ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇෆ්ගනිස්තානු ද්වී පාර්ශ්වික තරග සංචාරය 2026 වසර අවසාන කාල සීමාව දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. වත්මන් කලාපීය තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගුවන් ගමන් සීමා ඇතුළු කටයුතු සම්පාදනය කිරීමේදී අභියෝගතා පැන නැගීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමෙන් පවත්වනු ලබන පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරග සංචාරය යටතේ එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 තරග 3 ක් වශයෙන් සමස්ථ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
මෙහි පළමු තරගය මාර්තු මස 13 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි-20 තරගයෙන් ආරම්භ වීමට නියමිතව තිබුණු අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් 15 සහ 17 යන දෙදින එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමටට නියමිතව තිබුණි.
එහෙත් මැද පෙරදිග ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධව විසඳුම් සෙවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය, විසින් එමිරේ්ට්ස් ක්‍රිකට් ආයතනය, සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිිකට් ක්‍රීඩාංගණය පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
මෙහිදී මාර්තු 04 දින පැවැති සාකච්ඡාවකදී කළාපීය තත්ත්වය නිරීක්ෂණ කොට මාර්තු 06 වැනි දින නැවත සලකා බැලීමට තීරණය කළ අතර යළිත් මාර්තු 07 වැනි දින පැවැති තවත් සාකච්ඡාවකදී අවසන් තීරණය ගැනීම සදහා මාර්තු 09 වැනිදා දක්වා නිර්දේශ කෙරිණ. කෙසේ වෙතත් උක්ත ගැටලු හේතුවෙන් තරගාවලිය කල් දැමීමට පියවර ගනු ලැබූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.
එමෙන්ම, හැකි ඉක්මනින් සුදුසු අවස්ථාවක මෙම තරඟ මාලාව පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව සමඟ පවත්නා ක්‍රිකට් සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගෙන යාමටත් ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය කැපවී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.















