
නොරිකා අයෝමි, පර්යේෂණ නිලධාරිනී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
අධ්‍යයන ක්ෂේත්රයේ කෘෂි සංචාරක ව්‍යාපාර විශ්ලේෂණය කිරීමෙන් හෙළි වන්නේ එය ප්‍රධාන වශයෙන් පවුල විසින් මෙහෙයවනු ලබන බවත්, පවුල විසින් හිමිකාරීත්වය දරන ව්‍යාපාර ඇති බවයි. ශක්තිමත් හා කාර්යක්ෂම ප්‍රජා පාදක ප්‍රවේශයක් දකින්නට නැහැ. මෙය කෘෂි සංචාරක ව්‍යාපාරයේ තනි පවුල් සහභාගීත්වයේ ශක්තිමත් සම්ප්රදායක්, ප්‍රදේශයේ වඩාත් කාර්යක්ෂම ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරයක අවශ්‍යතාවය ඉස්මතු කරනවා
- ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය වෙත වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වෙනවා. මේ පසුබිම තුළ කෘෂි සංචාරක ව්‍යාපාරය වැදගත් වෙන්නේ කෙසේද ?
ශ්‍රී ලංකාව තවමත් ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ජාතියක් වන අතර, බොහෝ ග්‍රාමීය පවුල් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස කෘෂිකර්මාන්තය මත විශ්වාසය තබා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම අංශය අඩු සහ අස්ථායී ආදායම්, සෘතුමය ඌන සේවා නියුක්තිය, ණයගැතිභාවය සහ ජීවනෝපාය විවිධාංගීකරණය සඳහා සීමිත අවස්ථා ඇතුළු දිගුකාලීන සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දෙනවා. මෙම සීමාවන් නිසා ගොවි ප්රජාවන්ගේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කළ හැකි විකල්ප ආදායම් මාර්ග සඳහා අවශ්‍යතාවය වැඩි වී තිබෙනවා. කෘෂිකර්මාන්තය සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ කරන කෘෂි සංචාරක ව්‍යාපාරය / Agritourism ජාත්‍යන්තරව ගොඩනැගී ඇත්තේ අතිරේක ආදායම් උත්පාදනය කිරීම, සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ ප්‍රජා පාදක ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම මගින් ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී ප්‍රවේශයක් ලෙස යි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කොව්ඩ් -19 වසංගතයෙන් පසු ශක්තිමත් ප්‍රකෘතියක් පෙන්නුම් කර ඇති අතර, 2024 පළමු භාගයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා උපයා තිබෙනවා. රටේ පොහොසත් කෘෂිකාර්මික භූ දර්ශන, ජෛව විවිධත්වය සහ සාම්ප්‍රදායික මෙන්ම විවිධාංගීකරණය වූ ගොවිතැන් ක්‍රම කෘෂි සංචාරක ව්‍යාපාරය සඳහා සැලකිය යුතු විභවයක් සපයනවා. එසේ තිබියදීත් කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය අතර ඒකාබද්ධතාවය සීමිතයි.
කෘෂි සංචාරක ව්‍යාපාරය බහුලව ක්‍රියාත්මක වන සහ ප්‍රතිපත්ති මඟින් සහාය දක්වන ආසියාතික රටවල් වන තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවල කෘෂි සංචාරක ව්‍යාපාරය ප්‍රජා සහභාගීත්වය සහිතව විශාල රටට ආර්ථික වාසි ලබා දෙනවා. මෙම රටවල කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය පැහැදිලි නියාමන රාමුවක් සහිතව ක්‍රියාත්මක වෙනවා. මෙම රටවල දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ කෘෂි සංචාරක කර්මාන්තය සඳහා එය ක්‍රියාත්මක වන ප්‍රජාව විවිධ අයුරින් සහභාගී වීමයි. නමුත් අධ්‍යයනය දත්ත අනුව ශ්‍රී ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නේ තනි පුද්ගලයින් වශයෙන් පමණයි, කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ ප්‍රජාවක් වශයෙන් අඩුයි.
කෘෂි සංචාරක ව්‍යාපාරයේ සැබෑ ගොවීන්ගේ සහභාගීත්වය වැඩි කිරීම ග්‍රාමීය ආදායම් ඉහළ නැංවීමට, තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රජා සංවර්ධනයට සහාය වීමට කාලෝචිත අවස්ථාවක් සපයනවා. මෙරට ප්‍රධාන සමාජ – ආර්ථික පර්යේෂණ ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් කළ Agritourism as a Sustainable Livelihood Development Practice in Sri Lanka / ශ්‍රී ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරය තිරසාර ජීවනෝපාය සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද ? නම් අධ්‍යාපනයෙන් කෘෂි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය වැදගත් සොයා ගැනීම් ගණනාවක් හෙළිකර ගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අපට හැකියාව ලැබුණා. මෙම අධ්‍යනය සඳහා අප ආයතනයේ පර්යේෂණ නිලධාරීන් වන අධි පර්යේෂණ නිලධාරිනී සාගරිකා හිටිහාමු මහත්මිය, උත්පලා ජයසිංහ මෙනෙවිය සහ සංගීත් ප්‍රසාද් ප්‍රනාන්දු යන පර්යේෂණ නිලධාරීන් දෙදෙනාත් සම්බන්ධ වුණා.

- ශ්‍රී ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරය තුළ වැඩිම අවස්ථාවන් තිබෙන ක්ෂේත්‍ර මොනවා ද ?
අප මෙහිදී කෘෂි සංචාරක විභවය Agritourism Potential – ප්‍රජා පාදක සංචාරක (Community-Based Tourism – CBT) ප්‍රවේශය යටතේ කෘෂි සංචාරක උප කාණ්ඩ පහක් හඳුනා ගන්නා ගත්තා. වී ගොවිතැන ආශ්රිත සංචාරක ව්‍යාපාරය – Paddy tourism, එළවළු වගාව ආශ්රිත සංචාරක ව්‍යාපාරය – Vegetable tourism, ඒකාබද්ධ වී-එළවළු සංචාරක ව්‍යාපාරය – Combined paddy–vegetable tourism, කුළුබඩු උද්‍යාන සංචාරක ව්‍යාපාරය -Spice garden tourism සහ කුරුඳු වගා කිරීම සහ සැකසුම් සංචාරක ව්‍යාපාරය – Cinnamon cultivation and processing tourism ඒ අතර තිබෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩු සහ කුරුඳු කර්මාන්තවල ගෝලීය ආකර්ෂණය සැලකිල්ලට ගෙන මෙම අංශ පොකුරු කිරීම / Clustering සඳහා ශක්තිමත් විභවයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්, සමීක්ෂණයට ලක් කළ ගොවීන්ගෙන් 70%ක් කෘෂි සංචාරක ව්‍යාපාරයට විවිධාංගීකරණය වීමට කැමැත්ත පළ කළා. බහු අංශ ඒකාබද්ධ කරන ඒකාබද්ධ කෘෂි සංචාරක පොකුරු / Establishing integrated agritourism clusters පිහිටුවීමෙන් සංචාරකයින්ගේ අත්දැකීම් වැඩි දියුණු කරමින් සම්පත් භාවිතය ප්රශස්ත කළ හැකි අතර, ප්‍රජා පාදක ආකෘතිවලට සාධාරණ සහභාගීත්වයක් සහ ප්රතිලාභ බෙදා ගැනීම සහතික කළ හැකියි.
- ගොවි ප්‍රජාවට කෘෂි සංචාරක ව්‍යාපාරයේ නිරත වීමෙන් හිමිවන ප්රතිලාභ මොනවා ද ?
අපේ සමීක්ෂණයට අනුව කෘෂි සංචාරක ව්‍යාපාරයේ උප කාණ්ඩ පහෙහිම, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයකගේ (100%) ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ අතිරේක ආදායම් මාර්ගයක් ලෙස එය සිදු කිරීමයි. සහභාගීවන්නන්ගෙන් 65%කට රැකියා අවස්ථා ලැබීම ප්‍රධාන වාසියක් ලෙස සැලකිය හැකියි. එසේම 35%ක් කෘෂි සංචාරක කර්මාන්තය ප්‍රජා සම්බන්ධතා අවස්ථා ලබා දෙන බව විශ්වාස කළ අතර, 17%ක් එය සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සංරක්ෂණය කිරීමේ මාර්ගයක් ලෙස ද 11%ක් මෙය ගොවිතැන් කටයුතු පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමේ මාර්ගයක් ලෙස සලකන බව හෙළි වුණා. මෙහි දී කෘෂි සංචාරක ව්‍යාපාරය කරන ආර්ථික බලපෑම ඉතා වැදගත්. කෘෂි සංචාරක ව්‍යාපාරයේ ක්ෂේත්‍ර අනුව ඔවුන්ගේ මාසික ආදායම සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. කුරුඳු සහ කුළුබඩු උද්‍යාන අංශ ඉහළම ආදායම් විභවයක් පෙන්නුම් කරනවා. කුරුඳු අංශයේ සියලුම සහභාගිවන්නන් රුපියල් 100,000කට වඩා උපයන අතර 50%ක් රුපියල් 200,000කට වඩා උපයනවා. කුළුබඩු වගාවේ 28%ක් රුපියල් 100,000කට වඩා උපයන අතර 45%ක් රුපියල් 200,000කට වඩා උපයන අතර අනෙකුත් අංශ පුළුල් ව්‍යාප්තියක් සහිතව මධ්‍යස්ථ ආදායමක් පෙන්නුම් කරනවා.
මෙහි දී ප්‍රජා සහභාගීත්වය සහ බලගැන්වීම සම්බන්ධයෙන් සොයා ගත් කරුණු මොනවා ද ?
අධ්‍යයන ක්ෂේත්රයේ කෘෂි සංචාරක ව්‍යාපාර විශ්ලේෂණය කිරීමෙන් හෙළි වන්නේ එය ප්‍රධාන වශයෙන් පවුල විසින් මෙහෙයවනු ලබන බවත්, පවුල විසින් හිමිකාරීත්වය දරන ව්‍යාපාර ඇති බවයි. ශක්තිමත් හා කාර්යක්ෂම ප්‍රජා පාදක ප්‍රවේශයක් දකින්නට නැහැ. මෙය කෘෂි සංචාරක ව්‍යාපාරයේ තනි පවුල් සහභාගීත්වයේ ශක්තිමත් සම්ප්රදායක්, ප්‍රදේශයේ වඩාත් කාර්යක්ෂම ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරයක අවශ්‍යතාවය ඉස්මතු කරනවා. මෙම ප්‍රදේශ සඳහා ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය ශක්‍ය වන අතර, කෘෂි සංචාරක ව්‍යාපාරය ආගන්තුක සත්කාරය, මාර්ගෝපදේශනය සහ අත්කම් නිෂ්පාදනය හරහා විශේෂයෙන් කාන්තාවන් සහ තරුණයින් සඳහා දේශීය රැකියා අවස්ථා වැඩි කරනවා. ප්‍රජා පාදක කෘෂි සංචාරක මුලපිරීම් සමාජ සහජීවනය ශක්තිමත් කරන අතර ග්‍රාමීය උරුමයන් ප්‍රවර්ධනය කරනවා. කෘෂි සංචාරක ව්‍යාපෘතිවල සහභාගීවන්නන්ගෙන් කාන්තාවන් නියෝජනය කරන්නේ 20%ක් පමණක් වන අතර, එය ස්ත්‍රී පුරුෂ විෂමතාවයක් ඉස්මතු කරනවා.
- ලංකාවේ සංචාරය කරන සංචාරකයින්ගේ වඩාත් වැඩි කැමැත්තක් ඇති කෘෂි සංචාරක ක්ෂේත්‍ර මොනවා ද ?
සමීක්ෂණ දත්ත වලට අනුව, ගොවිපොළ චාරිකා වඩාත් ජනප්‍රිය කෘෂි සංචාරක ක්‍රියාකාරකම වන අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 93%ක් ඊට සම්බන්ධ වෙනවා. සහභාගිවන්නන්ගෙන් 41%ක් විසින් ‘ඔබම තෝරා ගන්න’ / U-pick මෙහෙයුම් ලබා දෙන අතර, 39%ක් ගොවිපළ නවාතැන් හෝ නවාතැන් සපයනවා. ක්‍රියාකරුවන්ගෙන් 56%ක් විසින් ඉවුම් පිහුම් ආදර්ශන ඉදිරිපත් කරන අතර, 73%ක් ගොවිපළ නවාතැන් වල ආහාර සපයනවා. ඊට අමතරව, 25%ක් විවිධ අමුත්තන් සඳහා බහුභාෂා සංචාරක මාර්ගෝපදේශ සේවා සපයනවා. සංචාරකයින් ප්‍රධාන වශයෙන් කැමැත්තක් දක්වන්නේ අව්‍යාජ ග්‍රාමීය අත්දැකීම්, දේශීය ආහාර සහ ගොවිතැන් නිරූපණ වැනි අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහායි. සංචාරකයින් සාම්ප්‍රදායික ආහාර වල අස්වැන්න නෙළීම හෝ ඒවා පිසීම වැනි කෘෂිකාර්මික අත්දැකීම් වලට කැමැත්තක් දක්වනවා. ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් 50%ක් කුළුබඩු සහ කුරුඳු සංචාර සඳහා උනන්දුවක් දැක්වූ අතර, 60%ක් ශ්‍රී ලංකාවේ කුළුබඩු සහ කුරුඳු අංශ ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන ලෙස සඳහන් කළ අතර, 50%ක් සාම්ප්‍රදායික වී සහ එළවළු වගාවට සම්බන්ධ කෘෂි සංචාරක ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දැක්වූවා.
- ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරය සඳහා පවතින යටිතල පහසුකම් සහ ප්‍රවේශ්‍යතාව ගැන ඔබගේ අධ්‍යයනයෙන් සොයා ගත්තේ මොනවා ද ?
කෘෂි සංචාරක ස්ථානවලින් 60%කට නිසි මාර්ග ප්‍රවේශයක් සහ නරඹන්නන්ගේ පහසුකම් නොමැති වීම විශාල ගැටලුවක්. ග්‍රාමීය ගමනාන්තවලින් 30%ක් පමණක් සංචාරක සුවපහසුව සහ ආරක්ෂාව සඳහා මූලික අවශ්‍යතා සපුරාලන බව අපි සොයා ගත්තා.
- ඔවුන් මුහුණ දෙන වෙළඳපොළ සහ වෙනත් අභියෝග මොනවාද ?
කෘෂි සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින ගොවීන්ගෙන් 40%ක් තම නිෂ්පාදන සෘජුවම සංචාරකයින්ට අලෙවි කිරීමට අරගල කරනවා. කෘෂි සංචාරක ව්‍යාපාරවලින් 25%ක් ඇසුරුම් කළ කුළුබඩු වැනි අගය එකතු කළ නිෂ්පාදන අලෙවි කිරීමේ නිරත වෙනවා. 45%ක් අපද්‍රව්‍ය කළමනාකරණය සහ සම්පත් අධික ලෙස භාවිතා කිරීම පිළිබඳ ගැටලු වාර්තා කළ අතර කාබනික ගොවිතැන හෝ පුනර්ජනනීය බලශක්තිය වැනි පරිසර හිතකාමී පිළිවෙත් භාවිතා කරනුයේ 20%ක් පමණයි. 80%ක්ම නියාමන රාමුවක් නොමැතිකම සැලකිය යුතු අභියෝගයක් ලෙස හඳුනා ගෙන ඇති අතර රජයේ සහාය වැඩසටහන් වලින් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් විශේෂයෙන් කෘෂි සංචාරක ව්‍යාපාරයට සහාය වන බව අපි හෙළිකර ගත්තා. කෘෂි සංචාරක ක්‍රියාකරුවන්ගෙන් 75%ක් ප්‍රවර්ධනය සඳහා ඩිජිටල් වේදිකා භාවිතා නොකරන අතර සංචාරකයින්ගෙන් 15%ක් පමණක් කෘෂි සංචාරක අඩවි මාර්ගගතව සොයා ගැනීම කරනවා. එසේම ග්‍රාමීය ප්‍රදේශවල ගොවීන්ගෙන් 15%ක් පමණක් කෘෂි සංචාරක මුලපිරීම්වල ක්‍රියාකාරීව නිරතව සිටිනවා. මේ සඳහා මුලපිරීමට ප්‍රධාන බාධක ලෙස 80%ක් සඳහන් කළේ දැනුවත්භාවය සහ පුහුණුව නොමැතිකමයි. මේ සඳහා ප්‍රාදේශීය ගොවීන්ගේ සහ ග්‍රාමීය ප්රජාවන්ගේ ද ප්‍රමාණවත් සහභාගීත්වයක් නොමැතිකම ගැටලුවක්. ගොවීන්ගෙන් 85%ක් සංචාරක කළමනාකරණය සහ ආගන්තුක සත්කාරය පිළිබඳ පුහුණුවක් අවශ්‍ය බව වාර්තා කිරීම අවධානයට ලක්විය යුතු කරුණක්.
කෘෂි සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවා ද ?
කෘෂි සංචාරක ව්‍යාපාරයේ නිතර වන ගොවීන් ඇතුළු පාර්ශ්වකරුවන් අභියෝග ගණනාවකට මුහුණ දෙන බව මෙම අධ්‍යයනයෙන් හඳුනා ගත්තා. ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගෙන් අපේක්ෂා කරන සහාය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරයට සහාය වීම සඳහා පාර්ශවකරුවන් ප්‍රධාන වශයෙන් මූල්‍ය ආධාර (30%) ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. අනෙකුත් දායකත්වයන් අතර යටිතල පහසුකම් සංවර්ධනය (24%), අලෙවිකරණය සහ ප්‍රවර්ධනය (19%) සහ පුහුණුව සහ අධ්‍යාපනය (16%) ඇතුළත් වෙනවා. ප්‍රතිපත්තිමය සහාය (11%) අවම අගයක් ගන්නා අතර, එයින් පෙන්නුම් කරන්නේ අරමුදල් සැපයීම සහ යටිතල පහසුකම් ප්‍රධාන ප්‍රමුඛතා බවයි.
ආංශික දායකත්වයන් දෙස අවධානය යොමු කරන විට වී සහ සංචාරක ව්‍යාපාරය, කුළුබඩු සහ සංචාරක ව්‍යාපාරය, එළවළු සහ සංචාරක ව්‍යාපාරය වැනි සුවිශේෂී කෘෂි සංචාරක අංශ, සංචාරකයින්ට විවිධ ආර්ථික හා සංස්කෘතික ආකර්ෂණයක් පෙන්නුම් කරනවා. කුළුබඩු සහ කුරුඳු ආශ්රිත සංචාරක ව්‍යාපාරය අපනයනය අරමුණු කරගත් නිෂ්පාදන සංවර්ධනය සහ අගය එකතු කිරීම සඳහා ඉහළම විභවයක් තිබෙනවා.
මෙම අධ්‍යයනය ගෝලීය සහ දේශීය අධ්‍යයන භාවිතා කරමින් තිරසාර කෘෂි සංචාරක ජාල ආකෘතියක් (Sustainable Agritourism Network Model – SANM) සංවර්ධනය කළා. එය කෘෂි සංචාරක අංශ හතරක් හරහා පාර්ශ්වකරුවන්, යටිතල පහසුකම් සහ ප්රතිලාභ ඒකාබද්ධ කරනවා. එසේම ගොවීන්, ප්‍රජාවන්, රජයේ ආයතන, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්, ශාස්ත්‍රීය සහ ඩිජිටල් වේදිකා අතර ශක්තිමත් සහයෝගීතාවයක අවශ්‍යතාවය මෙම ආකෘතිය ඉස්මතු කරනවා. මෙම ආකෘතිය ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්රතිලාභ ගලා යාම අවධාරණය කරන අතර පුහුණුව, වෙළඳ නාමකරණය සහ ඩිජිටල් අලෙවිකරණය අවධාරණය කරනවා. එය ග්‍රාමීය සංවර්ධනය, තිරසාර සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා බල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරනවා.
- මෙම අධ්‍යයනය මඟින් ඔබ ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සඳහා ඉදිරිපත් කරන නිර්දේශ මොනවා ද ?
වී, එළවළු, කුළුබඩු සහ කුරුඳු සංචාරක ව්‍යාපාරය වැනි කෘෂි සංචාරක උප අංශ පොකුරුකරණය සඳහා ශක්තිමත් විභවයක් පෙන්නුම් කරනවා. විවිධාංගීකරණය වූ අත්දැකීම් ලබා දීමට සහ සම්පත් උපරිම කිරීමට බහු අංශ ඒකාබද්ධ කරමින් කෘෂි සංචාරක පොකුරු ස්ථාපිත කිරීම. ප්‍රජා පාදක සාර්ථක කෘෂි සංචාරක ආකෘති ක්‍රියාත්මක කිරීම, අදාළ ප්‍රජාවේ දේශීය ගොවීන් සෘජුවම සම්බන්ධ කරනවා. කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා සාධාරණ ප්රතිලාභ සහතික කරමින්, දේශීය නිෂ්පාදකයින් සමඟ සංචාරකයින් සම්බන්ධ කිරීම සඳහා කෘෂි සංචාරක වෙළඳපොළවල් නිර්මාණය කිරීම අපි නිර්දේශ කරනවා. කෘෂි සංචාරක ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සකස් කිරීම ඉතාම වැදගත්. කෘෂි සංචාරක ව්‍යාපාරය තිරසාර අංශයක් ලෙස නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා පැහැදිලි ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම වැදගත්. කෘෂි සංචාරක ව්‍යවසායන් සඳහා බදු ප්රතිලාභ සහ සහනාධාර වැනි දිරිගැන්වීම් ලබා දීම, කෘෂි සංචාරක ව්‍යාපාරයට විශේෂිත ප්‍රතිපත්ති සකස් කිරීම සහ සංචාරක, කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධන අධිකාරීන් අතර උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම වැදගත් බව අපි නිර්දේශ කරනවා.
යටිතල පහසුකම් සහ පහසුකම් ශක්තිමත් කිරීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක්. කාර්යක්ෂම ග්‍රාමීය ප්‍රවාහනය, නවාතැන් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, කෘෂි සංචාරක ප්‍රදේශවල නරඹන්නන්ගේ මධ්‍යස්ථාන සහ පැහැදිලි සංඥා පුවරු සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම කළ යුතුයි.
ධාරිතා ගොඩනැගීම සහ පුහුණුව තවත් වැදගත් ක්ෂේත්රයක්. අධ්‍යයන ප්‍රදේශය තුළ දේශීය ආර්ථික සංවර්ධනය සහ කාර්යක්ෂම ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය සඳහා මාර්ගයක් ඉස්මතු කිරීම කළ යුතුයි. කෘෂි සංචාරක කටයුතු සඳහා දේශීය ගොවීන් සහ ග්‍රාමීය ප්රජාවන්ගේ ප්‍රමාණවත් සහභාගීත්වයක් නැහැ. ප්‍රජා පාදක සංචාරක ක්‍රියාකාරකම්, ආගන්තුක සත්කාර කළමනාකරණය සහ සංචාරක කුසලතා පිළිබඳව ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා දීම මෙනිසා ඉතා වැදගත්. කෘෂි සංචාරක ව්‍යාපාරයේ ආර්ථික හා සංස්කෘතික ප්රතිලාභ පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ සාර්ථක ආකෘති අනුකරණය කිරීම සඳහා ගොවීන් අතර දැනුම බෙදා ගැනීම ප්‍රවර්ධනය කිරීම කළ යුතුයි.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (Public–Private Partnerships – PPP) ප්‍රවර්ධනය කිරීම මෙහිදී ඉතාම වැදගත්. රජය, පෞද්ගලික ආයෝජකයින් සහ ප්‍රජාවන් අතර සහයෝගීතාව දිරිමත් කිරීම සහ ගොවීන් සම්පත් සහ ලාභ බෙදා ගන්නා සහයෝගීතා ආකෘතිවලට සහාය වීම කළ යුතුයි.
ඩිජිටල් අලෙවිකරණය සහ තාක්ෂණය පාලනය කිරීම තවත් වැදගත් නිර්දේශයක්. කෘෂි සංචාරක ගමනාන්ත සහ එහි අත්දැකීම් අලෙවි කිරීම සඳහා මාර්ගගත වේදිකා සහ ජංගම යෙදුම් සංවර්ධනය කිරීම, සංචාරකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා මාර්ගාගත වෙන්කරවා ගැනීම, සමාලෝචන සහ ප්‍රතිපෝෂණ සඳහා තාක්ෂණය භාවිතා කිරිම කළ යුතු බව අප නිර්දේශ කරනවා.
කෘෂි සංචාරක ක්‍රියාකාරකම් විවිධාංගීකරණය තුළින් වී වගා අත්දැකීම්, එළවළු අස්වනු නෙළීම, කුළුබඩු සහ කුරුඳු චාරිකා සහ දේශීය නිෂ්පාදන භාවිතා කරමින් ඉවුම් පිහුම් පන්ති වැනි විවිධ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, කෘෂි සංචාරක දීමනා සඳහා සංස්කෘතික හා සාම්ප්‍රදායික පිළිවෙත් ඒකාබද්ධ කිරීම කළ යුතුව තිබෙනවා. එසේම තිරසාරභාවය සහ පරිසර සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීම, මූල්‍ය ආධාර සහ ක්ෂුද්‍ර ණය පහසුකම් වැඩි දියුණු කිරීම, ශක්තිමත් ජාල සහ හවුල්කාරීත්වයන් ගොඩනැගීම, ප්‍රජා පාදක සංචාරක ව්‍යුහයන් ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය දීම, සංචාරක කළමනාකරණය, සන්නාමකරණය සහ භාෂා කුසලතා යන ක්ෂේත්රවල ධාරිතා වර්ධන වැඩසටහන් දේශීය සහභාගීත්වය සහ සේවා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ඉතා වැදගත් බව අප නිර්දේශ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංචාරක සංවර්ධනයට මග පෙන්වීම සඳහා තිරසාර කෘෂි සංචාරක ජාල ආකෘතිය (SANM) අනුගමනය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයින් දිරිමත් කරනවා. එය වඩාත් සම්බන්ධීකරණ සහ සාධාරණ ප්‍රතිඵල සඳහා ප්‍රධාන කොටස්කරුවන්, යටිතල පහසුකම් සහ සංචාරක ක්‍රියාකාරකම් ඒකාබද්ධ කරනවා. එසේම කෘෂි සංචාරක මුලපිරීම් නිරීක්ෂණය කිරීම සහ ඇගයීම, ශ්‍රී ලංකාවේ කෘෂි සංචාරක ව්‍යාපාරය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රජා පාදක කෘෂි සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීම, විශේෂයෙන් කාන්තාවන් සහ තරුණයින් සඳහා දේශීය රැකියා උත්පාදනය කිරීම, සමාජ සහජීවනය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය උරුමයන් ආරක්ෂා කිරීම අප විසින් ඉදිරිපත් කළ ප්රමුඛ නිර්දේශ අතර තිබෙනවා.
රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 15 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද
















