වී අස්වැන්න මැද ගොවියා හඬවන ‘තෙත වී’ සහ පසු අස්වනු හානියේ අදෘශ්‍යමාන හස්තය   

ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික වී නිෂ්පාදනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන පහක් පමණ වන අතර  ප්‍රධාන වශයෙන් මහ සහ යල කන්න මත පදනමව වී වගාව සිදුවේ. මහ කන්නයේ හෙක්ටයාර් 800,000ක් පමණ වගා කරන අතර, යල කන්නයේ හෙක්ටයාර් 500,000කට ආසන්න භූමි ප්‍රමාණයක  වී වගාව සිදු කෙරේ.

විශේෂයෙන් වී වගාවේ අස්වනු නෙළන කාලසීමාවට අදාළව වී වල තෙතමනය, මිල පහළ යාම, සහතික මිල, රාජ්‍ය මැදිහත්වීම් ඉතාමත්ම ඉහළින් සාකච්ඡා කරන මාතෘකා අතර වේ. මන්ද රටේ ප්‍රධාන ආහාරය වන බත සපයන ප්‍රධාන නිෂ්පාදනයේ පවතින වෙළෙඳපොළ ප්‍රධානම ගැටලුව නිසා, අස්වනු නෙළන සමය තුළ වී මිල මිල යනු දේශපාලන මාතෘකාවක් ද බවට පත්වේ. විශේෂයෙන් වී දේශපාලනීකරණය වූ බෝගයක් නිසා පොහොර ටික අඩු වුවත්, වර්ෂාවෙන් හෝ නියඟයෙන් බලපෑමක් ඇති වුණත්, සහල් මිල වැඩි වුවත් දේශපාලන ලෝකයේ කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.  

ගොවි ජනතාවගේ පැත්තෙන් වී වගාව ගොවි ජනතාවගේ ප්‍රධාන වෘත්තිය වන අතර පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත් විට තුන්වේල සහල් පරිභෝජනය කරන රටක් ලෙස පාරිභෝගිකයාට ද වී මිල ඉතා වැදගත් වේ.  විශේෂයෙන් පුද්ගලයකුගේ ආහාර සඳහා වන වියදමින් 14%කට ආසන්න ප්‍රමාණයක් වැයවන්නේ සහල් සඳහා වන අතර සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙක් සහල් සඳහා පමණක් රුපියල් 25,000ක පමණ මුදලක් වැය කරනු ලැබේ.  ඒ නිසා වී වල ‘තෙතමනය” මත වී වල යම් පසු අස්වනු හානියක් ඇතිවේනම් එය සහල් නිෂ්පාදනට ද යම් බලපෑමක් ඇතිකරනු ඇත. ඒ අනුව වී වල තෙතමනය මත සිදුවන මිල පහළ යාම කෙතරම් දුරට සාධාරණ ද, එසේ නම් තෙතමනයට සමානුපාතිකව එම සමතුලිතවන මිල කුමක් ද ? යන්න මෙන්ම තත්ත්වයෙන් ඉහළ සහල් නිෂ්පාදනය සඳහා ගබඩා කර තබා ගත යුතු වී වල පැවතිය යුතු තෙතමනය කුමන පරාසයක පැවතිය යුතු ද සහ මේ සඳහා පවතින තාක්ෂණික හැකියාව පිළිබඳ විවරණයක යෙදීම මෙම ලිපියේ අමුණ වේ.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීමට වෙහෙසෙන ගොවියා, අස්වනු නෙළන සෑම කන්නයකම පාහේ එකම ගැටලු ජාලයක සිරවී සිටී. වී නිෂ්පාදනය ඉහළ ගිය ද, අලෙවිකරණයේදී සහ පසු අස්වනු තාක්ෂණයේදී සිදුවන දෝෂ හේතුවෙන් නිසි ලාභය ගොවියාගෙන් ගිලිහී යයි. ආහාර සුරක්ෂිතතාවය ඉහළින්ම කතා කරන කාලයක මෙම ඉහළ තෙතමනයත් සමඟ වී නිෂ්පාදනයේ සිදු වන පසු අස්වනු හානිය ද මෙම කාරණයත් සමඟ ඉහළ අගයක් ගනී. විශේෂයෙන් සහල් සහ වී මිල ඉහළ අගයක් ගන්නා කාලසීමාවන්හි මෙම පසු අස්වනු ප්‍රමාණයන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වෙයි.

වී වගාව සඳහා අවශ්‍ය ශ්‍රම සම්පත හිගවීමත් සහ කාර්යභහුල වගා රටාවන් ද නිසා අස්වනු නෙළීම වර්තමානයේ 90%ක්ම යාන්ත්‍රීකණය වී ඇත. වී අස්වනු නෙළීමේ කාර්යය සඳහා බහුකාර්ය ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර බහුලව භාවිතා වේ. කෙසේ වෙතත් මෙම යන්ත්‍ර හරහා ලබා ගන්නා වී වල තෙතමනය බොහෝ විට ඉහළ මට්ටමක පවතින අතර, එම වී සාපේක්ෂව අඩු මිලට වෙළඳපොළේ අලෙවි වේ. මෙම සන්දර්භය තුළ, අස්වැන්න නෙළන කාලය තුළ ඉහළ තෙතමනයක් සහිත වී සමඟ සම්බන්ධ අසාමාන්‍ය මිල පහත වැටීම් වැළැක්වීමෙන් මිල ස්ථාවර කිරීම සඳහා වී වියළන යන්ත්‍ර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඊට අමතරව, ඒවා උසස් තත්ත්වයේ වී ගබඩා කිරීමට සහාය වන අතර උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සපුරාලන බව සහතික කිරීමට ද උපකාරී වේ.

වී වල තෙතමන අගයන්

වර්තමානයේ පවතින බහුකාර්ය අස්වනු නෙළීමේ යන්ත්‍ර භාවිතා කර වී අස්වනු නෙළීම සියලුම නිෂ්පාදන ප්‍රදේශවල බහුලවම පවතින අතර පවතින ශ්‍රම හිඟය සහ කඩිනමින්  වී අස්වනු නෙළා ගැනීමට අවශ්‍ය නිසා මෙම ක්‍රමය බහුලවම භාවිතා වේ. බොහොමයක් ප්‍ර‌දේශවල  සාම්ප්‍රදායික පැරණි අස්වනු නෙළීම ඉතා සුළු වශයෙන් සිදුවේ. වී වෙළෙදපොළ තුළ අලෙවි අතිරික්තයක් පවතින සියලු දිස්ත්‍රික්කයන්හි වී අස්වනු නෙළීම සඳහා මෙම බහුකාර්ය වී අස්වනු නෙළීමේ යන්ත්‍ර භාවිතා කරයි. මෙහිදී සම්පූර්ණ වී තොගයම ඉහළ තෙතමනයක් සහිතව එම යන්ත්‍රය මඟින් ලබා දෙන අතර  ඉහළ තෙතමනයකින් යුක්ත නිසා වී සමඟ බොල්, කාටූ, රොඩු වැනි අමතර කොටස් ද  එකතු වේ. එම නිසා තෙත වී තොගය වියළීමේ දී තෙත බරට අමතරව වර්තමානය වන විට මෙම බහුකාර්ය අස්වනු නෙළීමේ ක්‍රමවේදය නිසා අමතර රොඩු ප්‍රමාණයක ද බරක් එකතු වේ. ඒ අනුව අස්වනු නෙළීමේ දී පවතින වී වල  තෙතමන ප්‍රතිශතය 22 -26%ක ප්‍රමාණය තත්ත්වයෙන් හොඳ සහල් කිලෝවක් නිෂ්පාදනය කර ගැනීම සඳහා සහ ගබඩා කර ගැනීම සඳහා 13 -14% දක්වා අඩු කර ගත යුතුය. මෙහි දී තෙත වී කිලෝ 100ක් වියළීමේ දී 12 -15 % අතර ප්‍රමාණයකින් බර අඩුවේ. එනම් ඉහළ තෙතමනයකින් යුතු වී කිලෝ  100ක්  ප්‍රමිතියෙන් යුතු 13 -14 % තත්ත්වයට වියළා ගැනීමේදී වී කිලෝ 85ක් පමණ ලැබේ.

විශේෂයෙන් මෙහි දී පෙන්වා දිය යුතු ප්‍රධාන කරුණ නම් මෙම අස්වනු නෙළන අවස්ථාවේ පවතින ඉහළම තෙතමනය සහිත වී ප්‍රමිතියෙන් යුතු තත්ත්වයට පත් කර අලෙවි කිරීමේ දී ඉවත් වන 12 – 15% අතර ප්‍රතිශතය වී මිලෙන් සමාන විය යුත්තේ කොතැන ද යන්න යි. එනම් පර්යේෂණ තොරතුරුවලට අනුව ගණනය කිරීමේ දී ගොවියා ප්‍රමිතිගත වී කිලෝවක් රුපියල් 120.00ට අලෙවි කිරීම තෙත වී කිලෝවක් රුපියල් 102.00 ට අලෙවි කිරීමට සමාන වේ. කෙසේ වුව ද මෙවන් අවස්ථාවල දී වෙළෙදපොළේ වී අලෙවි වන්නේ කිලෝවක් රුපියල් 90.00- 95.00 අතර මිලකට වේ. එම ඇති වන අසාමාන්‍ය මිල පහළ යාමේ තත්ත්වය පාලනය කිරීමට වී වියළීමේ යන්ත්‍ර හෝ වෙනත් වී වියළීමේ කමත් වැනි දෑ බෙහෙවින් උපකාරී වේ.

වාසි සහ අවාසි

මේවා භාවිතය තුළ ඇතිවිය හැකි වාසි සහ අවාසිසහගත තත්වයන්  ද පහත පරිදි පෙන්වා දිය හැකිය. විශේෂයෙන් වී අස්වනු නෙළන අවස්ථවේ දී ගොවියා සතුව වී වියළා ගැනීමට තරම් මුදලක් ද නොමැති විය හැකිය. වී කිලෝවක වියළීමේ  පරිවැය මෙහිදී ඉතා වැදගත් වන අතර එය දැරිය හැකි මට්ටමක පැවතිය යුතු වේ. එසේම වියළීමේ යන්ත්‍රයේ ධාරිතාවය, එහා මෙහා ගෙනයා හැකි බව, වියළීමේ දී ගත වන කාලසීමාව වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. එසේම අස්වනු නෙළන කාලසීමාවේ දී පමණක් නොව අනෙකුත් කාලවල දී  ද මෙම යන්ත්‍ර නිසි පාලනයක් ඇතිව වෙනත් බෝග සඳහා ද යොදා ගනිමින් ආරක්ෂා කර ගැනීම වැනි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු විය යුතුය. එසේ නොමැති වුව හොත් ඉතා කෙටි කාලයක් ඇතුලත මෙම ආයෝජනයන් අසාර්ථක ව්‍යාපෘතියක් විය හැකිය.

කෙසේ වුව ද රජජ්‍ය මැදිහත්වීම මත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන්නෙ නම් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර දැනට රජය විසින් ලබා දී ඇති  මෙන්ම පෞද්ගලික මොල් හිමියන් සතු ඔවුන් භාවිතා කරන මෙම වී වියළීමේ යන්ත්‍ර පිළිබඳ පූර්ණ පසුවිපරමක් සිදුකර ප්‍රායෝගික තත්ත්වය තුළ ක්‍රියාත්මකවීමේ දී පවතින ගැටලු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කල යූතුය. ඉන්ධන භාවිතය තුළ කිලෝවක් සඳහා වැය වන පිරිවැය,  ගොවීන්ගේ කැමැත්ත, ජංගම සහ ස්ථාවර වියළීමේ යන්ත්‍රයන්ගෙන් වඩාත් පලදායී කුමක්ද යන්න පූර්ව අධ්‍යයනයකින් පසු වඩාත් පලදායී ප්‍රදේශ සහ ස්ථාන තොරා ගතයුතු වේ.

වී වියළීමේ යන්ත්‍ර ලබාදීම

විශේෂයෙන් මෙම යන්ත්‍ර ලබා දීමේ දී සමූපකාර, ගොවි සංවිධාන වැනි ආයතන වෙත ලබා දීමේ දී ඒවායේ නඩත්තුව, ක්‍රියාකාරී පිරිවැය, ගොවියාට වන පිරිවැය, ලබා දෙන ප්‍රදේශ, කණ්ඩායම් පිළිබඳ විශේෂ අවධානය යොමු විය යුතුය. එසේම වී වියළීමේ යන්ත්‍රයක් අවශ්‍යම නම් පමණක් ඉහත සියලු කරුණු සඳහා නිසි පිළිතුරු සහිතව ලබා දිය යුතුය. එසේ නොමැති නම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් පවතින  වී වියළීම සඳහා ගොවියාට කිසිදු පිරිවැයක් නොමැතිව සිදු කළ හැකි වී වේලීමේ කමතක් ලබා දීම වඩාත් ලාභදායී මෙන්ම ඵලදායී විය හැකිය. මන්ද වී අස්වනු නෙළා අවසන් වන අවස්ථාව වන විට ගොවියා සතුව වී වියළීම සඳහා මුල්‍යමය ගැටලු පැවතිය හැකිය. එවන් අවස්ථාවල දී එම පිරිවැය මෙම යන්ත්‍ර නඩත්තු කරන ආයතනයට හෝ පුද්ගලයාට දැරිය නොහැකිය. ඒ අනුව මෙම යන්ත්‍ර ලබා දීමට පෙර ලබා දෙන්නේ කාට ද, කුමන ප්‍රදේශයන් සඳහා ද මෙන්ම විශේෂයෙන් ඒකක පිරිවැය, ඉන්ධන මිල නිරන්තරයෙන් උච්චාවචනය වීම සහ නඩත්තුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුය. ව්‍යාපෘතියේ තිරසරභාවය ආරක්ෂා කර ගැනීමට ඉහත කරුණු කෙරේ විශේෂ අවධානය යොමු කළ යුතු ය. මේ තුළ පවතින ප්‍රධාන ගැටලුව නම් තෙතමනය ඉහළම වී සඳහා මෙන්ම තෙතමනය අවම මට්ටමක පවතින වී සඳහා ද අඩු මිල ගණන් තීරණය වීමයි. එවන් අවස්ථාවල දී ගොවියාට අලාභයක් සිදු වන අතර වී මිල දී ගන්නාට වඩාත් වාසිදායක වේ. එවන් තත්ත්වයන් පාලනය කිරීමට මෙම වී වියළීමේ යන්ත්‍ර වඩාත් උපකාරී වේ.

දැනට වී වියළීමේ යන්ත්‍ර භාවිත කරන සියලුම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ඒවා භාවිතා කරනුයේ සහල් නිෂ්පාදනයේ දී වලින් ඉවත් වන දහයියා සහ විදුලිය භාවිතා කරමින්ය. ඒ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන භාවිතයක්  බොහෝ විට සිදු නොවේ. මන්ද එවැනි ඉන්ධන භාවිතා කිරීමේ දී දැරීමට සිදුවන පිරිවැය ඉහළ ය. මෙම සහල් මෝල් සඳහා දහයියා මිල ගණන් අනුව වී කිලෝවක් වියළීම සඳහා වන පිරිවැය තීරණය වේ. (දහයියා මඟින් බොහෝ විට කිලෝවකට වියළීමේ පිරිවැය රුපියල් 5.00ක් පමණ වැය වේ)  ඒ නිසා විධිමත් අධ්‍යනයක් ඇතිව මෙම යන්ත්‍ර ලබා දීම සිදු කළ යුතුය. ඊට හේතුව වන්නේ කෙතරම් සාර්ථක අත්දැකීමි පැවතිය ද ශ්‍රී ලංකාවේ සන්ධර්භය තුළ මේවා ක්‍රියාත්මක කළ යුතු වීම ය.

තෙතමනය සහ මිල තීරණය කිරීමේ දේශපාලනය;

වී අස්වැන්න නෙළන අවස්ථාවේ දී එහි අඩංගු තෙතමනය (Moisture Content) මිල මට්ටම තීරණය කරන ප්‍රධානතම සාධකයයි.  සාමාන්‍යයෙන් සහල් මෝල් හිමියන් සහ රජය වී මිල දී ගැනීමේ දී අපේක්ෂා කරන්නේ 14%ක තෙතමන මට්ටමකි.

  • මිල අඩු වීමට බලපාන ආකාරය: අස්වනු නෙළන අවස්ථාවේදී වීවල තෙතමනය 22% – 26% දක්වා ඉහළ අගයක පැවතිය හැකිය. තෙතමනය සහිත වී ගබඩා කිරීමේ දී දිලීර වර්ධනය වීම සහ බීජයේ ගුණාත්මකභාවය අඩු වීම සිදු වේ. මෙය පදනම් කර ගනිමින් පෞද්ගලික ව්‍යාපාරිකයින් වී කිලෝවකට නියමිත සහතික මිලට වඩා රුපියල් 10 – 20 ත් අතර මුදලක් කපා හැරීමට කටයුතු කරයි.
  • ගොවියාගේ අසරණකම: වී වියළා ගැනීමට අවශ්‍ය අව් රශ්මිය හෝ යාන්ත්‍රික වියළන (Dryers) පහසුකම් ගොවියා සතු නොවීම නිසා, තෙතමනය සහිත වී අවම මිලකට විකුණා දැමීමට ඔවුන්ට සිදුවේ.

බහුකාර්ය අස්වනු නෙළීමේ යන්ත්‍ර (Combine Harvesters) සහ හානිය

නූතන කෘෂිකර්මාන්තයේ ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස පැමිණි “බූතයා” හෙවත් බහුකාර්ය අස්වනු නෙළීමේ යන්ත්‍රය, පසු අස්වනු හානිය ඉහළ නැංවීමට වක්‍රව දායක වී ඇත.

  • ක්ෂණික අස්වැන්න සහ තෙතමනය: මෙම යන්ත්‍ර මඟින් ඉතා කෙටි කලකදී අස්වනු නෙළන බැවින්, එකවර විශාල වී තොගයක් වෙළඳපොළට පැමිණේ. එවිට වියළා ගැනීමේ පහසුකම් අවහිර වී තෙතමනය නිසා වී අපතේ යාම වැඩි වේ.
  • යාන්ත්‍රික හානි: යන්ත්‍ර නිසි පරිදි නඩත්තු නොකිරීම හෝ ක්‍රියාකරවන්නන්ගේ නොසැලකිල්ල නිසා වී ඇට කැඩීම (Grain breakage) සිදු වේ. මෙය සහල් බවට පත් කිරීමේදී (Milling) නිමවුම අඩු වීමට ප්‍රධාන හේතුවකි.
  • පසු අස්වනු හානියේ ප්‍රතිශතය: පර්යේෂණ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වී අස්වැන්නෙන් 10% – 15% ත් අතර ප්‍රමාණයක් පසු අස්වනු හානි ලෙස අපතේ යයි.

3. වී නිෂ්පාදනය සහ අලෙවි ගැටලු

වී නිෂ්පාදන වියදම ඉහළ යාම සහ අලෙවි පද්ධතියේ පවතින දුර්වලතා ගොවියා තව දුරටත් ණය උඟුලක සිර කරයි.

විසඳුම්

  1. ප්‍රජා මට්ටමේ වියළන පද්ධති: නිසි අධ්‍යයනයකින් පසු ගොවි සංවිධාන මට්ටමින් අවශ්‍යතාවය පරිදි විශාල හෝ කුඩා පරිමාණයේ ජංගම වී වියළන යන්ත්‍ර (Mechanical Dryers) ස්ථාපිත කිරීම හෝ ප්‍රමාණවත් ඉඩකඩ පවතින තැන්හි වී වේළීමේ කමත් සකසා දීම.
  2. තෙතමනය මැනීමේ විනිවිදභාවය: වී මිලදී ගන්නා ස්ථානවල නිවැරදි තෙතමනය මැනීමේ උපකරණ භාවිතය අනිවාර්ය කිරීම.
  3. ගබඩා සහතික ක්‍රමය: ගොවියාට තම වී තොග රජයේ ගබඩාවල තබා ඒ වෙනුවෙන් ලබා ගන්නා සහතිකයට බැංකු ණය ලබාගත හැකි ක්‍රමවේදයක් (Warehouse Receipt System) සකස් කිරීම.
  4. වී වල තෙතමනය පදනම් කර ගෙන සහතික මිලට සමගාමීව තෙත වී සඳහා ද මිල ගණන් හුන්වා දීම.

නිගමනය

වී අස්වැන්න නෙළන අවස්ථාවේදී ගොවියා මුහුණ දෙන “තෙතමනය” පිළිබඳ ගැටලුව හුදෙක් තාක්ෂණික ගැටලුවක් පමණක් නොව, එය රටේ ආහාර සුරක්ෂිතතාවයට බලපාන ආර්ථිකමය ගැටලුවකි. නවීන තාක්ෂණය ගොවිබිමට හඳුන්වා දෙන අතරම, අස්වැන්න සුරක්ෂිත කර ගැනීමේ පහසුකම් දියුණු නො කරන්නේ නම්, වී ගොවිතැන තවදුරටත් ලාභදායී ව්‍යාපාරයක් නොවනු ඇත.

විශේෂයෙන් අප දන්නා ආර්ථික න්‍යායන්ට අනුව ඉහළ සැපයුමක් ලැබීම මිල පහළ යා යුතු වුවත් අස්වනු සමය තුළ ප්‍රමිතිගත වී සඳහා පවතිනුයේ ඉහළ මිලක් සහ ඉහළ ඉල්ලුමකි. මන්ද අද වන විට සහල් වෙළෙඳපොළ තුළද  මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ඉහළ තාක්ෂණය උපයෝගී කරගෙන තත්ත්වයෙන් (high quality) ඉහළ  ප්‍රමිතිගත සහල් සඳහා (තෙතමනය රහිත, ගල්, වැලි, අපද්‍රව්‍ය රහිත, කළු ඇට, අවපැහැ නොවූ, දුර්වර්ණ නොවූ, නොකැඩුණු ) වෙළෙඳපොළක්  නිර්මාණය කර ඇත.

වී කුමන තත්ත්වයෙන් පැවතිය ද ඉක්මනින් නරක් නොවන කල් තබාගත හැකි දුර්වර්ණ නොවූ ඉතා හොඳ තත්ත්යෙන් යුතු සහල් වෙළෙඳපොළට නිකුත් කළ යුතුව ඇත. ඒ නිසා ඉහළ තෙතමනයක් සහිත වී නිසි ප්‍රමිතියට පත්කර ගත යුතු වන අතර ඒ සඳහා කාලයක්, ශ්‍රමයක් සමඟ අතිරේක පිරිවැයක් දැරිය යුතුව ඇත.  ඒනිසා ප්‍රමිතිගත නොමැති ඉහළ තෙතමනය සහිත වී සඳහා අඩු මිලක් නිරන්තරයෙන් වාර්තා වේ.

මාධ්‍ය වාර්තාකරණය තුළ මෙවන් විග්‍රහයක් නොමැතිව වී මිල පිළිබඳ කථා කරයි. විශේෂයෙන් ඔනෑම අවස්ථාවක අස්වනු නෙළන අවස්ථාවේ පවතින ඉහළ තෙතමනය සහිත වී කිලෝවක් රජයේ සහතික මිලට වඩා රුපියල් 20.00  අඩුවෙන් වෙළෙදපොළේ අලෙවි වීම වී ගොවියාට සහතික මිලට වී කිලෝවක් අලෙවි කළා හා සමාන වේ. විශේෂයෙන් රාජ්‍ය අංශය ද වී මිලදී ගැනීම කළ යුත්තේ ප්‍රමිති ගත වී පමණක් වනු ඇත. එනම් ආරක්ෂිත වි තොගයක් පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මිල දී ගනු ලබන වී තොග මාස කිහිපයක් ගබඩාකර තබා ගතයුතුව ඇති අතර ඒ සඳහා ප්‍රමිතිගත වී පමණක් ගබඩා කළ හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website