හි ඇති බවයි.
වරින්වර බලයට පත් ආණ්ඩු, කඳුකර ඉඩම් ගැටළු සඳහා විසඳුම් ලබාදීම දිගින් දිගටම කල් දැමීම නිසා ඇති වූ ව්‍යුහාත්මක බාදාවන් සහිත පසුබිමක, ආපදාවෙන් පසු නැවත ගොඩනැගීම් කටයුතු ඉක්මනින් සිදු කිරීමේ ගැටළුවක් පවතී. දැනට ක්‍රියාත්මක වන නීතිමය, පරිපාලන සහ ආයතනික ක්‍රියාවලීන් හරහා ඉඩම් හඳුනාගෙන නිවාස සඳහා විසඳුම් ලබා දීමට සිදු වේ නම්, ආපදාවට ලක්වූ පවුල් නැවත පදිංචි කිරීමට සහ ඔවුන්ගේ ජීවිතය යථා තත්වයට පත්කිරීම සඳහා වසර ගණනාවක් ගතවීමේ ඉහළ අවදානමක් තිබේ. යෝජිත ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සඳහා තවමත් ඉඩම් සෙවීමට කාලය ගත කිරීම, මේ සඳහා හොඳම උදාහරණයකි.
5.1. වතුකරයේ ජීවත්වන මලෛයහ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් සම්බන්ධයෙන්, රජය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු වේ. රටේ අනෙකුත් පුරවැසියන්ට ලබා දෙන ඉඩම් ආශ්‍රිත විසඳුම් හා සමගාමීව මලෛයහ ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් ද සහතික කළ යුතුය. මේවා නිසිපරිදි අදාළ අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කර, අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමෙන් අනතුරුව මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතු වේ.
5.2. ඉහත සඳහන් ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ආපදාවෙන් පීඩාවට පත් මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම් සහ නිවාස සම්බන්ධයෙන් රජයට නිර්දේශ ලබා දීම සඳහා NDMC හි සංයුතියට අනුව, රජය සමඟ කටයුතු කිරීමට දේශපාලන, පරිපාලන, වතු සමාගම් සහ සිවිල් නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවිය යුතු අතර, එම කමිටුව ආපදාවට ලක්වූ ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.
5.3. පීඩාවට පත් ජනතාව සඳහා විසඳුම් ලබා දීමේදී, ඒ සඳහා කුමන ආකාරයේ විසඳුම් ලබා දුන්නද, ඒවා ආපදාවට ලක්වූ ජනතාවගේ ජීවනෝපාය සහ සමාජ සම්බන්ධතා වලට හානි නොවන පරිද්දෙන් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ. එම කාරනා, හානියට ලක්වූ නිවාස නැවත ගොඩනැගීමේදී මෙන්ම, අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීමේදී ද සැලකිල්ලට ගත යුතු වේ.
5.4. රජයේ කළමනාකරණය යටතේ ඇති වතුවල එනම්, JEDB, SLSPC, ඇල්කඩුව වැනි වතුවලට අයත් ඉඩම් ප්‍රමාණය, එම ඉඩම් භාවිතයට ගන්නා ආකාරය සහ එම වතුවල ජීවත්වන ජනතාවගේ තොරතුරු කඩිනමින් ලබාගත යුතු අතර, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම ජනතාව සඳහා විකල්ප ඉඩම් එම වතුවල අවදානම් නොවන ප්‍රදේශවලින්ම ලබාදීම සිදු කල යුතුය.
5.5. එමෙන්ම, වතු සමාගම් යටතේ පවතින ඉඩම්වල ජීවත්වන ආපදාවට ලක් වූ ජනතාවට සහ අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට එම වතුවලම ඇති අවදානම් නොවන ප්‍රදේශ හඳුනාගෙන ඒවා නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ලබාදීමට ජනාධිපතිවරයා නියෝගයක් පැනවිය යුතුය. මේ පිලිබඳ ගැටලුකාරී තත්වයන් පැනනගින්නේ නම්, වතු සමාගම් සමග තිබෙන බදු ගිවිසුම් සමාලෝචනය කර අවශ්‍ය සංශෝදනයන් සිදුකල යුතු වේ.
5.6. ඉහත 5.4 සහ 5.5 යටතේ සඳහන් කරන ලද නැවත පදිංචි කිරීමේ කටයුතු ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත ‘නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියට’ අනුකූලව ක්‍රියාත්මක වන බව සහතික කළ යුතුය. මෙම ප්‍රමිතීන් උල්ලංඝනය කිරීම ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ජාත්‍යන්තර ණය සහ ප්‍රදානවලට බලපෑමක් ඇතිකළ හැකිය. මලෛයහ ප්‍රදේශවල සාධනීය සහ තිරසාර පරිවර්තනයක් ඇති කිරීම සඳහා, මලෛයහ තමිල් ජනතාව නැවත දරිද්‍රතාවයට, අනතුරුදායක තත්වයන්ට සහ ආන්තීකරණයට ඇද නොවැටෙන පරිදි මෙන්ම, අනෙකුත් ශ්‍රී ලාංකික පුරවැසියන් මෙන් සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීමට මෙම ප්‍රවේශය අත්‍යාවශ්‍ය සාධකයක් වේ.
5.7. ඉඩම් සහ නිවාස සඳහා වන්දි ලබාදීම මෙන්ම නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීම වැනි පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අදියරයන්හි දී, ආපදාවට පත් මලෛයහ තමිල් ප්‍රජාව සහ අසල ගම්මාන වල ජීවත්වන ජනතාවට එක හා සමාන ලෙස සැලකිය යුතු අතර කිසිඳු ප්‍රජාවක් සඳහා වෙනස් කොට සැලකීම සිදු නොකළ යුතු වේ. ඉඩම් ලබා දීමේදී, එම ජනතාව ජීවත්වන, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුගමනය කරන නීති රීතින් සහ මූලධර්ම වලට අනුකූලව සැමට එක හා සමානව ක්‍රියාත්මක යුතු වේ.
ආපදා සහන කටයුතුවල නිරත සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් සහ ක්ෂේත්‍ර රාජකාරීන් හි නිරත රජයේ නිලධාරීන්, ආපදාවට ලක්වූ මලෛයහ තමිල් ප්‍රජාව සමග සිදුකරන ලද සාකච්ඡා මත පදනම් වෙමින්, කඳුකරය නැවත ගොඩනැගීම සඳහා වන සිවිල් සංවිධානය විසින් මෙම මූලික ඉල්ලීම් මාලාව ඉදිරිපත් කරනු ලබයි.
පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල, මලෛයහ ජනතාව තම වතු ජනාවාස ගම්මාන බවට පරිවර්තනය කිරීම සඳහා සිදුකරන දිගුකාලීන අරගලය සාක්ෂාත් කර ගැනීම සඳහා වන ක්‍රියාදාමයක් විය යුතු බව අපි විශ්වාස කරමු. මෙම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, අපගේ ඉල්ලීම් හඳුනාගෙන, පිළිගන්නා සියලු පාර්ශවයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි අදහස් කරන්නෙමු.
මෙහි අන්තර්ගත කරුණු, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කර ඇති අතර, විරුද්ධ පක්ෂයේ මලෛයහ තමිල් නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සමඟ ද සාකච්ඡා කර ඉදිරිපත් කර ඇත. ඔවුන් සියලු දෙනාම මෙම මුලපිරීම ධනාත්මක ලෙස සලකන අතර ආපදාවට ලක් වූ ජනතාවගේ යහපත සඳහා ගතහැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව පවසනු ලැබීය. ආණ්ඩු පක්ෂයේ අනෙකුත් මලෛයහ තමිල් නියෝජිතයන් සමඟ ද මේ පිලිබඳ ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට අපි අදහස් කරන්නෙමු.
ඔවුන් සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ ඉහත ඉල්ලීම් මත පදනම්ව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රැස්වීමක් සංවිධානය කර මෙම කරුණු ඔහුගේ අවධානයට යොමු කිරීමට පියවර ගත යුතු බවයි. වත්මන් සන්දර්භය තුළ, රටේ විධායක ජනාධිපතිවරයාගේ අනුමැතියක් සහ දැනුම්දීමක් තිබේ නම්, මෙම ඉල්ලීම් ක්‍රියාත්මක කළ හැක. රජයේ සහනාධාර, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු මලෛයහ ප්‍රදේශයන්වල ජීවත් වන ආපදාවට ලක් වූ මලෛයහ තමිල් ජනතාවට ලබා දෙන්නේ කෙසේද? ඔවුන් අවදානමට ලක්විය හැකි ලයින් කාමර සහිත ජනාවාසවල සිට ජීවනෝපායන්ට ආසන්න සහ ඉඩම් අයිතිය සහිත ආරක්‍ෂිත ස්ථාන ලබාදෙන ආකාරය පිලිබඳ වැඩසටහනක් ඔහුගේ මූලිකත්වයෙන් ඉදරිපත් කලයුතු බව අපගේ විශ්වාසයයි.
- ගෞතමන් බාලචන්ද්‍රන්
- නඩේසන් සුරේෂ්
- ඇන්තනි ජේසුදාසන්
- අරුණාචලම් ෂන්මුගවධිවූ
- සෙල්වරාජා රාජසේගර්
- ජීවරත්නම් සුරේෂ්
- කමලේශ්වරී ලක්ෂ්මනන්
- ජෙහාන් ජගතීසන්
- වේලුසාමි වීරසිංහම්
- සාරන්‍යා අරුන්ප්‍රසාද්
- අනිත්‍රා වරය
වැඩි විස්තර සඳහා:
ජීවරත්නම් සුරේෂ් – 077 991 5459
ඇන්තනි ජේසුදාසන් – 077 703 4136













