ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සුරක්ෂිතයි – විකල්ප සැපයුම් ගැනත් අවධානය – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

කලාපීය ආතතීන් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සුරක්ෂිතව පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවසීය.

ඊයේ (2) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී රාජකරුණා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය භීතියකින් ඉන්ධන තොග රැස් නොකරන ලෙසය.

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු නිමි තෙල් නිෂ්පාදන මැද පෙරදිගින් ලබා නො ගන්නා බව ඔහු පැහැදිලි කරමින් ඔහු පැවසුවේ පවතින ගැටුම හේතුවෙන් දේශීය වශයෙන් කිසිම ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.

පසුගිය වසර පුරා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සැපයුම්කරුවන් අතරට ඉන්දියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළත් වූ බව සභාපතිවරයා අනාවරණය කළේය.

පෙට්‍රල් සහ ඩීසල් සැපයුමට කිසිදු බලපෑමක් සිදු නොවූවත්, යුද්ධය උත්සන්න වුවහොත් බොරතෙල් සැපයුම්වලට ඇති විය හැකි බාධා සඳහා රජය දැනටමත් සූදානම් වෙමින් සිටින බව ඔහු සඳහන් කළේය.

“දැනට අප සතුව දින 26 කට ප්‍රමාණවත් බොරතෙල් තොග ඇති අතර, තවත් නැව්ගත කිරීමක් ඉක්මනින් පැමිණෙන බව තහවුරු කර ඇත,” ඔහු පැවසීය. ක්‍රියාකාරී පියවරක් ලෙස, රජය නයිජීරියාව වැනි රටවලින් සහ ඇමරිකාව වැනි කලාපවලින් විකල්ප මූලාශ්‍ර ගවේෂණය කරමින් සිටින බව ද ඔහු හෙළි කළේය.

මෑත කාලීන ඉන්ධන බෙදාහැරීම් පිළිබඳ විස්තරයක් ලබා දෙමින් රාජකරුණා මහතා පැවසුවේ ෙමාර්තු 1 වන දින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටර් මිලියන 3.01 ක් සහ පෙට්‍රල් ලීටර් මිලියන 3.92 ක් නිකුත් කළ බවයි. ඊයේ (2) පෙ.ව. 9:44 වන විට, සංස්ථාව ඉල්ලුම සපුරාලීම සඳහා ඩීසල් ලීටර් මිලියන 2.32 ක් සහ පෙට්‍රල් ලීටර් මිලියන 2.90 ක් නිකුත් කළ බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

 “බලපත්‍රයක් නොමැතිව නේවාසික දේපළවල ඉන්ධන ගබඩා කිරීම දැඩි ලෙස තහනම් කර ඇති අතර එය අතිශයින් භයානක යි. නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව බලධාරීන් දැනටමත් නීතිමය පියවර ගනිමින් සිටිනවා,” ඔහු පැවසීය.

රටේ වත්මන් ගබඩා ධාරිතාව සීමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පිළිගත්තේය. වර්තමාන පහසුකම්වලට දින 32ක් සඳහා ඩීසල්, දින 27ක් සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් සහ දින 11ක් සඳහා පමණක් ගුවන් යානා ඉන්ධන ගබඩා කළ හැකි බව ඔහු කීවේය.

 “අපි දැනට මෙම සීමාවන් තුළ උපරිම ධාරිතාව පවත්වා ගෙන යනවා. ඉන්ධන තොග ප්‍රමාණවත් වුව ද, රජයට ගෝලීය තෙල් වෙළඳපොළ මිල පාලනය කළ නොහැකි බව” ඔහු තවදුරටත් පැවසීය.

අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් අනිසි බියකින් ජනතාව කලබල වීම අවශ්‍ය නොවන බවත් ඔහු නැවතත් අවධාරණය කළේය. 

QR ක්‍රමවේදය යොදාගෙන ඉන්ධන සැපයුම සීමා කළ යුත්තේ රට තුළ ඉන්ධන හිඟයක් පවතින අවස්ථාවකදී පමණක් බවත්, මේ වන විට එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත්  ඒ මහතා පෙන්වා දුන්නේය. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි අවස්ථාවක් උදා වුවහොත්, ඕනෑම අවස්ථාවක QR ක්‍රමවේදය භාවිතයට ගන්න සූදානම් බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website