සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 255 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘විගණකාධිපති තනතුර ආශ්‍රයෙන් පවත්නා මතභේදය රාජ්‍ය අංශයේ මූල්‍ය පාලනයේ විනිවිධභාවය කෙරෙහි ඇති කළ හැකි බලපෑම’ යන කාලීන තේමාව යටතේ පැවැත් වූවේය. මෙම කතිකාවේ සම්පත්දායකයින් ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති සම්පත් ඇලපාත, නීතිවේදී චතුමාලි කළුආරච්චි, වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන යන විද්වතුන් සහභාගී වූ අතර මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
- විගණකාධිපති අර්බුදයේ සුලමුල
2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා ලෙස පත් වූ චූලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේ විශ්‍රාම යාමෙන් පසු ගෙවී ගිය මාස අටකට ආසන්න කාලය පුරා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපති ධුරය පුරප්පාඩුව පවතින අතර විගණකාධිපති ධූරයේ වැඩ බැලීම පිණිස ජී.එච්.ඩී. ධර්මපාල මහතා පත්කර ඇති නව, ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට මේ දක්වා රජය පියවර ගෙන නැත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ද ඇතුළුව සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් ජනාධිපතිවරයාට සහ රජයට කරුණු දක්වා හෝ සිය කණස්සල්ල පළ කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටු කරන බවයි.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විගණකාධිපති තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් බාහිර වෙනත් පුද්ගලයෙක් පත් කිරීමට අවස්ථා ගණනාවක දී ව්‍යවස්ථා සභාවට නාම යෝජනා යොමු කළත් ව්‍යවස්ථා සභාව අවස්ථා කිහිපයක දී එම නාම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර අවසාන වරට පසුගිය දෙසැම්බර් 17 වැනිදා ද ජනපතිවරයා විසින් විගණකාධිපති ධූරය සඳහා ඉදිරිපත් කරන ලද නම ද ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළේය.
මාස අටක ආසන්න කාලයක් විගණකාධිපති ධුරය පුරප්පාඩුව පැවතීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ පරිපාලනමය ගැටලු රැසක් නිර්මාණය වි ඇති බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙයි.
- ඉතිහාසය
අතීතයේ “සිලෝන්” නමින් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ වර්තමාන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමය තරම් ඈතට දිවයයි. පවතින වාර්තාවලට අනුව වර්ෂ 1796 දී දිවයිනේ මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයින්ගේ ආධිපත්‍යයට යටත් වීමෙන් වර්ෂ තුනකට පසු 1799 වසර වන විට සෙසිල් ස්මිත් නම් වූ පුද්ගලයෙක් විගණකාධිපති වශයෙන් සේවය කොට ඇත. ඔහුගේ තනතුරු නාමය ගණකාධිකාරී සහ විගණකාධිපති වශයෙන් හඳුන්වනු ලද නමුත් ඔහු ඉටුකළ රාජකාරියේ ස්වභාවය පිළිබඳ නිශ්චිත තොරතුරු හමුවී නොමැත.
වර්ෂ 1806 දී ගිණුම් කටයුතු විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ රාජකාරියෙන් ඉවත් කිරීමෙන් පසු තනතුරු නාමයේ වැදගත් වෙනසක් ඇතිකරනු ලැබීය. එහිදී තනතුරු නාමය සිවිල් විගණකාධිපති වශයෙන් වෙනස් කරනු ලැබීය.
1931 ඩොනමෝර් ව්‍යවස්ථාව මගින් විගණන කාර්යය සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක විස්තර ඇතිව අර්ථකතනය කොට ඇති අතර 1947 දී ඩොනමෝර් ව්යවවස්ථාව වෙනුවට ගෙන ආ සෝල්බරි ව්යථවස්ථාව මගින් විගණන කාර්යභාරය සහ එහි බලතල වඩා පොදු ස්වරූපයකින් ඉදිරිපත් කොට ඇත. නිශ්චිත ප්‍රකාශනයක් වශයෙන් එමගින් විගණකාධිපතිවරයා වෙත විශාල ප්‍රමාණයක විෂය පථයක වගකීම පැවරීම පිළිබඳව සලකා බලා ඇත. මෙම ව්‍යවස්ථා දෙක මගින් විගණකාධිපතිවරයා විසින් රජයේ දෙපාර්තමේන්තුවල ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සලසා ඇති නමුත් පළාත් පාලන ආයතනවල සහ රජයේ සංස්ථාවල ගිණුම් විගණනය කිරීම සඳහා එසේ විධිවිධාන සලසා නොමැත. 1972 දී එතෙක් සිලෝන් නමින් හැඳින් වූ මෙරට ශ්‍රී ලංකා ජනරජය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තුරු මෙම ආයතන පළාත් පාලන ආයතන හා රජයේ සංස්ථාවලට අදාළ නීති විධිවිධාන යටතේ විගණකාධිපති විසින් විගණනය කරන ලදී.
- විගණකාධිපතිගේ කාර්යභාරය සහ වගකීම්
විගණකාධිපති විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධනය සහ ගණන්දීමේ වගකීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සපයන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ, විධායකයේ සහ එහි සේවාදායකයන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් ඉටු කිරීමට මෙන්ම රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ගණන්දීමේ වගකීම සඳහා වටිනාකමක් එකතු කිරීමට අරමුණු කරයි. එබැවින් මෙම ස්වාධීන සමාලෝචනය සියලු ව්‍යවස්ථාපිත සහ වෙනත් නෛතික අවශ්‍යතාවන්ට උචිත බව, එකඟ බව හා අනුකූ ලබව සහ මෙභෙයුම්වල ආර්ථිකභාවය, කාර්යක්ෂමභාවය සහ එලදායිත්වය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ.
- විගණකාධිපතිගේ අධිකාර බලය
රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනය කිරීම සඳහා වූ මූලික අධිකාරී බලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වෙත පැවරී ඇත. විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලුම දෙපාර්තමේන්තුවල ගිණුම් ද, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පළාත් පාලන ආයතන කාර්යාලවල සහ රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම් ද යම්කිසි ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙළඳ ව්‍යාපාරවල හෝ වෙනත් ව්‍යාපාරවල ගිණුම් ද විගණනය කළ යුත්තේය.
විගණකාධිපති වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල පහත දැක්වෙන ව්‍යවස්ථාවන් මගින් සවිස්තර වී හෝ ප්‍රසාරණය වී ඇත.
- රාජ්‍ය සංස්ථා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටස.
- පළාත් සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1987 අංක 42 දරන පළාත් සභා පනත (23 වගන්තිය).
- මහ නගර සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන මහ නගර සභා ආඥා පනතේ (252 අධිකාරිය) 219 වගන්තිය.
- නගර සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 වගන්තිය
- ප්‍රාදේශීය සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1987 අංක 15 දරන ප්රා1දේශීය සභා පනත (172 වගන්තිය)
- ගොවිජන සංවර්ධන සභා සඳහා විගණන ප්‍රතිපාදන සලසන 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන සභා පනත (58 වගන්තිය)
- ක්‍රීඩා සංගම් සඳහා විගණන ප්‍රතිපාදන සලසන 1993 අංක 47 දරන ක්‍රීඩා සංගම් පනත (9 වගන්තිය).
වර්තමානයේ සමාගම් පනත යටතේ සංස්ථාපිත, විශාල රාජ්‍ය ආයෝජන සහිත පරිපාලන අරමුදල් සහ සමාගම් විගණකාධිපතිගේ විෂය පථයට ගැනේ.
කාර්ය සාධනය හා කාර්ය භාරය ඉටු කිරීමේ දී විගණකාධිපතිට කාර්යයන්ට සහාය විමට සුදුසුකම් ලත් විගණකවරුන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වෙත බලතල පැවරී ඇත. තවද විගණනයට අදාල වන කාර්මික, වෘත්තීය හා විද්‍යාත්මක ගැටලු නිරාකරණය කර ගැනීමේ දී අවශ්‍ය වන විශේෂඥ සහාය ලබා ගැනීමට ද ව්‍යවස්ථාවෙන් බලය ලැබේ.
කාර්ය සාධනය හා රාජකාරී ඉටු කිරීමේ දී සියලු පොත්පත් හා වාර්තා, ගබඩා සහ වෙනත් දේපළවලට පිවිසීමට සහ අවශ්‍ය තොරතුරු හා පැහැදිලි කිරීම් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(5) ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිට බලතල පැවරී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(5) ව්‍යවස්ථාව අනුව විගණකාධිපති විසින්, තම කාර්ය සහ කර්තව්‍යය ඉටු කිරීමේදී, සියලු පොත්පත්, වාර්තා, වාර වාර්තා සහ වෙනත් ලියකියවිලි ලබා ගැනීමේ ද, ගබඩා සහ වෙනත් දේපළවලට පිවිසීමේ ද, එකී කාර්ය සහ කර්තව්‍යය ඉටු කිරීම සඳහා අවශ්‍ය විය හැකි තොරතුරු ලබා ගැනීමේ ද, කරුණු පැහැදිලි කරවා ගැනීමේ ද හිමිකම ඇත්තේය.
- ස්වාධීනත්වය
විගණකාධිපතිගේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අතර එහි 153 ව්‍යවස්ථාවෙහි දැක්වෙන පරිදි,
- ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය සහිතව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන අතර යථා පැවැත්මෙන් සිටිනා තාක් ස්වකීය ධූරය දරන්නේය.
- රෝගාතුර විම, ශාරීරික හෝ මානසික දුර්වලතාවය හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමන් අනතුරුව විගණකාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ හැකිය.
- විගණකාධිපතිගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුතු බවත්, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන බවත්, ඔහුගේ ධූර කාලය තුළ එකී වැටුප අඩු නොකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 153 ව්‍යවස්ථාවෙහි තවදුරටත් දක්වා ඇත.
- විගණකාධිපති කිසිදු අමාත්‍යාංශයක හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ හෝ අධීක්ෂණය යටතට නොගැනේ

රාජ්‍ය මූල්‍ය විගණනය සම්බන්ධයෙන් යටත් විජිත පාලනය ඉක්මවා ගිය ඉතිහාසයක් අපට තිබෙනවා සම්පත් ඇළපාත – සභාපති, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය
රාජ්‍ය විගණන ක්‍රියාවලිය ජනතාවගේ පරිමාධිපත්‍ය බලය ශක්තිමත් කරන, අර්ථවත් කරන සහ ඔපනංවන උපකරණයක් ලෙස විස්තර කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඇතුළුව සියලුම ජාත්‍යන්තර ආයතන විසින් පොදුවේ පිළිගන්නා සංකල්පයකි. නමුත් ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් කතිකාවක් නිර්මාණය වී නොමැති අතර විශේෂයෙන් දැනුවත් සමාජය තුළ ද කතිකාවක් සිදු වන බවක් දැක ගත නොහැකිය.
නමුත් වර්තමානය වන විට විගණකාධිපති ධුරය මාස අටකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවැතීම හේතුවෙන් විගණකාධිපති ධුරය සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් යම් ආකාරයක සංවාදයක් ගොඩනැගී තිබීම සතුටට කරුණක් ලෙස සැලකිය හැකිය.
- ඉතිහාසය
රාජ්‍ය මුදල්, නැතහොත් මහා භාණ්ඩාගාරය විගණනය කිරීම සම්බන්ධ ඓතිහාසික විකාශනය පැහැදිලි කළ සම්පත් ඇළපාත මහතා ශ්‍රී ලංකාව තුළ විගණනය හා සම්බන්ධ මුල්ම ලිඛිත ලේඛනය හමුවන්නේ ක්‍රි.ව.1015 හෝ ඊට ආසන්න කාලයක දී හතර වැනි මිහිදු රජු විසින් කරවන ලද මිහින්තලා සෙල් ලිපියේ බව ද හෙළි කළේය.
“රාජ්‍ය මූල්‍ය පාලනය සිදු වුණේ කොහොම ද කියලා මේ සෙල් ලිපිය තුළ ඉතාම පැහැදිලිව සටහන් කරලා තිබෙනවා. මේ ගිනුම්වල සිදුව ඇති අඩුපාඩු මහා සංඝ රත්නය ඉදිරිපිට කියවීමෙන් පසු අදාළ වැරදිකරුවන්ට දඬුවම් ලබාදී තිබෙනවා” හතර වැනි මිහිදු රජු දවස විගණනය සිදු කළ ආකාරය සහ වැරදිලිකරුවන්ට දඬුවම් පනවන ලද ආකාරය පැහැදිලි කරමින් ඇළපාත මහතා කීවේය.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයටත් පෙර සිට ශ්‍රී ලංකාව තුළ ඉතාම ශක්තිමත් විගණන ක්‍රමයක් ක්‍රියාත්මක වූ බව මේ අනුව පැහැදිලි වන බව කී ඇළපාත මහතා විගණනය සම්බන්ධයෙන් වර්තමානය වන විට පවතින ඉහළම ආයතනය ගැන ද පැහැදිලි කළේය.
- ජාත්‍යන්තර ප්‍රමිතීන්
“ඒක තමයි ‘උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර එකමුතුව / International Organization of Supreme Audit Institutions (INTOSAI)’. රටක විගණකාධිපතිවරයාගේ කාර්යභාරය, එසේ නොමැති නම් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා වීම සඳහා පැවතිය යුතු මූලික නිර්ණායකයන් 1977 දී ‘ලීමා ප්‍රකාශනය’ මඟින් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ වගේ 2007 දී ‘මෙක්ෂිකෝ ප්‍රකාශනය’ මඟින් ජාත්‍යන්තර වශයෙන් විගණනයේ ස්වාධීනත්වය ආරක්ෂා වීමට පැවතිය යුතු මූලධර්ම ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඊට අමතරව 2009 දී එක්සත් ජාතීන් විසින් මේ ප්‍රකාශනවලට අනුකූලව තමන්ගේ සාමාජික රටවල රාජ්‍ය මූල්‍ය පාලන ක්‍රියාවලියට අදාළ නෛතික පසුබිම් සකස් විය යුතු බවත්, ඊට අදාළ ක්‍රියාවලීන් ක්‍රියාවට නැගිය යුතු බවත් පිළිගෙන තිබෙනවා. මේ සන්දර්භය තුළ තමයි රාජ්‍ය විගණන ක්‍රියාවලිය සිදුවෙන්නේ” රාජ්‍ය මූල්‍ය විගණනය සම්බන්ධ ජාත්‍යන්තර තත්ත්වය පැහැදිලි කරමින් සම්පත් ඇළපාත මහතා කීවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ මූලික විගණන කටයුතු භාර නිලධාරීයා වන්නේ විගණකාධිපතිවරයා ය. ඔහු පත් කිරීම සම්බන්ධ විධිවිධාන ආ.ක්‍ර.ව්‍ය. 153 ව්‍යවස්ථාවේ සඳහන් වේ. ‘විගණකාධිපතිවරයෙක් වන්නේ ය’ යනුවෙන් එහි සඳහන් වේ.
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන දිනය දක්වා රාජ්‍ය මූල්‍ය විගණනයට අදාළ (147 ව්‍යවස්ථාවේ සිට 154 ව්‍යවස්ථාව දක්වා) නීති කිසිවක් වෙනස් නොවීය. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ‘විගණන සේවා කොමිෂන් සභාව’ පිහිටුවනු ලබන අතර විගණකාධිපතිවරයා පත් කිරීම හා සම්බන්ධ නීතිරීතිවල සංශෝධනයන් ද සිදුවේ.
- විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්යයන් සහ රාජකාරි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (1) වගන්තියේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල කොමිෂන් සභාවට පැවරේ.
153අ (2) වගන්තියේ විධිවිධානයට අනුකූලව, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් බඳවා ගැනීමේ යෝජනා ක්‍රම, පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නීති රීති සම්පාදනය කළ යුතු අතර, ඒ හා සම්බන්ධ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ඕනෑම ප්‍රතිපත්තියකට යටත් වේ.
තව ද ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම, නීතියෙන් විධිවිධාන සලසා ඇති පරිදි වෙනත් බලතල, රාජකාරි සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ ඉටු කිරීම කොමිෂන් සභාවට බලය පවරා ඇත.

-
විගණකාධිපති පත් කිරීම දිගින් දිගටම පමා කිරීම ජාත්‍යන්තරයට දෙන නරක පණිවුඩයක් – නීතිවේදී චතුමාලි කළුආරච්චි
ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතන සංවිධානය (International Organisation of Supreme Audit Institutions – INTOSAI) විසින් සම්මත කරන ලද 1977 ලීමා ප්‍රකාශනයට (Lima Declaration of 1977) අත්සන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට විගණකාධිපතිවරයා පත් කිරීමේ බැඳීමක් තිබෙන අතර මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනිවාර්ය වගකීමක් ලෙස සැලකිය හැකිය. එසේම ශ්‍රී ලංකාව වැනි රටක විගණකාධිපතිවරයාගේ අවශ්‍යතාව කිසිසේත් පහසුවෙන් බැහැර කළ නොහැකිය. 2022 ගොල්ෆෙස් අරගලකරුවන් විසින් ද පසුගිය ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී බහුතර ජනතාව විසින් ද ඉල්ලා සිටියේ රට තුළ අල්ලස, දූෂණය සහ වංචාව නතර කිරීමට නම් ස්වාධීන රාජ්‍ය මූල්‍ය විගණනයක් සිදුවිය යුතු බවය.
- විගණකාධිපතිවරයෙක් අවශ්‍යම අවස්ථාවක්
“විශේෂයෙන් මේ අවස්ථාවේ දී විගණකාධිපතිවරයෙක් නැත්තේ ඇයි කියන කාරණය පැහැදිලි කළොත් ඒක රටේ සමස්ත මූල්‍ය වගවීමේ ක්‍රියාවලියට එල්ල කළ මරු පහරක්. ඒකට හේතුව තමයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට ආපදා තත්ත්වයකට ලක්වෙලා තියෙනවා, මේ වන විට මානුෂීය ආධාර විශාල වශයෙන් රටට ලැබෙනවා, ඒ වගේ පුද්ගලික අංශයෙන්, දානපතීන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් ආධාර වශයෙන් විවිධාකාර රාජ්‍ය ආයතන වලට ලැබෙනවා. මේ තත්ත්වය තුළ ඉතාම සංකීර්ණ මූල්‍ය සංසරණයක් රාජ්‍ය ආයතන තුළ සිදුවෙනවා. සාමාන්‍ය ලෙස කිව්වොත් අපිට හිතා ගන්න බැරි තරම් විශාල මුදල් හා භාණ්ඩ ප්‍රමාණයක් රටට ලැබෙනවා වාගේම රට තුළ සංසරණය වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මකයි. ඒ තුළ හදිසි ප්‍රසම්පාදනවල දී නියමිත ක්‍රියාවලියෙන් තොරව ප්‍රසම්පාදන කටයුතු කරන්න හැකියාව තිබෙනවා. මේ ක්‍රියාවලිය තුළ දූෂණ කටයුතු සිදු වෙනවා කියලා අපි කියන්නේ නැහැ, අපි චෝදනා කරන්නේ නැහැ. නමුත් එවැනි දේවල් වෙන්න තිබෙන අවස්ථාව, ඉඩකඩ සෑහෙන්න වැඩියි. මීට පෙර සිදු වෙලා තිබෙන සිදුවීම් දෙස බලද්දී අපට මේ අවදානම පහසුවෙන් බැහැර කළ නො හැකියි. ඒ නිසා මේ වගේ සංකීර්ණ සහ පුළුල් අවස්ථාවක දි විගණකාධිපතිවරයාගේ අවශ්‍යතාව ඉතාම වැදගත්” විගණකාධිපතිවරයෙක් මේ අවස්ථාවේ දී අත්‍යවශ්‍ය වීමට හේතු පැහැදිලි කරමින් නීතිඥ චතුමාලි කළුආරච්චි පැවසුවා ය.
- ජාත්‍යන්තරයට නරක පණිවුඩයක්
මෙහිදී නීතිඥ චතුමාලි පෙන්වා දුන්නේ හදිසි නීති තත්ත්වය තුළ රාජ්‍ය නිලධාරීන්ට පුළුල් බලතල හා අවස්ථා ලබ දී තිබෙන තත්ත්වයක් තුළ විගණකාධිපතිවරයාගේ අවශ්‍යතාව වෙන කවර අවස්ථාවකටත් වඩා වැදගත් වන බවයි.
“මෙවැනි අවස්ථාවල සිදුවිය හැකි අඩුපාඩු, අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාල හරහා විගණනයන් සිදුවිය යුතුයි. අපි මේ ආකාරයෙන් විනිවිධභාවයකින් කටයුතු කළොත් පමණයි අපට මුදල් ලබා දෙන පාර්ශ්වයන්වලට අපට ලබා දෙන මුදල් හෝ ආධාර සම්බන්ධයෙන් විශ්වාසය වර්ධනය වෙන්නේ”, මෙහිදී ඇය පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම තුළ ස්වාධීන විගණන කාර්යාලයක අවශ්‍යතාව දැඩිව පවතින බවයි.
මේ ආකාරයේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අති විශාල මුදල් හා භාණ්ඩ සංසරණයක් සිදු වන තත්ත්වයක් තුළ විගණකාධිපතිවරයා පත් කිරීමට දිගින් දිගටම කල් මැරීම නරක පූර්වාදර්ශයක් හා පණිවුඩයක් ලබා දෙන බව ඇය දැඩිව අවධාරණය කළා ය.
“එයින් ජාත්‍යන්තරය වටහා ගන්නේ කුමක් ද ? ශ්‍රී ලංකාවට මූල්‍ය විනයක් නොමැති බවත් තව දුරටත් දූෂණයට අවස්ථාව තිබෙන බවත් ඔවුන් කල්පනා කරනවා. දූෂණය විරෝධය, දූෂණය මැඩලීම ගැන කට වචනයෙන් කිව්වට ප්‍රමාණවත් නැහැ. අපි ක්‍රියාවෙන් පූර්වාදර්ශයක් ලබා දිය යුතුයි. ඒ වගේම දූෂණ විරෝධී පනතේ බලතල ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන්ම විගණකාධිපතිවරයෙක් සිටිය යුතුයි. නමුත් මේ අවස්ථාවේ දී දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ වැරදි තත්ත්වයක්. නීතිය තිබුණට වැඩක් නැහැ, ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඒ කියන්නේ දූෂණයට වැට බැඳීම ගැන කතා කළාට වැඩක් නැහැ, දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වන විගණකාධිපතිවරයෙක් නැතිව” විගණකාධිපති ධුරය තව දුරටත් පුරප්පාඩුව පැවතීමේ හානිකර තත්ත්වය නීතිඥ චතුමාලි කළුආරච්චි තව දුරටත් පැහැදිලි කළාය.
මෙහිදී නීතිඥ චතුමාලි පෙන්වා දුන්නේ අලුත් විගණන පනත හරහා විගණකාධිපතිවරයාට වඩාත් පුළුල් හා ශක්තිමත් බලතල ලබාදී ඇති බවයි.
“අලුත් විගණන පනත අනුව විගණකාධිපතිවරයාට ඍජුව අදාළ ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවැනි බලතල මීට පෙර විගණකාධිපතිවරුන්ට තිබුණේ නැහැ” ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.

ජනාධිපතිවරයා මුල සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා – හර්ෂ ගුණසේන, වරලත් ගණකාධිකාරී
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාව දක්වන්නේ ‘විගණකාධිපතිවරයෙක් විය යුත්තේය’ යන්නය. ඒ සමඟ ‘විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණකාධිපතිවරයෙක් විය යුතුය’ යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට විගණකාධිපතිවරයෙකුගේ සුදුසුකම වන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හෝ නීතියෙන් පිහිටු වන ලද වෙනත් වරලත් ආයතනයක හෝ සාමාජිකයෙකු වූ ද ගණකාධිකාරිවරයෙකු වශයෙන් වෘත්තියේ යෙදීම මත ඒ ආයතනය විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූ තැනැත්තෙකි.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද ?
විගණකාධිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇති බලතල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කතිකාවට එක් වූ වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන මහතා එහි නෛතික පදනම මෙසේ පැහැදිලි කළේය, “මේ අවස්ථාවේදී තිබෙන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පමණයි. ඒ අනුව විගණකාධිකාරීවරයා ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු විය යුතුයි. නමුත් 153 (4) අනු ව්‍යවස්ථාවේ තිබෙනවා, විගණකාධිපතිවරයාට සිය ධූරයෙහි කටයුතු කිරීමට නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීමට තැනැත්තෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය’ කියලා. ඒ අනුව විගණකාධිපති ධුරයේ වැඩ බැලීමට යම් තැනැත්තෙකු පත් කළ හැකි වන්නේ ‘විගණකාධිපතිවරයාට සිය ධූරයෙහි කටයුතු කිරීමට නො හැකි වූ විට පමණයි. එයින් අදහස් වෙන්නේ වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත් කරන අවස්ථාව වන විට විගණකාධිපතිවරයෙක් සිය ධූරයෙහි සිටිය යුතුයි. සමහර විට විගණකාධිපතිවරයා අසනීප වෙන්න පුළුවන්, විදේශ සංචාරක නිරතව සිටින්න පුුළුවන්. අන්න එවැනි අවස්ථාවක පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ බලන විගණකාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන්. මම හිතන ආකාරයට මේ වන විට මුල සිටම මේ කොන්දේසිය උල්ලංඝණය වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා මුල සිටම වැඩ බලන විගණකාධිපතිවරයෙක් තමයි පත් කළේ”.
- සුදුසුම කවුද ?
විගණකාධිපතිවරයා පත්කරන ක්‍රියාපටිපාටිය පැහැදිලි කරමින් හර්ෂ ගුණසේන මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විසින් වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස එවකට සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කළ බවයි. ඔහු වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු විය. නමුත් මාස තුනක වැඩ බැලීම් කාලය අවසන් වූ පසු ජනාධිපතිවරයා වරලත් ගණකාධිකාරිවරයෙකු වන එස්.ටී.පී. චන්දන මහතා වැඩ බලන විගණකාධිපතිවරයා වශයෙන් පත් කළේය.
“ඔහුට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පළපුරුද්දක් නැහැ. ඔහුට විගණනය සම්බන්ධ අත්දැකීම් තිබෙන්න පුළුවන් වුණත් ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නො වෙයි. ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලත් නිලධාරීන් සිටිය දී පිටතින් පත් කිරීම එතරම් සුදුසු නැහැ. එවැනි පත් කිරීමක් කළ හැකි වුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිචයක් තිබීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මගේ අදහසේ හැටියට මුදල් අමාත්‍යාංශය වැනි ආයතනයක් විගණනය කරලා පළපුරුද්ද ඇති නිලධාරියෙක් තමයි විගණකාධිපති තනතුරට සුදුසු වෙන්නේ” යැයි කී හර්ෂ ගුණසේන මහතා චන්දන මහතා විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා කළ ඉල්ලීම ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය.
ව්‍යවස්ථා දායක සභාව විසින් චන්දන මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යළිත් ධර්මපාල ගම්මන්පිල මහතා වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස මාස හයකට පත් කරන ලද නමුත් ව්‍යවස්ථා දායක සභාව ජනපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු වශයෙන් ව්‍යවස්ථා සභාව ජනපතිවරයාට දන්වා සිටියේ ‘තව දුරටත් ධර්මපාල ගම්මන්පිල මහතාගේ සේවා කාලය දීර්ඝ කළ නොහැකි බවත් අදාළ තනතුරට ස්ථිර පත් කිරීමක් කරන ලෙසත්ය’.
“මම හිතන ආකාරයට ව්‍යවස්ථා දායක සභාව කළ ඉල්ලීම සාධාරණයි. පසුගිය ආණ්ඩුව කාලේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙනුත් මෙවැනි අර්බුදයක් නිර්මාණය වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාව දිගින් දිගටම වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත් කළත් පසුව ව්‍යවස්ථා දායක සභාව ස්ථිර පොලිස්පතිවරයෙක් පත්කරන ලෙස ජනපතිවරයාට කිව්වා”. හර්ෂ ගුණසේන තව දුරටත් පැහැදිලි කළේය.
- උත්සාහය දිගටම
ජනපති අනුර කුමාර දිසානායක යළිත් වරක් කාන්තාවක් විගණකාධිපති ධුරයට දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් නම් කළත් එම නම ද ව්‍යවස්ථා දායක සභාව විසින් ප්‍රතික්ෂේප කළේය.
“ඇයට ව්‍යවස්ථා දායක සභාවේ බහුතර ඡන්දය ලැබෙන්නේ නැහැ. අවම වශයෙන් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පස් දෙනකුගේ (05) සහයෝගය අදාළ පුද්ගලයාට ලැබිය යුතුයි” යැයි කී හර්ෂ ගුණසේන ධර්මපාල ගම්මන්පිලගේ සහ මෙම නිලධාරිනියගේ නම් ප්‍රතික්ෂේප වීමට ඔවුන්ට යම් යම් චෝදනා තිබීම ප්‍රධාන සාධකය වූ බව කීවේය.
“මම කියන්නේ මෙවැනි දේවල් හරහා අදාළ නිලධාරීන්ගේ නම කැත වෙනවා. මේවා ඔප්පු නොකළ චෝදනා. විගණකාධිපති වීමට මූලික සුදුසුකම වෙන්නේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වීම පමණයි. යම් යම් චෝදනා තිබුණත් ඒවා නුසුදුසුකමක් වෙන්නේ නැහැ. එවැනි චෝදනා තිබියදීත් ඔවුන්ට රාජකාරී කරන්න, සේවයේ ඉන්න පුළුවන් නම් ඔහුට හෝ ඇයට විගණකාධිපති වෙන්න නොහැකියාවක් නැහැ. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අදාළ සුදුසුකම සම්පූර්ණ කරලා තියෙනවා”. විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා දායක සභාව ගත යුතු පියවර සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් හර්ෂ ගුණසේන සඳහන් කළේය.
සටහන – තුෂාල් විතානගේ















