
සඳුනි චතුරිකා, පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
නාගරික කෘෂිකර්මාන්තය යනු නගර, නගරාශ්‍රිත තදාසන්න ප්‍රදේශ තුළ හෝ ඒ අවට පලතුරු, එළවළු, පශු සම්පත් සහ මත්සය වගා කිරීම, සැකසීම සහ බෙදා හැරීමයි. ග්‍රාමීය ගොවිතැන මෙන් නොව, නාගරික කෘෂිකර්මාන්තය බොහෝ විට තාක්‍ෂණය භාවිතා කිරීම, කුඩා පරිමාණ ඉඩම් සහ නාගරික ආර්ථික සමඟ ඉහළ ඒකාබද්ධතාවයකින් යුක්ත වේ.
මෙමඟින් නගරාශ්‍රිත තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව පවතින කුඩා හිස් ඉඩම්, බැල්කනි සහ ගෙවතු වැනි නාගරික අවකාශයන් ඵලදායී ප්‍රදේශ බවට පරිවර්තනය කරයි. මෙම සංකල්පය නවීන භාවිතයක් ලෙස පෙනුණ ද, එය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම පාහේ අලුත් දෙයක් නොවේ. පෙර පරම්පරාවල දී, බොහෝ නිවාස දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු, පලතුරු සහ ඖෂධීය ශාක සපයන කුඩා ගෙවතු පවත්වා ගෙන ගිය අතර වේගවත් නාගරීකරණය, කුඩා ඉඩම් කට්ටි සහ වෙනස් වන ජීවන රටාවන් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මෙම පිළිවෙත ක්‍රමයෙන් වියැකී ගියේ ය. වර්තමානය වන විට නාගරික කෘෂිකර්මාන්තය නැවත මතුවෙමින් පවතින අතර එය ගෘහස්ථ ක්‍රියාකාරකමක් ලෙස පමණක් නොව,
- ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම,
- ජීවන වියදම් අඩු කිරීම,
- ආදායම් උත්පාදනය
- ආර්ථික හා දේශගුණික කම්පනවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගයක් ලෙස ද වැදගත් වේ.
ශ්‍රී ලාංකික සන්දර්භය තුළ, නාගරික කෘෂිකර්මාන්තය බොහෝ ආකාර වලින් දැකිය හැකිය. ඇතැම් පවුල් කුඩා ගෙවතු බිම්වල එළවළු වගා කරයි. තවත් ආකාරයක් නම් ඉවත දමන භාජනවල/ ප්ලාස්ටික් පෝච්චි/ සහල් කවර තුළ බැල්කනිවල සිදු කරන වගාවන්ය. කොළඹ, මහනුවර සහ ගාල්ල වැනි ප්‍රදේශවල ‘වහළ උද්‍යාන’ වැඩි වශයෙන් සුලභ වෙමින් පවතී. ප්‍රජා උද්‍යාන, පාසල් උද්‍යාන සහ ආයතනික උද්‍යාන ද මේ අතර පවතී. මෙම මුලපිරීම් තවමත් විධිමත් ලෙස ජාතික වැඩසටහනක් යටතේ සම්පූර්ණයෙන්ම සංවිධානය වී නොමැති වුව ද, මේවා මඟින් නාගරිකව ආහාර නිෂ්පාදනය සඳහා ඇති විභවතාවය සහ එහි වැදගත්කම පෙන්නුම් කරයි.
නාගරික කෘෂිකර්මාන්තය මඟින් නාගරික හා ඒ ආශ්‍රිත ප්‍රජාවන්ට බොහෝ වාසි ගෙන දෙයි. එය බඳුනක එළවළු බීජ කිහිපයක් සිටුවීම පමණක්ම නොවේ. එය අපගේ දෛනික ආහාර අවශ්‍යතා සුරක්ෂිත කිරීමට, අහාර සඳහා වැය වන මුදල අඩු කිරීමට, කුඩා ආදායම් අවස්ථා නිර්මාණය කිරීමට, ප්‍රජාවන් අතර සහයෝගය වර්ධනය කිරීමට, නාගරික පරිසරය සිසිල් සහ හරිත කිරීමට ද ඉවහල් වන අතර ජාතික ආහාර සුරක්ෂිතතාවයට සහතික කිරීමට පවා උපකාරී වේ. මෙහි දී වැදගත් ක්ෂේත්‍ර කිහිපයකින් එහි ප්‍රතිලාභ අපට දැකගත හැකිය.

නාගරික කෘෂිකර්මාන්තය සහ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව
වර්තමානය වන විට ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම ද ඇතැම් විටක අභියෝගාත්මක ප්‍රශ්නයක්ව පවති. නාගරික කෘෂිකර්මාන්තය එවැනි අවස්ථාවන් සඳහා මුහුණ දීමට යොදාගත හැකි වැදගත් පිළියමකි. කුඩා පරිමාණයේ ගෙවතු වගාවලට පවා ගෘහ පරිභෝජනය සඳහා කොළ එළවළු, මිරිස්, බටු, බණ්ඩක්කා සහ තක්කාලි වැනි ආහාර සැපයිය හැකිය. මෙමඟින් පවුලකට සතිපතා එළවළු සදහා වියදම් කළ යුතු මුදල සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. මෑත කාලීන ආර්ථික අර්බුදය අතරතුර, මෙලෙස නාගරික කෘෂිකර්මාන්තයට යොමු වූ කුටුම්භයන්ට වෙළඳපොළ මත සම්පූර්ණයෙන්ම රඳා සිටි අයට සාපේක්ෂව හදිසි මිල ඉහළ යාමෙන් අඩු බලපෑමක් ඇති විය.
ගෘහස්ථ වියදම් අඩු කිරීමට අමතරව, මෙලෙස වගා කරන එළවළු හා පලතුරුවල පෝෂණ ගුණය ඉහළ මට්ටමක පවතී. මෙයට හේතුව වන්නේ කෘෂි පළිබෝධ නාශක යොදා ගැනීම අවම කර ගත හැකි වීම, රසායනික පොහොර භාවිතය අවම කර ගත හැකි වීම මෙන් ම ඒ වෙනුවට ආදේශකයක් ලෙස කාබනික පොහොර සහ පරිසර හිතකාමී පළිබෝධ නාශක යොදා ගැනීමට හැකි වීමයි.
ශ්‍රී ලංකාවේ ආහාර පදනම් කර ගත් ආහාර මාර්ගෝපදේශට (FBPG) අනුව සාමාන්‍යයෙන් වැඩුණු නිරෝගී මිනිසෙකු දෛනිකව එළවළු හා පලතුරු ග්‍රෑම් 400-640ක් ප්‍රමාණයක් සිය දෛනික ආහාර වේල සඳහා එක්කර ගත යුතු බවට නිර්දේශ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධනයට අනුව එය දිනකට ග්‍රෑම් 400ක ප්‍රමාණයක් වේ. නමුත් නවතම වාර්තා මඟින් පෙන්වා දෙන පරිදි මෙරට සාමාන්‍ය පුද්ගලයකුගේ දෛනික එළවළු හා පලතුරු පරිභෝජනය දල වශයෙන් ග්‍රෑම් 190ක් පමණ වේ. මධ්‍යම පාන්තික මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන නාගරික පවුල් නැවුම් එළවළු සහ පලතුරු වල ඉහළ මිල ගණන් හේතුවෙන් මෙම ආහාර සීමිත ප්‍රමාණයන්ගෙන් පරිභෝජනය කරන බව හෙළි වී ඇත.
නාගරික කෘෂිකර්මාන්තය හරහා තම ආහාර සැපයුමෙන් අවම වශයෙන් කොටසක් තමන්ගේම උත්සාහයෙන් වියදමක් රහිතව ලැබෙන බව දන්නා විට, ඔවුන්ට වෙළඳපළ අවිනිශ්චිතතාවයන්ට ගොදුරු වීමේ අවදානම අඩු බව දැනේ. දේශගුණික විචල්‍යතාවයෙන් සහ ආර්ථික අස්ථාවරත්වයෙන් නිතර පීඩාවට පත් වන රටකට මෙම ස්වයං විශ්වාසය පිළිබඳ හැඟීම වැදගත් වේ.
ආදායම් උත්පාදනය සහ නාගරික ජීවනෝපාය අවස්ථා
නාගරික කෘෂිකර්මාන්තය, අමතර ආදායම් උත්පාදනය කිරීම සඳහා ද උපයෝගී කොට ගත හැකිය. නාගරික කෘෂිකර්මාන්තයෙහි නිරතවීම මඟින් ස්වයං පරිභෝජනය සඳහා ලැබෙන එළවළු හා පලතුරු වලට අමතරව ලැබෙන අතිරේක අස්වැන්න විකිණීම මඟින් අමතර අදායමක් ලබාගත හැකිය. කෙටි කාලීන සහ ඉහළ වටිනාකමක් ඇති බෝග නාගරික වගාව සඳහා විශේෂයෙන් සුදුසු වේ. සලාද කොළ, ගොටුකොළ සහ කන්කුන් වැනි කොළ එළවළු ඉක්මනින් අස්වනු ලබාගත හැකිය. මින්ට් සහ කොත්තමල්ලි වැනි ඖෂධ පැළෑටි සඳහා ද නිරන්තර ඉල්ලුමක් පවතී. එමෙන්ම මාළුමිරිස් සහ චෙරි තක්කාලි වැනි එළවළු ද සාපේක්ෂව ඉහළ මිලකට විකිණිය හැකිය. ප්‍රවාහන දුර අවම බැවින්, නාගරික නිෂ්පාදකයින්ට ග්‍රාමීය සැපයුම්කරුවන්ට සාපේක්ෂව නැවුම් නිෂ්පාදන නාගරික ජනතාව වෙත ලබාදිය හැකිය.
වර්තමානය වන විට හයිඩ්‍රොපොනික් වැනි නව්‍ය කෘෂි පද්ධති යොදා ගෙන වගා කිරීම සඳහා තරුණ සහභාගීත්වය වැඩි වෙමින් පවතින බව පෙනී යයි. හයිඩ්‍රොපොනික් පද්ධති සීමිත ඉඩකඩක් තුළ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උපයෝගී කොට ගත හැකි අතර මෙමඟින් ඒකාකාර, උසස් තත්ත්වයේ එළවළු නිෂ්පාදන ලබාගත හැකිය. මූලික ආයෝජන පිරිවැය සාපේක්ෂව ඉහළ වුව ද, කුඩා පරිමාණ හයිඩ්‍රොපොනික් පද්ධති දැරිය හැකි මිලකට ලබා ගත හැකිය.
කාන්තා නායකත්වයෙන් යුත් ගෘහස්ථ ව්‍යවසායකයන් ද නාගරික කෘෂිකර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබයි. අසල්වැසියන්ට අතිරික්ත එළවළු විකිණීම, දේශීය ආහාර අලෙවිසැල් සඳහා සැපයීම හෝ සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් වෙළදපළ අවකාශය හරහා අලෙවි කිරීම මඟින් ඔවුහු අතිරේක ආදායම් මාර්ග නිර්මාණය කර ගනිති. ඉහළ යන ජීවන වියදම් සමඟ පොරබදමින් සිටින පවුල් සඳහා, එළවළු අලෙවියෙන් ලැබෙන සුළු මාසික ආදායමක් පවා ඔවුන්ගේ ජීවන අරගලය ගෙන යාමට පන්නරයක් සපයයි. එබැවින් නාගරික කෘෂිකර්මාන්තය ආහාර ප්‍රවේශයට පමණක් නොව ජීවනෝපාය විවිධාංගීකරණයට ද දායක වේ.
පාරිසරික හා දේශගුණික ප්‍රතිලාභ
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වර්තමානය වන විට වේගයෙන් නාගරීකරණය වෙමින් පවතී. ඉදිකිරීම් වැඩිවීම, හරිත ආවරණය අඩුවීම සහ අධික වාහන තදබදය වැනි හේතු නිසා කොළඹ, කුරුනෑගල, නුවර වැනි නගරවල උෂ්ණත්වය ඉහළ යාම නිරීක්ෂණය කළ හැකිය. මෙම උෂ්ණත්වය වැඩිවීමේ බලපෑම කැපී පෙනෙන ලෙස වැඩිවීමකට ලක්වී ඇති අතර, නගර ආශ්‍රිතව බොහෝ විට අවට ග්‍රාමීය ප්‍රදේශවලට වඩා උණුසුම් තත්වයක් දැකිය හැකිය.
නාගරික කෘෂිකර්මාන්තය මෙම පාරිසරික අභියෝග අවම කිරීමට ද උපකාරී වේ. මෙහි දී බැල්කනි වල සිදු කරන වගාවන් කොන්ක්‍රීට් මතුපිට මඟින් තාප අවශෝෂණය අඩු කරන අතර ඒ හරහා ගෘහස්ථ උෂ්ණත්වය අඩු කරයි, එමෙන්ම මෙමගින් සිසිලනය සඳහා වැය කළ යුතු විදුලිය ද අඩු කරයි. එමෙන්ම හරිත ශාක මඟින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් මුදා හැරීමෙන් වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි. වැඩිවන වෘක්ෂලතාදිය කුරුල්ලන් හා කෘමීන් සඳහා වාසස්ථාන ලබා දීමෙන් නාගරික ජෛව විවිධත්වය ද වැඩි දියුණු කරයි.
අපද්‍රව්‍ය කළමනාකරණය
නාගරික කෘෂිකර්මාන්තයේ තවත් විශේෂ පාරිසරික ප්‍රතිලාභයක් වන්නේ අපද්‍රව්‍ය කළමනාකරණයයි. නාගරික නිවාස මගින් කාබනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජනනය කරන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් නගර සභා මඟින් කැළි කසළ එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණිය ද බොහෝ විට ඒවා ද නිසි ලෙස කළමනාකරණය නොවේ. නාගරික කෘෂිකර්මාන්තයේ දී මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමෙන්, ස්වාභාවික පොහොර නිෂ්පාදනය කරන අතරම මෙමඟින් පරිසරයට කසළ බැහැර කිරීම අඩු කළ හැකිය. කොම්පෝස්ට් කිරීම හරහා අපද්‍රව්‍ය ගොඩකිරීම් වලින් හට ගන්නා මීතේන් විමෝචනය අඩු කරන අතර චක්‍රීය සම්පත් භාවිතයට ද දායක වේ.
ජල කළමනාකරණය
නාගරික කෘෂිකර්මාන්තයට ජල කළමනාකරණය ද සමීපව සම්බන්ධ වේ. වහළ උයන්වලට සම්බන්ධ වැසි ජල රැස්කිරීමේ පද්ධති මඟින් ජලය ගලායාම අඩු කර වැසි ජල භාවිතය වැඩි දියුණු කළ හැකිය. වසුන් යෙදීම මෙන්ම බිංඳු වාරිමාර්ග මඟින් ද ජල නාස්තිය අඩු කරයි. ගංවතුර සහ දැඩි වියළි කාලගුණය යන කාලගුණික විපර්යාසයන්ට මුහුණ දෙන රටක, ජල කාර්යක්ෂම නාගරික වගා පිළිවෙත් ඒකාබද්ධ කිරීම වැදගත් අනුවර්තන පියවරකි.
පරිසරයට අලංකාරය සහ ජීවය එක් කරයි
නාගරික කෘෂිකර්මාන්තය මඟින් පරිසරයට අලංකාරය සහ ජීවය එක් කරයි. බොහෝ ආහාරයට ගත හැකි බෝග ආකර්ශනීය වර්ණ හා හැඩයන්ගෙන් යුක්ත වන අතර එමඟින් අඳුරු අවකාශයන් දීප්තිමත් හරිත ප්‍රදේශ බවට පරිවර්තනය කළ හැකිය. දීප්තිමත් රතු, දම් සහ කහ වර්ණයන්ගෙන් යුත් කොච්චි සහ මිරිස් වර්ග , දම් පැහැති බටු, කොළ සලාද කොළ, රතු සහ කොළ තම්පලා ප්‍රභේද, වර්ණවත් චෙරි තක්කාලි සහ මල් පිපෙන ඖෂධ පැළෑටි නිවාස, ආයතන පරිශ්‍ර ආශ්‍රිතව නාගරික කෘෂිකර්මාන්තයට එක්කිරීම මඟින් ස්වභාවික අලංකාරයක් එක්කර ගත හැකිය. කොළ එළවළු සහ ඖෂධ පැළෑටිවලින් පිරුණු වහළ උද්‍යාන සහ සිරස් බිත්ති කොන්ක්‍රීට් ගොඩනැගිලි ප්‍රසන්න සහ ස්වභාවික සිසිලනය සහිත අවකාශයන් බවට පත් කරයි. මේ ආකාරයෙන් නාගරික කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂිතතාවයට සහ ගෘහස්ත ආදායමට පමණක් නොව නගර අලංකාර කිරීමට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, හරිත ජීවන පරිසරයන් නිර්මාණය කිරීමට ද දායක වේ. මේ අනුව, නාගරික කෘෂිකර්මාන්තය ආහාර නිෂ්පාදනයට පමණක් නොව, ශ්‍රී ලංකාවේ නගරවල පාරිසරික තිරසාරභාවය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා ද දායක වේ.
ප්‍රායෝගික අභියෝග සහ දේශීය විසඳුම්
නාගරික කෘෂිකර්මාන්තය කෙරෙහි සාර්ථක විභවයක් තිබුණ ද ඒ සඳහා ද පවතින වඩාත් පොදු ගැටලුව සීමිත ඉඩකඩයි. බොහෝ නාගරික නිවාසවල කුඩා බිම් කොටස් හෝ විවෘත ඉඩමක් නොමැත. කෙසේ වෙතත්, සිරස් ගෙවතු වගාව, එල්ලෙන භාජන, බිත්ති මත සවි කර ඇති වගා පෝච්චි සහ වගා බෑග් වැනි නව්‍ය ශිල්පීය ක්‍රම මෙවන් බිම් කොටසක් නොමැති ගෘහ සඳහා යොදා ගත හැකිය. මේ සඳහා නිවස්නයන්හි වහළවල් සහ බැල්කනි ද ඵලදායී ලෙස භාවිතා කළ හැකිය.
මිට අමතරව වගාව පිළිබඳ අඩු තාක්ෂණික දැනුමද ඵලදායිතාව සීමා කරයි. නාගරික වගාකරුවන්ට බොහෝ විට පළිබෝධ කළමනාකරණය, පස සකස් කිරීම සහ වාරිමාර්ග පිළිවෙත් පිළිබඳ අත්දැකීම් නොමැත. මෙහි දී නොදැනුවත්කම හේතුවෙන් රසායනික පොහොර අධික ලෙස භාවිතය මෙන්ම කෘමි පළිබෝධ භාවිතය මඟින් සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකිය. එබැවින්, ආරක්ෂිත සහ කාබනික ක්‍රම ප්‍රවර්ධනය කිරීම වැදගත් වේ. සුදුළූණු-මිරිස් ඉසින සහ සබන් ද්‍රාවණ වැනි ස්වාභාවික පළිබෝධ පාලන විසඳුම් වැනි පරිසර හිතකාමී වගා පිළිවෙත් ප්‍රවර්ධනය වැදගත් වේ.
විශේෂයෙන් නාගරික ජල සැපයුම් සීමා කර ඇති වියළි කාලවල දී වගාවට ජලය යෙදවීමටද බාධා ඇති වේ. මේ සඳහා විසඳුමක් ලෙස වැසි ජලය රැස් කිරීම, වසුන් යෙදීම සහ බිංඳු වාරිමාර්ග පද්ධති මඟින් ජල භාවිතය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. ජල කාර්යක්ෂම නාගරික වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත් කළ යුතුය.
හයිඩ්‍රොපොනික් වැනි දියුණු පද්ධති සඳහා ඉහළ ආරම්භක පිරිවැය බොහෝ විට මේ සදහා උනන්දුවක් දක්වන වගාකරුවන් අධෛර්යමත් කරයි. අඩු වියදම් විකල්ප දිරිමත් කිරීම සහ ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රම හරහා මූල්‍ය ආධාර සැපයීම ද නාගරික කෘෂිකර්මාන්තය පුළුල් කිරීමට උපකාරී වේ. නාගරික ප්‍රදේශවල ඇති රජයේ ඉඩම් යොදා ගෙන ප්‍රජා නාගරික කෘෂි උද්‍යාන ඇති කිරීම මඟින් ඒ අවට පදිංචිකරුවන් සඳහා එය නාගරික කෘෂිකර්මාන්තය සාර්ථකව සිදු කරන්නේ කෙලෙස ද පිළිබඳව ප්‍රයෝගික ඉගෙනුම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත හැකිය.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා පළාත් පාලන ආයතන ඇතුළු වගකිව යුතු රාජ්‍ය ආයතනථ කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන් සහ පර්යේෂණ ආයතන අතර සම්බන්ධීකරණය ද අත්‍යවශ්‍ය වේ.
නාගරික කෘෂිකර්මාන්තය සමග ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත
ශ්‍රී ලංකාවේ නාගරික කෘෂිකර්මාන්තය බොහෝ දුරට අවිධිමත් ලෙස සංවර්ධනය වී ඇති ආකාරයක් දක්නට ඇත. අර්බුදකාරී කාලවල දී මෙම නාගරික කෘෂිකර්මාන්ත වැඩසටහන් ප්‍රවර්ධනය කළ ද, නාගරික කෘෂිකර්මාන්තය සඳහා කැප වූ පුළුල් ජාතික උපාය මාර්ගයක් තවමත් නොමැත. නාගරික ආහාර නිෂ්පාදනය පුළුල් ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික අනුවර්තන ප්‍රතිපත්තිවලට ඒකාබද්ධ කිරීම මඟින් මෙහි දිගුකාලීන බලපෑම ශක්තිමත් කිරීමට හැකිය.
ප්‍රජා උද්‍යාන සඳහා ඉඩ වෙන් කිරීම හරහා නගර සභාවලට ආහාර නිෂ්පාදනය නාගරික සැලසුම් රාමුවලට ඇතුළත් කළ හැකි අතරම මෙමඟින් නාගරික කසළ කළමනාකරණය විධිමත් ලෙස ක්‍රියාවට නැවිය හැකිය. ග්‍රාමීය ගොවීන් පමණක් නොව නාගරික කෘෂිකර්මාන්තයේ යෙදෙන පිරිස් ද ආවරණය වන පරිදි ව්‍යාප්ති සේවා පුළුල් කළ යුතුය.
විවධ පර්යේෂණ ආයතන හරහා විධිමත් පර්යේෂණ සිදු කොට ආර්ථික ශක්‍යතාව විශ්ලේෂණය කිරීමෙන්, නාගරික කෘෂිකර්මාන්තය සඳහා ලාභදායී බෝග සංයෝජන හඳුනා ගැනීමෙන් සහ වෙළඳපළ අවස්ථා තක්සේරු කිරීමෙන් මෙහි ඇති වැදගත්කම ප්‍රජාවට ඒත්තු ගැන්වීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම ද වැදගත් වේ. සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති නිර්දේශ මඟින් නාගරික කෘෂිකර්මාන්තය තාවකාලික උද්යෝගයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික උපාය මාර්ගයේ ආයතනික අංගයක් බවට පත්කිරීමට අවශ්‍ය වේ.
නාගරික කෘෂිකර්මාන්තය ග්‍රාමීය ගොවිතැන සඳහා ආදේශකයක් ලෙස නොසැලකිය යුතුය. ඒ වෙනුවට එය මෙම දේශගුණ විචල්‍යතාවයට ඔරොත්තු දීමේ හැකියාව සහ ආහාර සුරක්ෂිතතාව වැඩි කරන අනුපූරක පද්ධතියක් ලෙස සැලකිය යුතුය. ග්‍රාමීය දිස්ත්‍රික්ක මහා පරිමාණ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන කාර්යභාරය දිගටම ඉටු කරනු ඇති අතර, නාගරික කුටුම්භ දේශීයකරණය වූ, කුඩා පරිමාණ වගාව හරහා මෙරට ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමට දායක වේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, ගෘහස්ථ ආදායම් ස්ථාවරත්වය සහ පාරිසරික තිරසාරභාවය ශක්තිමත් කිරීම සඳහා නාගරික කෘෂිකර්මාන්තය ප්‍රායෝගික සහ සාර්ථකත්වය උදාකරගත හැකි උපාය මාර්ගයක් වේ. ආර්ථික අවිනිශ්චිතතාවය සහ දේශගුණික විචල්‍යතාවයන් පවතින සන්දර්භයක් තුළ නාගරික ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම ඉදිරි දැක්මක් සහිත ආයෝජනයකි.
ශ්‍රී ලාංකික නගරවල තවමත් නාගරික කෘෂිකර්මාන්තය සඳහා යොදාගත හැකි වහළවල්, බැල්කනි සහ කුඩා ඉඩ ප්‍රමාණයන්ගෙන් පිරි පවතී. නිසි මඟ පෙන්වීම, තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්ති සකස් කිරීම මඟින් නාගරික කෘෂිකර්මාන්තයට නගර හරිත සහ කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන මෙන්ම සැලකිය යුතු ලෙස ස්වයංපෝෂිත අවකාශයන් බවට පරිවර්තනය කළ හැකිය. නාගරික නවෝත්පාදනයන් සමඟ ග්‍රාමීය ශක්තිය ඒකාබද්ධ කිරීමෙන් ශ්‍රී ලංකාවට අනාගතය සඳහා වඩාත් ස්ථාවර සහ තිරසාර ආහාර පද්ධතියක් ගොඩනඟා ගැනීම සඳහා නාගරික කෘෂිකර්මාන්තය උපයෝගී කොට ගත හැකිය.
2026 මාර්තු 22 වැනි දින රතුඉර පුවත්පතේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.















