විදුලි බිල ඉහළ දැමීම: මහජන උපයෝගීතා කොමිෂමෙන් විශේෂ පැහැදිලි කිරිමක්

අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක වන විදුලි බිල වැඩි කිරීමේ දී අඩු පරිභෝජන ගෘහස්ථ පාරිභෝගිකයින්ට අවම වැඩිවීමක් පමණක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා  සඳහන් කළේය.

ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනය කරන නිවාස සඳහා, බිල්පත් මසකට රුපියල් 15කින් පමණක් විදුලිබිල ඉහළ යන අතර, ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන නිවාස සඳහා රුපියල් 45 කින් විදුලි බිල ඉහළ යනු ඇති බව ද සභාපතිවරයා පැවසුවේය.

ඒකක 61 ත් 90 ත් අතර භාවිතා කරන පාරිභෝගිකයින්ට රුපියල් 120ක වැඩිවීමක් සිදුවන අතර, ඒකක 91 සිට 180 දක්වා පරිභෝජනය කරන නිවාස සඳහා රුපියල් 420ක වැඩිවීමකට මුහුණ දීමට සිදුවේ. ඒකක 180 ඉක්මවන ඉහළ පරිභෝජන නිවාස සඳහා 25% ක වැඩිවීමක් සිදුවේ.

මහජන උපයෝගීතා කොමිසම කාලය මත පදනම් වූ ගාස්තු ද සලකා බැලූ බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

“ඒකක 180 ට අඩුවෙන් පරිභෝජනය කරන ආගමික හා පුණ්‍ය ආයතන කිසිදු වැඩිවීමකට මුහුණ නොදෙන අතර, ඒකක 180ට වඩා පරිභෝජනය කරන ආගමික හා පුණ්‍ය ආයතන වල විදුලි බිල  9.6%කින් ඉහළ යනවා. පොදු කාර්ය පාරිභෝගිකයින් 8%කින්, කාර්මික පරිභෝගිකයින් 8.7%කින්, හෝටල් 9.9%කින් සහ රජයේ ආයතන වල විදුලි බිල 14.4%කින් ඉහළ යනවා” සභාපතිවරයා පැවසුවේය.

2026 දෙවන කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මුලින් 13.56%ක වැඩිවීමක් ඉල්ලා සිටිය ද, ප්‍රක්ෂේපිත ඉල්ලුම සහ ඉන්ධන භාවිතය පිළිබඳ සීමිත දත්ත මත පදනම්ව කොමිසම අඩු අනුපාතයක් අනුමත කළ බව ද මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා පැවසුවේය.

ගෝලීය තෙල් මිල ඉහළ යාම මධ්‍යයේ අනාගත ඉහළ යාමක් සම්බන්ධයෙන්, වර්තමාන ප්‍රක්ෂේපණවලට වඩා පිරිවැය 15% ට වඩා ඉහළ ගියහොත්, ලංවිමට නව යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවත්, එය කොමිසම සමාලෝචනය කරන ඇති බවත් මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති මහාචාර්ය චන්ද්‍රලාල් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website