ශ්‍රී ලංකා කාන්තා පිළේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ජෙමී සිඩ්ඩන්ස් පත් කරයි

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජෙමී සිඩ්ඩන්ස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

2007 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සිඩ්ඩන්ස් මහතා තෙවැනි ශ්‍රේණියේ (Level 3) සුදුසුකම් සහිත පුහුණුකරුවෙකි.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු 2011 සිට 2015 දක්වා නවසීලන්තයේ වෙලිංටන් ෆයර්බර්ඩ්ස් (Wellington Firebirds) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද, 2015 සිට 2020 දක්වා කාලය තුළ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත කණ්ඩායමේ (Redbacks) ප්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කර තිබේ.

වසරක කාලයක් සඳහා පත්වීම් ලබා ඇති සිඩ්ඩන්ස් මහතාගේ සේවය 2026 වසරේ මාර්තු මස 16 වැනිදා සිට බලපැවැත්වේ.

ඔස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කළ සිඩ්ඩන්ස් මහතා දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා කණ්ඩායම් දෙකම නායකත්වය ද දරා ඇත.

2026 වසරේ ජූනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මගපෙන්වීම ඔහුගේ ප්‍රධාන වගකීම වේ.

ඒ අනුව ඔහුගේ පළමු ජාත්‍යන්තර කාර්යභාරය වන්නේ 2026 වසරේ අප්‍රේල් සහ මැයි මාසවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා කණ්ඩායම සූදානම් කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website