ප්රශ්නය: විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව්දී ප්‍රකාශ කර තිබෙනවා, ළමයින් තුන්සීයක් රැගත් නෞකාවක් අපට උදව් කළ හැකි මුහුදු සීමාවේ තිබෙන බවට. මෙවැනි අසත්‍ය ප්‍රකාශ විපක්ෂ විසින් නිතරම සිදු කරනවා. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ පැහැදිලි කිරීම?
පිළිතුර: දිට්වා සුළි කුණාටුව ඇති වු අවස්ථාවේදීත් කලා ඔය පාලම ආසන්නයේදී බස් රථයක් සිරවි ඇති වු සිදුවීමේදීත් විනාඩි දහයෙන් දහයට ඇතැම් මන්ත්‍රීවරු විවිධ මත ප්‍රකාශ කරන්න පටන් ගත්තා. නමුත් අපි ඒ කිසිවක් සැළකිල්ලට භාජනය නොකර රජයක් ලෙස එම පිරිස ගලවා ගැනීමට කටයුතු කළා. ඒ සාථානයට හොලිකොප්ටර් සම්බන්ධ කරන්නේ කෙසේද? එය අසීරුනම් නාවික හමුදාව සම්බන්ධ කරන්නේ කොහොමද යන කරණු සොයා බලා අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඒ අයගේ ජීවිත බේරා ගත්තා. මේ අවස්ථාවේදීත් අපි ඒ නැවේ ඉන්නෙ කවුද? ඒ අය බේරා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න සොයා බලා අවශ්‍ය මැදිහත්වීම සිදු කරනවා. විපක්ෂය තව මොහොතකින් අසත්‍යබව තහවුරු වන බව දැන දැනම නොදන්නවා සේ බොරු කීම කලාවක් බවට පත්වෙලා. ඔවුන් කියන්න උත්සාහ කළේ මෙතන රාජ්‍යයක් තියෙනවා, අතන ළමයින් පිරිසක් අනතුරට ලක්වෙලා ඉන්නවා, ඒ සම්බන්ධයෙන් නොසලකා හැරලා මනුස්සකම් නැති රජයක් ලෙස අපි කටයුතු කරන බවයි. මෙවැනි වෙලාවකදී දේශපාලන පක්ෂත් පුරවැසියනුත් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
ප්රශ්නය: ඔබතුමා රටට පැහැදිලි කලා ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. මේ මැදිහත්වීම රටේ ආරක්ෂාවට බලපෑමක් වෙන්නේ නැද්ද?
පිළිතුර: අපි මේ කටයුතු කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුවයි. සමහරු කියලා තිබුණා, මේ සිදුවීම් වෙන්නේ අපේ මුහුදු සීමාවේ බව. ඒ කිසිවක් සත්‍ය තොරතුරු නෙවෙයි. ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල වුණේ අපේ ජල තීරයෙන් ඔබ්බව තිබියදී. එහෙත් අපේ ආර්ථික කලාපයට අයත් මුහුදු තීරයේදී. ඒ ප්‍රදේශයේ සිදුවන සිදුවීම් අපට පාලනය කළ නොහැකියි. යම් කිසි සිදුවීමක් වූ විට ඒ සිදුවීම තමන්ට වාසිදායක ලෙස යොදා ගන්නේ කොහොමද යන ඉතාමත් ලාභ, පහත්, පටු අරමුණුවල සිට කටයුතු කරන දේශපාලන පක්ෂ මේ වගේ ප්‍රචාර කරමින් සිටිනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර යම්කිසි ගැටුමක් නිර්මාණය වූ අවස්ථාවේදී එය සම්බන්ධ කරගෙන බොරු ප්‍රචාර ගෙන ගියා. ඒ වගේම ඇමරිකාව රටවල් රැසකට අමතර තීරු බදු පැනවීමක් සිදුකළ අවස්ථාවේදීත් මේ වගේම ප්‍රචාරයන් ගෙන ගියා. දිට්වා සුළි කුණාටු අවස්ථාවේදීත් මේ ආකාරයටම මිනිසුන් දාහකට වැඩි පිරිසක් මියගොස් ඇති බවටත් නිවාස විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති බවටත් බොරු ප්‍රචාර රැසක් ගෙන ගියා. ජාත්‍යන්තර තලයේ වේවා, රට තුළ වේවා ස්වභාවික ව්‍යසනයක් වේවා මේ ඕනෑම සිදුවීමකදී මේ දේශාපනල කණ්ඩායම කල්පනා කරන්නේ එය තමන්ට වාසිදායක ලෙස යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. අපි ඒ පිළිබඳව කනගාටු වෙනවා.
ප්රශ්නය: මේ සිදුවීම පදනම් කරගනිමින් ආර්ථිකය කඩා වැටීමක් සිදුවේවි යැයි ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව රජයේ පැහැදිලි කිරීම කුමක්ද?
පිළිතුර: මේ තත්ත්වයට අපිට ඉතා හොඳින් ඔරොත්තු දිය හැකියි. අපි මේ වන විට වෙළඳපලෙන් ඩොලර් මිලියන 700 කට ආසන්න ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. අපි ඒ තැනට වර්ධනය වී තිබෙනවා. දිට්වා සුළු කුණාටුව නිසා ඩොලර් බිලියන 4.1 ක් විනාශයක් සිදුවී තිබෙනවා. ඒ වන විට අපි මේ වසරට අදාල අයවැය ලේඛන ඉදිරිපත් කර අවසන්. එහි කිසිදු වෙනසක් නොකර දිට්වා සඳහා වෙනම කෝටි පනස්දාහක් වෙන් කිරීමට අපි සමත් වුණා. ඒ නිසා දිට්වා වලින් ආර්ථිකය කඩා වැටේවි කියන මතය වෙනස් කරන්න අපි සමත් වුණා. ඒ වගේම අඩුම අයවැය හිඟය ප්‍රකාශ කළ වසර බවට 2025 පත් වුණා. මෑත ඉතිහාසය තුළ වැඩිම ආදායම් ඉපයූ වසර බවටත් 2025 වසර පත්වුණා. අපේ ජංගම ගිණුමේ ශේෂය ඩොලර් බිලියන 1.8 ඉක්මවා යනවා. ඉතිහාසයේ කවදාවත් එවැනි තැනකට ඇවිත් නෑ, ඒ වගේම ජංගම ගිණුමේ ශේෂය ධන වී තිබෙන්නේ අවස්ථා හතරකදී පමණයි. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3 යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් අනුව තිබෙන්නේ. නමුත් අපි 5% ඉක්මවා යනවා. එනිසා මේ තත්ත්වයට අපිට හිතා හොඳින් ඔරොත්තු දිය හැකියි. මටවත්, ඔබටවත් මේ තත්ත්වය කොතැනට වර්ධනය වෙයිද කියා කියන්න බැහැ. ඒ නිසා මෙයට මුහුණ දීම සම්බන්ධයෙන් පවතින හැකියාව රැඳී තිබෙන්නේ එය වර්ධනය වන්නේ කොතනටද යන්න මතයි. නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව අපට එයට මුහුණ දීමට හැකියාව තිබෙනවා.
ප්රශ්නය: මේ IRIS Bushehr නෞකාවේ ගමන් මාර්ගය සහ එය කුමන කරුණක් මත මෙහි ආවාද යන්න සම්බන්ධයෙන් කරුණු වාර්තා වී තිබේද?
පිළිතුර: මේ නෞකා ඉන්දියාවේ පැවති යුධ අභ්‍යාසයකට සහභාගි වී ආපසු යමින් සිටි නෞකාවක් බවට තමයි වාර්තා වී තිබෙන්නේ. මේවා ඉරාන නාවික හමුදාවට අයත් නෞකා. මගී හෝ භාණ්ඩ ප්‍රවාහන නෞකා නොවේ.
ප්රශ්නය: මේ අවස්ථාවේදී අපි ගැටුමේ එක් පාර්ශවයකට සහයෝගය දැක්වීමක් සිදුකර තිබෙනවා. ඇමරිකාව තමන්ට සහයෝගය නොදුන් ඇතැම් රාජ්‍යයන්ට සම්බාධක පැනවීම් වැනි විවිධ දඩුවම් පනවා තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ අපේ මැදිහත්වීම තුළ අපිට සිදුවිය හැකි බලපෑම කුමක්ද?
පිළිතුර: මෙය කිසිසේත්ම කවර හෝ පාර්ශවයකට යුධමය වශයෙන් ලබා දුන් සහයෝගයක් නොවෙයි. අපේ මුහුදු සීමාව ආසන්නයේ ආපදාවට ලක්වූ ජීවිත රැසක් බේරා ගැනීම සඳහා වූ කර්යයක් පමණයි. එය අපි එළැඹ තිබෙන ජාත්‍යන්තර සම්මුතින්ට අනුව අනුගමනය කළ යුතු, කළ හැකි ක්‍රියාමාර්ගයක්. එලෙස විපතට පත්වන ඕනෑම පාර්ශවයක් සම්බන්ධයෙන් අපි අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මෙයයි. අපි මෙතැන් සිට ක්‍රියාත්මක කරන්නේ හේග් සම්මුතියට හා අප අත්සන් කර තිබෙන සාගර සම්පත් පිළිබඳ සම්මුතින්ට අනුවයි. ඇත්තටම ප්‍රශ්න කළ යුත්තේ අපි අත්සන් කර තිබෙන ප්රඥප්තීන්ට හා සම්මුතීන්ට අනුව කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳවයි.
ප්රශ්නය: මෙවැනි බොහෝ අවස්ථාවලදී ඔබතුමා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරනවා ඇයි මේ සිදුවීමේදී රජයේ ස්ථාවරය රටට කියන්න මේ තරම් ප්‍රමාද වුණේ සහ ඒ සඳහා පාර්ලිමේන්තුවට නොපැමිණියේ?
පිළිතුර: පාර්ලිමේන්තුවේදී මා මේ ප්‍රකාශය කළා නම් ඒ සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න විමසීමට ඔබට තිබෙන අවස්ථාව නැතිවෙනවා. ඒ නිසා තමයි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළේ. ඒ වගේම අපි මේ පිළිබඳව රජය ලෙස පැවැත්වු සාකච්ඡාව අවසන් වූ වහාම තමයි ඔබට දැනුම් දුන්නේ. ඒ නිසා කෙටි කාලයක් තුළ මෙය සූදානම් කරන්නත් සිදුවුණා. ඒ වගේම මේ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතින් අනුව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එහි අවසාන එකඟතාවයත් එය ක්‍රියාවට නැංවීමත් සමග මේ ප්‍රකාශ කිරීම වැදගත් බව අපි කල්පනා කළා. එ නිසා දෙවැනි නැවේ පනහක පමණ පිරිසක් අපේ යාත්‍රාවලට ගැනීමෙන් පසුවයි මේ සාකච්ඡාව යොදා ගත්තේ. මොකද මෙවැනි සිදුවීම්වලදී කලින් බේරගන්නේ නැහැයි කියලා කියපු අයම බේරගත්තට පස්සේ එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැනත් වෙනම කතාවක් කියනවා. එ’නිසා රට තුළ විවිධ ආන්දෝලනයන් ඇති කිරීමට තිබෙන අවස්ථා අවම කරමින් මේ ප්‍රකාශය සිදුකිරීමට අපි කල්පනා කළා.
ප්රශ්නය: මේ යුදමය තත්ත්වය අපේ රටේ ආර්ථිකයට කෙලෙස බලපෑ හැකිද?
පිළිතුර: ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ අපට ඔවුන්ගේ පුරෝකථනයන් ලබා දුන්නා. මූල්‍ය වෙළඳපොළේ ඇති මේ පූරෝකථනයන් අදියර තුනකින් සකස් කර තිබෙනවා. ඒ දැනට තිබෙන තත්ත්වය, ඊට වඩා වර්ධනය වූ මධ්‍යස්ථ තත්වය, අපි අපේක්ෂා නොකරන එහෙත් ඇති විය හැකි විනාශකාරී තත්ත්වය යන අවස්ථා තුනේදි ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවත් ඊට අනුව අපේ මූල්‍ය වෙළඳපළ හැසිරෙන්නෙ කෙසේද යන්න පිලිබඳවත් එම වාර්තාව ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව අපේ තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ රටේ දෛනික සාර්ව ආර්ථිකය , ආහාරපාන රැකියා ආදී දෛනික කටයුතු හා මුදල් අමාත්‍යංශ කටයුතු පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
තවත් වැදගත් පැතිකඩක් තමයි අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය. මේ පවතින තත්ත්වය තුළ ඔවුන්ට කළ යුතු මැදිහත්වීම, මීට වඩා තත්ත්වය වර්ධනය වුණොත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් ලංකාවට රැගෙන එන්නේ කෙසේද යන සැලසුම් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ලංකාවට පැමිණ සිටින සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය අනුව තමයි අපිට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ. ඒ පිළිබඳව හෝටල් හිමියන්, සංචාරකයන් කැඳවන ඒජන්සි, ආදිය සමග සාකච්ඡා කළා. රටින පිටව යා නොහැකි අයට සති දෙකක නිදහස් වීසා බලපත්‍රයක් ලබා දීම, අලුත් ගමනාන්තයන් තුළින් ඔවුන් නැවත සුරක්ෂිතව තමන්ගේ රටවලට පිටත් කිරිම ආදී කරුනු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපේ වරායට ඇවිත් මැද පෙරදිගට යන්න තිබුණු භාණ්ඩ නෞකා තිබෙනවා. තවත් සමහර නෞකා අපේ රට හරහා මැදපෙරදිගට ගමන් කරනවා. ඒ අයට දැන් මැද පෙරදිගට යන්න බැරි නිසා කොළඹ වරායේ නවතා තබනවා. ඔවුන්ට සහන ලබා දීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන්ගේ බහලුම් රඳවා තැබිමට ස්ථාන කීපයක් ගොඩබිම් ලබාදීම පිළිබඳවද අපි සාකච්ඡා කරමින් සිටිනවා.
සෘජුවම ආර්ථිකයට බලපෑම් කරන ක්ෂේත්රයක් ලෙස තේ අපනයනය කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. විදේශ කටයුතු ඇමතිවරයා මේ වන විටත් ඉන්දියාවේ ඉන්නේ. ඔවුන්ගෙන් මේ සඳහා ලබාගත හැකි සහයෝගයන් පිළිබඳවත් ඔහු සාකච්ඡා කරනවා. අපි අපේක්ෂා කරන මට්ටම වගේම, අපි කිසිසේත් අපේක්ෂා නොකරන මට්ටමට මේ තත්වය වර්ධනය වෙන්නත් පුළුවන්. අපි සුභවාදීව බලාපොරොත්තු වෙනවා, නරකම දේට සූදානම් වෙනවා.
ප්රශ්නය: 208ක පමණ පිරිසක් මේ නෞකාවේ සිටින බව වාර්තා වී තිබෙනවා. ඔවුන් මුදාගැනීමෙන් පසු අනුගමනය කරන ආරක්ෂක ක්‍රියාමාර්ග කෙසේද? ඔවුන් රඳවා තබන්නේ කොතැනකද?
පිළිතුර: ඔවුන් මුදා ගැනීමෙන් පසු වැලිසර නාවික හමුදා කඳවුරටම රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කර ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔවුන් නිසි පරිදි ලියාපදිංචි කරගැනීමකුත් සිදු කරනවා
ප්රශ්නය: මෙම යාත්‍රාව ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කිරීමේ ආරක්ෂක තත්වය කෙසේද ?
පිළිතුර: මේ නෞකාව දැන් අපේ භාරයේ තිබෙන්නේ. මේ යුද්ධයට සම්බන්ධ වූ සෑම පාර්ශවයක්ම ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරාවි කියා අපි විශ්වාස කරනවා. එහෙම කටයුතු කරන්නේ නැත්නම් ජාත්‍යන්තර සම්මුතීන් හා එකඟතාවයන් වලින් ඇත්තටම පලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා එවැනි සිදුවීමක් වෙන එකක් නැහැ කියලා.
ප්රශ්නය: මේ කාර්යයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ලැබී තිබෙන සහයෝගය කෙබඳුද?
පිළිතුර: අපි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්තුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත සමඟ සාකච්ඡා කළා. නමුත් මේ මුදා ගැනීමේ කාර්යය අපේ වැඩක්. අපේ වගකීමක්. එහි දෙවැනි පියවර තමයි මේ සම්බන්ධ බැඳුණු ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ කෙසේදැයි තීරණය කිරීම.
ප්රශ්නය: විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඔබතුමා දෙන පණිවිඩය කුමක්ද?
පිළිතුර: විශේෂයෙන් මේ ගැටුම්කාරී තත්වයට මුහුණ දී තිබෙන රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ට අපි කියන්නේ ඒ රටේ රජයන් විසින් නිකුත් කර තිබෙන නිර්දේශයන්ට අනුව කටයුතු කරන ලෙසයි. දෙවනුව අපේ තානාපති කාර්යාලවල පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන ක්ෂණික ඇමතුම් සේවාවක් තිබෙනවා. ඒ නිසා කුමන හෝ ගැටලුවක් තිබේ නම් ඒ දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී කටයුතු කරන ලෙසත් අපි දැනුම් දෙනවා. මොවුන්ගේ මෙරට ජීවත් වන ඥාතීන්ට හා පවුලේ සාමාජිකයන්ට මේ අය සම්බන්ධයෙන් විමසා බැලීමට අවශ්‍ය නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසා බලන්න. රට පිළිබඳව තිබෙන සුබවාදී දැක්ම, අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ට අනුව රජය අවශ්‍ය කරන පරිපාලන කටයුතු කරමින් සිටිනවා
ප්රශ්නය: තවත් නෞකා මේ ආකාරයට අපේ මුහුදු සීමාවේ හෝ ඒ ආසන්නයේ තිබෙන බවට වාර්තා වෙනවද ?
පිළිතුර: නැහැ එවැනි කිසිම සිදුවීමක් වාර්තා වන්නේ නැහැ
ප්රශ්නය: රටක් ලෙස ඔබතුමා ඇතුළු රජය ගත් මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉරානය ඇතුළු විදේශ රාජ්‍යයන් දරන මතය කුමක්ද?
පිළිතුර: පළමු මුදවා ගැනීමේ කාර්යය පිළිබඳව ඉරානය අපිව ඇගයීමට ලක් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයට ලිපියක් යොමු කර තිබුණා. දැන් තමයි අපි හරියටම අවශ්‍ය මැදිහත්වීම ආරම්භ කර තිබෙන්නේ. අපි විශ්වාස කරනවා අපෙන් කරලද ඉල්ලීම් වලට අනුව මේ සිදු කළ කාර්යය පිළිබඳව ඔවුන් තෘප්තිමත්ව ඇති කියලා.
ප්රශ්නය: යුද්ධය පටන් ගන්න කොටම තෙල් හිඟයක් ඇතිවෙයි කියලා අපේ රටේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් හැදුනා. අපි දැනට ඉන්ධන මිලදී ගනු ලබන්නේ මැද පෙරදිග රටවලින් නොවුණත් දීර්ඝ කාලයක් මෙම යුද්ධය ඇදී ගියොත් අපට ඉන්ධන පිළිබඳ බලපෑමක් වෙනවා නේද?
පිළිතුර: දැනට අපිට එවැනි කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තත්ත්වය ඉතාම උග්‍ර තත්ත්වයට පත්වෙලා තෙල් සැපයුම් මාර්ග වැහිලා ගැටලුවක් මතු වෙනවා නම්, ඒක අපට පමණක් නොවේ ලෝකයටම බලපාන ප්‍රශ්නයක් විය හැකියි. අපිට ඕන තරම් තෙල් ගබඩා කර තබාගන්න බැහැ. අපේ ගබඩා හිස් වන ආකාරයට තමයි අපිට තෙල් ඇනවුම් කර ගෙන්වා ගැනීමට සිදුවන්නේ. ඉතාමත් පළපුරුදු නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරමින් සිටිනවා. එනිසා මේ තිබෙන තත්ත්වයට අපිට ඔරොත්තු දිය හැකියි. මම කලිනුත් කිව්වා වගේ අපි සුබවාදී දේ බලාපොරොත්තු වෙනවා. නරකම දේටත් සූදානම් වෙනවා.















