වාර්ගික සමානාත්මතාවය ප්‍රායෝගිකව සැබෑ කරගැනීම – ජෙහාන් පෙරේරා

පළාත් සභා ක්‍රමය නිර්මාණය කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය අපැහැදිලිකමක සහ දෙගිඩියාවකය. ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේ, පළාත් සභා මගින් ජනවාර්ගික ගැටුම විසඳනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

එහෙත්, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට පළාත් සභා විසින් තම අවශ්‍යතා ආරක්ෂා කරන බව හැඟෙන බව ද ජාතික ජන බලවේගය පිළිගත්තේය. මේ නිසා, වඩා හොඳ විකල්පයක් හඳුන්වාදිය හැකිවන තෙක් මෙම පද්ධතිය තබාගැනීමට ජාතික ජන බලවේගය පොරොන්දු විය. මෑතකදී කරන ලද ප්‍රකාශවලදී, රජයේ නායකයන් මෙම මිශ්‍ර පණිවිඩය පුනරුච්චාරණය කර ඇත. පළාත් සභා මැතිවරණ පැවැත්වෙන්නේ කවදාද යන්න පිළිබඳව ද ඔවුන් පැහැදිලි ස්ථාවරයක නැත. වර්තමානයේ, මැතිවරණ පැවැත්වෙන්නේ මැතිවරණ සීමානිර්ණය අවසන් වූ පසුව පමණක් බව රජය පවසයි.

අතීතයේ දී, මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා ආණ්ඩු නැවත සීමානිර්ණය කිරීම නිදහසට කරුණක් ලෙස භාවිත කළේ, දේශපාලන පක්ෂවලට සීමානිර්ණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව එකඟවිය නොහැකි බැවිනි. ජාතික ජන බලවේග ආණ්ඩුව පවසන්නේ වෙනස්කම් කිරීමකින් තොරව සියලු පුරවැසියන්ට එක හා සමානව සැලකීමට තමන් කැමති බවයි. ජනවාර්ගික හා ආගමික සුළුතරයන් මෙය පිළිගෙන ඇත්තේ ඔවුන්ට ආරක්ෂිත බවක් දැනෙන නිසා සහ රජය විසින් ඔවුන් ඉලක්ක කර නොගන්නා බැවිනි. එහෙත් කෙටි කාලීනව, සමාන පුද්ගල අයිතිවාසිකම් වැදගත් සහ සැනසිලිදායක වුවද, ශ්‍රී ලාංකික විවිධත්වය සහිත සමාජයේ ගැඹුරු දේශපාලන අවශ්‍යතා විසඳීමට ඒවා ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාව ශක්තිමත් මධ්‍යම රජයකින් සිංගප්පූරුව මෙන් පවත්වාගෙන යා නොහැක. මන්ද ශ්‍රී ලංකාව තනි නගරයක් නොවන බැවිනි. එය පරම්පරා ගණනාවක් පැරණි විවිධ කලාප, භාෂා, ඉතිහාසයන් සහ අනන්‍යතා ඇති රටකි.

ශ්‍රී ලංකාව කලාපවලට සැබෑ අධිකාරියක් ලබාදෙන නිසි බලය බෙදාගැනීමේ ක්‍රමයක් නිර්මාණය නොකළහොත්, ජනවාර්ගික ගැටුමට – යුද්ධයට පවා හේතු වූ පැරණි ආතතීන් නැවත පැමිණිය හැකිය. එක් ගැටළුවක් නම්, ශ්‍රී ලංකාවේ බොහෝදෙනකුට පළාත් සභා ක්‍රමය පවතින්නේ මන්දැයි නොතේරීමය. ඔවුන් සිතන්නේ එය කුඩා රටකට අනවශ්‍ය අකාර්යක්ෂම දේහයක් බවයි. පළාත්වලට වැඩි බලයක් ලබාදීමෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල බෙදුම්වාදී අදහස් දිරිමත් කළ හැකි බවට ද සමහරු බිය වෙති. පළාත් සභා මැතිවරණ පැවැත්වීම අඛණ්ඩව ප්‍රමාද වීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීමට රජය දක්වන පසුබට වීම, පළාත් සභා ක්‍රමයට විරුද්ධ කණ්ඩායම් ශක්තිමත් කර ඇත. සිංහල ජාතිකවාදී කණ්ඩායමක් වන ජාතික ඒකාබද්ධ කමිටුව, 13 වැනි සංශෝධනය දැන් ‘යල් පැනගොස් ඇති බව පවා පවසා තිබේ.

නොනැසී පවතින අනන්‍යතා

බලය බෙදාහැරීම තවදුරටත් අවශ්‍ය නොවේ යන අදහස ලොව පුරා අප දකින දේ නොසලකා හැරීමකි. තම රටවල් පොහොසත් වූ හෝ වඩාත් දියුණු වූ පමණින් මිනිසුන් තම අනන්‍යතාව නැතිකර ගන්නේ නැත. උදාහරණයක් ලෙස, එක්සත් රාජධානියට තවමත් වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ ඉල්ලීම් සමඟ කටයුතු කිරීමට සිදුවේ. ඒ සෑම කොටසකටම තමන්ගේම ඉතිහාසයක් සහ දේශපාලන අදහස් ඇත. ස්කොට්ලන්තය ධනවත් වුවද සහ එක්සත් රාජධානියේ සෙසු ප්‍රදේශ සමඟ සමීපව සම්බන්ධ වුවද, නිදහස සඳහා ඡන්දය දීමට පවා ආසන්න විය. කැනඩාව ක්විබෙක් ප්‍රාන්තයට භාෂා අයිතිවාසිකම් සහ තමන්ගේම දේශපාලන ආයතන ඇතුළුව ඉහළ මට්ටමේ ස්වයං පාලනයක් ලබාදෙයි. බෙල්ජියම ෆ්ලෙමිෂ් සහ වොලූන් කලාප අතර බලය බෙදාගනී. ස්පාඤ්ඤය බාස්ක් කලාපයේ සහ කැටලෝනියාවේ ස්වාධින අභිලාෂයන් හසුරුවන්නේ කලක පටන්ය. මෙම රටවල් අස්ථාවර හෝ නරක ලෙස පාලනය වන්නේ නැත. ඒවා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වේ. අදාළ ස්ථානවල අනන්‍යතාව වැදගත්ව පවතී නම්, කලාපීය, භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතා ඊටත් වඩා පැරණි හා ශක්තිමත් ශ්‍රී ලංකාවේ එය නිසැකවම වැදගත් වනු ඇත.

මහාවංශය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව සැමවිටම තනි පාලකයකු යටතේ තනි, එක්සත් දේශයක් නොවූ බවයි. දිගු කාලයක් තිස්සේ විවිධ ප්‍රදේශ වෙන වෙනම පාලනය විය. මෙය රටේ ඓතිහාසික මතකයේ කොටසක් වන අතර, එමගින් වර්තමාන මිනිසුන් අනන්‍යතාව ගැන හැඟෙන ආකාරය හැඩගස්වා ඇත. ශ්‍රී ලංකාවට පුරාණ කාලය දක්වා දිවෙන දිගු හා ස්ථර ඉතිහාසයක් ඇත. එසේම ගැඹුරු මූලයන් ඇති ප්‍රජාවන් රැසකට එය නිවහන වේ. සමාන පුරවැසිභාවයට පමණක් ජාතික ගැටළුව විසඳිය නොහැක්කේ මේ නිසා ය. සමාන පුරවැසිභාවය වැදගත් වේ, නමුත් දිගුකාලීන කලාපීය සහ වාර්ගික අනන්‍යතා ඇති රටක එය ප්‍රමාණවත් නොවේ. වාර්ගික සහ ප්‍රජා අනන්‍යතා ශක්තිමත් වන අතර ඒවා සරලව අතුරුදහන් විය නොහැක. කලාප සමඟ බලය බෙදාගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි.

1900 ගණන්වල මැද භාගයේ සිට, බලයට පත් වූ සෑම පාලනයකටම මෙම යථාර්ථය හඳුනාගැනීමට සිදුවිය. 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම කලාපීය බලය බෙදාගැනීමේ අවශ්‍යතාව පිළිගත් පළමු නිල ගිවිසුම විය. මෙය සිදුවූයේ 1956 දී සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත්කිරීමෙන් පසුවය. එය දෙමළ කතාකරන සුළුජාතීන්ට බරපතල ගැටළු ඇති කළේය. එය සිදුවූයේ ඉන්දියාව මැදිහත්වීමට හෝ එල්ටීටීඊය ආරම්භවීමට බොහෝ කලකට පෙරය. අනුප්‍රාප්තික ආණ්ඩු සැමවිටම විසඳුම ගතයුතු දිශාව දැන සිටියේය. ජාතිකවාදී ස්ථාවරය සඳහා ප්‍රසිද්ධ මහින්ද රාජපක්ෂ පවා ’13 වැනි සංශෝධනයෙන් ඔබ්බට’ යෑම ගැන කතාකළේය. එහෙත් කිසිදු ආණ්ඩුවක් සැබෑ රාජ්‍ය පාලකයන් ලෙස ක්‍රියාකිරීමට සහ රටේ දිගුකාලීන අවශ්‍යතාවලට මුල්තැන දීමට කැමති වී නැත. ජාතිකවාදය සහ පැරණි බිය බාධාවක් වී ඇත. මේ නිසා, නායකයෝ ගැටලුව විසඳීමට සහ ශ්‍රී ලංකාවට සාමයේ සහ සංවර්ධනයේ නව යුගයකට යෑමට ඉඩදීමට අවශ්‍ය තීරණ ගැනීමෙන් වැළකී සිටිති.

සමාන පුරවැසිභාවය

පෙර පාලනයන්ට විසඳීමට නොහැකි වූ හෝ විසඳීමට අකමැති වූ ගැටළු සමඟ කටයුතු කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කැමැත්තෙන් සිටින බව පෙන්වා දී ඇත. අයවැයෙන් වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම එක් උදාහරණයකි. මෙම පවුල් පරම්පරා ගණනාවක් තිස්සේ මුහුණ දී ඇති දුෂ්කර තත්වයන් වත්මන් ආණ්ඩුව පිළිගනී. කෙසේවෙතත්, වැටුප් වැඩිකිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. වතු කම්කරුවෝ දුගීවීම නිසා පමණක් නොව, ඔවුන්ගේ වාර්ගිකත්වය සහ ඉඩම් සහ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළ අතීත දේශපාලන තීරණ නිසා ද පීඩා විඳිති. නිදහසින් පසු, වතු කම්කරුවන් මිලියනයක් රජය විසින් පුරවැසිභාවය නොමැති ජනතාවක් බවට පත්කෙරිණි. ඉඩමක් සඳහා ඔවුන්ගේ ඉල්ලීම ජීවත්වීමට, අයිතියක් සහිතව වාසය කිරීමට සහ ගොවිතැන් කිරීමට, මුදලක් උපයා ගැනීම පමණක් නොවේ. එය ගෞරවය, අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් සහ ආරක්ෂිත මූලයන් පැවතීමක් පිළිබඳවය. එමනිසා රජය මෙම ඉතිහාසය හඳුනාගෙන ඉඩම් ගැටලුව සහ මෙම ප්‍රජාවන් පසුපසට ඇද දැමූ දිගුකාලීන දේශපාලන ආන්තිකකරණය යන දෙකම ආමන්ත්‍රණය කරන විසඳුම් නිර්මාණය කළ යුතුය.

මලයියාහ දෙමළ ප්‍රජාවේ අයිතිවාසිකම් හඳුනාගැනීම උතුර හා නැගෙනහිරට කලාපීය බලය ලබාදීමට සමානය. ප්‍රධාන ගැටළුව වන්නේ අනන්‍යතාව, අයිතිවාසිකම් සහ එක් එක් ප්‍රජාවට තමන්ගේම අනාගතය හැඩගස්වා ගැනීමට උපකාර කිරීමේ අයිතිය ලබාදීමයි. උතුර හා නැගෙනහිර බලය බෙදාගැනීම ශ්‍රී ලංකාවේ එක්සත්කමට තර්ජනයක් නොවේ. ඇත්ත වශයෙන්ම, එම එකමුතුව ආරක්ෂා කිරීමට සහ ශක්තිමත් කිරීමට එය උපකාරී විය හැකිය. ශ්‍රී ලංකාව එහි වාසය කරන සියලුම ජනතාවට අයත් බවට හැඟීමක් ඇතිකළ යුතුය. දේශපාලන හා සාමාජීයීය ජීවිතය තුළ රටේ සියලුම ප්‍රජාවන් ඇතුළත් විය යුතුය. බලය බෙදාගැනීම සමාන පුරවැසිභාවය දුර්වල නොකරයි. එය සමාන පුරවැසිභාවය සැබෑ කිරීමට උපකාරී වේ.

පෙර කිසිදු පාලනයකට කළ නොහැකි දෙයක් සාක්ෂාත් කර ගැනීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන් හොඳම අවස්ථාවක් උදාවී තිබේ. ජාතික අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය සඳහා ආණ්ඩුවේ ප්‍රවේශය බොහෝ අය විශ්වාස කරති. දේශපාලන අවදානම ගැන ඕනෑවට වඩා කරදර නොවී නිර්භීත තීරණ ගැනීමට පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් ආසන ද ආණ්ඩුව සතුව ඇත.

මේ වන විට, පළාත් සභා ක්‍රමය සිරවී ඇති අතර නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. 2018 සිට මැතිවරණ පවත්වා නැත. තේරී පත් වූ නියෝජිතයන් වෙනුවට, මධ්‍යම බලයෙන් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් පළාත් පාලනය කරයි. මූල්‍ය බලය ද මධ්‍යම රජය විසින් දරනු ලැබේ. ප්‍රාදේශීය ගැටළු මධ්‍යම නිලධාරීන් විසින් හසුරුවනු ලබන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් බහුතර ප්‍රජාවෙන් පැමිණෙන අතර, ඔවුන් සේවය කරන ජනතාවගේ දෛනික අවශ්‍යතා තේරුම් ගැනීමක් සිදුනොවේ. විශේෂයෙන් ඔවුන් තම භාෂාව කතා නොකරන්න විට එම ගැටලුව උග්‍ර වේ. මෙය 13 වැනි සංශෝධනයේ අරමුණට පටහැනි වන අතර, තීරණ ගැනීම ප්‍රාදේශීය මට්ටමට සමීප කිරීම සඳහා එම සංශෝධනය ගෙනඑන ලදී. සමාන පුරවැසිභාවය සඳහා රජය සැබවින්ම කැපවී සිටින්නේ නම්, දේශපාලන බලය බෙදාගැනීමට ද කැපවිය යුතුය. ජනතාවගේ එදිනෙදා ජීවිතයේදී සමානාත්මතාව සැබෑවිය හැකි එකම මාර්ගය එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website