ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව අනෙක් කණ්ඩායම් ශක්තිමත් කිරීමේ අරමුණින් නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, ජාතික පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස රයන් වෑන් නීකර්ක් සහ ජාතික දඟ පන්දු සහ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස ජෝර්ඩන් ග්‍රෙගරි පත් කර ඇත.
රයන් වෑන් නීකර්ක් 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසත් අන්තර් ප්‍රධාන පුහුණුකරුවා ලෙසත් සේවය කළ පුහුණුකරුවෙකි. ඔහු නව භූමිකාව යටතේ ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීම සංවර්ධනය කිරීමේ වගකීම භාර ගනී.
නෙදර්ලන්ත කණ්ඩායම සමඟ කටයුතු කළ කාලය තුළ ඔහු ICC පිරිමි ලෝක කුසලානය 2023, ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලානය 2024 සහ 2026 වැනි ජාත්‍යන්තර තරගාවලි සඳහා කණ්ඩායම සූදානම් කිරීමේදී වැදගත් දායකත්වයක් ලබා දී ඇත. ඔහුගේ පත්කිරීම වසර දෙකක කාලයක් සඳහා වන අතර, 2026 අප්‍රේල් 15 වනදා සිට ක්‍රියාත්මක වේ.
මේ අතර, ජෝර්ඩන් ග්‍රෙගරි ජාතික දඟ පන්දු සහ පන්දු රැකීමේ හුණුකරුවා ලෙස පත් කර තිබේ. නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ පන්දු රැකීමේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ ඔහු, ශ්‍රී ලංකා උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය (High Performance Center) යටතේ සියලුම ජාතික කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු දරණ ධුරයන්හි කටයුතු කිරීමට නියමිතය.
ග්‍රෙගරි නෙදර්ලන්ත කණ්ඩායම සමඟ කටයුතු කළ කාලය තුළ ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලානය 2023 ඇතුළු ද්විපාර්ශ්වික හා තවත් තරගාවලි කිහිපයකට දායක වී ඇත. ඔහුගේ පත්කිරීම ද වසර දෙකක කාලයක් සඳහා වන අතර, 2026 අප්‍රේල් 15 වනදා සිට බලපැවැත්වේ.















