‘වර්ධනය වන අපරාධ රැල්ල සමාජ ආරක්ෂාව කෙරෙහි ඇති කරන බලපෑම’

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව සංවාද මාලාවේ 263 වැනි කතාව පසුගිය ඉරිදා ‘වර්ධනය වන අපරාධ රැල්ල සමාජ ආරක්ෂාව කෙරෙහි ඇති කරන බලපෑම යන තේමාව යටතේ පැවැත්වුණේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්තිය පිළිබ අධ්‍යයන අංශයේ මහාචාර්ය නෙරංජි විජේවර්ධන මහත්මිය සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සම්බන්ධ වූ අතර මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් කතිකාව මෙහෙයවීම කළේය. මෙම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශ සංකීර්ණය පිහිටි අකුරේගොඩ අධි ආරක්ෂිත කලාපය තුළ දී පසුගිය 15 වැනිදා නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර ඝාතකයින්ට නිදහසේ පළා යාමට අවස්ථාව උදාවීම  සමාජය තුළ යළි කම්පනයක් ඇති කළේය. මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඉතා කෙටි කාලයක් තුළ පොලිසිය විසින් කළ ඇතැම් කරුණු හෙළි කිරීම් එම සමාජ කම්පනය තීව්‍රර කළේය. මේ ඝාතනය සමඟ වසර 13කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය 17 වැනිදා සිය මහා සභාව රැස් කළ අතර 18 වැනිදා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට පියවර ගත්තේය.

‘අකුරේගොඩ ද්විත්ව ඝාතනය’ ජනමාධ්‍ය විසින් නාමකරණය කළ මෙම ද්විත්ව ඝාතනය මෑත ඉතිහාසයේ ඇති වූ ‘එකම’ ඝාතනය නොවුණත් නීතිඥ ප්‍රජාව වෙතින් සිය වෘත්තීය ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන ලද බලපෑම හේතුවෙන් මෙම ද්විත්ව ඝාතනය ‘තවත් එක ඝාතනයක්’ හෝ ආණ්ඩුව මෙවැනි අවස්ථාවක පුනරුච්චාරණය කරන ආකාරයට ‘හුදකලා සිදුවීමක්’ නොවී සමාජය තුළ, දේශපාලනය තුළ යම් කම්පනයක් ඇති කළේය. ‘වර්ධනය වන අපරාධ රැල්ල සමාජ ආරක්ෂාව කෙරෙහි ඇති කරන බලපෑම’ සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් යළි ඇති කළේය, පසුගිය වසර තුළ සිදු වූ 100කට අධික වාර්තා වූ ඝාතන වෙනුවෙන් යුක්තිය සහ යළි එවැනි ඝාතන සිදු නොවීම, ඝාතන සංස්කෘතියට තිත තැබීම ආදි සටන් පාඨවලට යළි ජීවය, නැතහොත් උත්තේජනය ලබා දුන්නේය.

අපරාධ රැල්ල පාලනයේ දී පාර්ශ්ව ගණනාවක සාමූහික සහාය අවශ්‍යයි – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

අපරාධ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන ප්‍රකට නීතිඥයෙකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සිය වෘත්තිය අත්දැකීම් සහ සමාජ – දේශපාලන සංවේදීත්වය මත පදනම් වර්ධනය වන අපරාධ රැල්ල සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් කළේය. වත්මන් රජය සහ පොලිසිය ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර  පොලිසිය හුදු ජනප්‍රියත්වය වෙනුවෙන් වෘත්තීයභාවයකින් තොරව කටයුතු කරන ආකාරය දැඩිව විවේචනය කළ මෛත්‍රී ගුණරත්න මහතා, මෙවැනි තත්ත්වයක් තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර පිටුදකින්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය. මෙහි දී මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දුන්නේ මෙම ගැටලුව වෙනුවෙන් පොලිසිය පැහැදිලිව මැදිහත් විය යුතු බවයි.

“මේ ප්‍රශ්නයේ දී පොලිසිය ඍජුව සහ සක්‍රීයව මැදිහත් විය යුතුයි. රතු වරෙන්තු තිබෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න පොලිසිය හැකියාව තිබෙනවා. ආණ්ඩුවේ සහයෝගය සහ අදාළ රටවල් වල තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාල වල සහයෝගය ලබා ගෙන රතු වරෙන්තුකරුවන්ව යළි මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය හැකියාව තිබුණත් පොලිසිය ඒක කරන්නේ නැහැ. පොලිස්පතිවරයගෙන් වුණත් අවශ්‍ය වගකීම ඉටුවන බවක් දකින්නට නැහැ” මෛත්‍රී ගුණරත්න මහතා පෙන්නා දුන්නේය.

  • ජාතික ආරක්ෂාව

ඝාතන හෝ අපරාධ රැල්ල ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට රජය පාර්ශ්වයෙන් කරන ප්‍රකාශ ජනාධිපති නීතිඥවරයා දැඩිව බැහැර කළේය. ඔහු මෙහිදී පෙන්නා දුන්නේ රට තුළ සිදුවන ඝාතන සහ අපරාධ සංචාරක ව්‍යාපාරය, විදේශ ආයෝජන ද ඇතුළුව රටේ සමස්ත ප්‍රතිරූපයට හානිකර ලෙස බලපාන බවයි.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කළේ ජාතික ආරක්ෂාව සහතික නොකළ රටකට සංචාරකයින් සහ විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම අභියෝගාත්මක බවයි.

“ආණ්ඩුව කියනවා මේ ඝාතනවලින් ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නැහැ කියලා. මේක සම්පූර්ණ බොරුවක්. මෙවැනි ඝාතන, අපරාධ ඍජුව ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම සංචාරක ව්‍යාපාරය, විදේශ ඍජු ආයෝජන ආදියට හානි කරනවා. රටේ සාමය කඩවන සෑම අවස්ථාවක්ම ජාතික ආරක්ෂාවට ඍජු තර්ජනයක්. මේවා දිහා රටේ ජනතාව පමණක් නොවෙයි, විදේශ මාධ්‍ය, තානාපති කාර්යාල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන බලා ගෙන සිටිනවා. රටේ ආරක්ෂාව සහතික කරලා නැතිනම්, තැන තැන ඝාතන, අපරාධ සිදුවෙනවා නම් රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද ?. ස්වභාවිකව වර්ධනය වෙන, රාජ්‍ය මැදිහත් වීමකින් තොරව දියුණු වන සංචාරක ව්‍යාපාරයට මේ ඝාතන සහ අපරාධ ඍජුව බලපානවා. විශේෂයෙන් වඩාත් ධනවත් සංචාරකයින් ආකර්ෂණය කර ගන්න ක්‍රියාත්මක වන උත්සාහයන්ට මේ අපරාධ රැල්ල කිසිසේත් යහපත් නැහැ. ඉතාම පැහැදිලිව මේ අපරාධ රැල්ල රටේ සංවර්ධනයට වගේම සමස්ත යහපැවැත්මට අහිතකර බව මම පැහැදිලිව කියනවා”. මෛත්‍රී ගුණරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • වගකීම කාගේ ද ?

අපරාධ රැල්ල මර්දනය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ශ්‍රී ලංකා පොලිසියට හිමිවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ද මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇති බව සඳහන් කළේය.

මෙහි දී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම ඇතුළු මෑත කාලීන ඝාතන කිහිපයක් උදාහරණයට ගනිමින් ඔහු අවධාරණය කළේ පසුගිය කාලයේ සිදු වුණ ආන්දෝලනාත්මක ඝාතන රැසක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ‘ප්‍රමාණවත්’ පියවර ගෙන නොමැති බවයි.

“මේ කටයුතු අඛණ්ඩව ප්‍රමාද වෙනවා නම් නීතිපතිතුමා මේවා ගැන අගවිනිසුරුතුමා සමඟ සාකච්ඡා කර සුදුසු පියවර ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කිරීම තුළින් මේ නඩු කඩිනමින් විසඳීමට පියවර ගන්නේ නම් අපරාධකරුවන් තුළ භීතියත් පුරවැසියන් තුළ විශ්වාසයත් ඇති වෙනවා” මෛත්‍රී ගුණරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

  • ජනමාධ්‍යවල භූමිකාව

අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය දීර්ඝ කාලයක් පුරා දැඩිව විවේචනයට ලක් වේ. මෛත්‍රී ගුණරත්න මහතාට අනුව අපරාධ මර්දනයේ දී ජනමාධ්‍ය සතු භූමිකාව සුවිශේෂ වන අතර එම භූමිකාව ගැටලු සහගත ද වේ. විශේෂයෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ ඝාතන සම්බන්ධ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය ඔහු ‘දැඩිව’ හෙළා දැක්කේය.

“ඇතැම් ජනමාධ්‍ය මේ අපරාධකාරයින්ව චිත්‍රපට තරු බවට පත්කරනවා. අපරාධකාරයෝ උසාවියට ගේන එක War Films වල වාගේ තමයි විකාශනය කරන්නේ. මේ අපරාධකාරයින්ව සුපිරි තරු බවට පත්කරන වාර්තාකරණයක් තමයි දැන් සිද්ධ වෙන්නේ. හැන්දෑවේ ප්‍රවාත්ති වල මේවා විකාශනය කරනවා. මේවා බලන ගම්වල ඉන්න කොල්ලෝ මොකද කරන්නේ ?, ඔවුන්ගේ විරයින් බවට මේ අපරාධකාරයින් පත්වෙනවා. අපරාධකරුවන් නොවන තරුණයින් පමණක් නෙමෙයි සුළු අපරාධකරුවෝ පවා මේ වාර්තාකරණය හරහා උත්තේජනයට පත්වෙනවා. ඔවුන් තුළ අපරාධමය චර්යා උත්තේජනය වෙනවා. මේ අපරාධකාරයෝ වාගේ රූපවානිහියේ මූණ දාගන්න, නිතර නිතර නම කියවා ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා ජනමාධ්‍යවලට මම කියන්නේ මේ වාර්තාකරණය නතර කරන්න. අපරාධකාරයින්ට මේ වගේ ප්‍රසිද්ධියක් හෝ සමාජ අවධානයක්, විශේෂයෙන් තරුණයින්ගේ අවධානයක්, ආකර්ෂණයක් ලබා දිය යුතු නැහැ. ගම්වල ඉන්න පුංචි පුංචි අපරාධකාරයෝ ‘පාතාල නායකයෝ’ පත් කළ යුතු නැහැ” මෛත්‍රී ගුණරත්න මහතා අපරාධය ප්‍රවර්ධනය කරන, අපරාධමය මානසිකත්වය උත්තේජනය කරන මාධ්‍ය භූමිකාව අවසන් කරන ලෙස ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කළේය.

“මේ අපරාධකාරයින්ව ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කිරීම නතර කළ යුතුයි. ජනමාධ්‍ය ආයතන එවැනි පියවරක් ගන්නේ නම් මේ අපරාධ රැල්ල පාලනයට යම්කිසි ආකාරයකින් පහසුවක් වෙයි කියලා මම හිතනවා” මෛත්‍රී ගුණරත්න මහතා කීවේය.

ශ්‍රී ලංකාව වර්තමානයේ අපරාධ රැල්ලකට මුහුණ දී සිටී නම් හෝ එය සමස්ත සමාජ හා ආර්ථික දේහය ඛාදනය කරන්නේ නම් එම වරද නිවැරදි කිරීමේ වගකීම ද අපරාධ පාලනය සහ මර්දනය වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනය වෙතම පැවරේ. එපමණක් නොව අපරාධවලට ඇති බිය සෑම බියකටම වඩා ප්‍රබල වන අතර අපරාධවලින් සිදුවන හානිය ද සෙසු සියලු හානිවලට වඩා ප්‍රබලය. එසේම අපරාධවල පිරිවැය අනෙක් සියලු පිරිවැය වලට වඩා ප්‍රබලය.

“මම මෙහෙම කියන්න හේතුවක් තිබෙනවා, ඒක තමයි අපරාධවලින් සමාජය තුළ ඇති කරන සංකූලතා සමහර විට මුළු ජීවිත කාලය පුරාම ඉතිරි වෙනවා. එ වගේම අපරාධවලින් යම්කිසි පුද්ගලයෙක් වින්දිතභාවයට පත්වෙනවා නම් ඒක අප සියලු දෙනාම වගකිව යුතු තත්ත්වයක්. මේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් පමණක්ම නොවෙයි. නිවසින් එළියට බැස්සට පස්සේ යළි නිවසට ඒම ගැන සැකයක් ඇති වන තරමට සමාජය ව්‍යාකූල වෙලා තිබෙනවා නම් ඒ ව්‍යාකූලතාවය එක පැත්තකින් අපේ ශ්‍රම ඵලදායීතාවයට ප්‍රබල බලපෑමක් කරනවා. ඒ වගේම ලෝකයේ කිසිම රටක් අපරාධ නැත්තටම නැති කරලා නැහැ.  එක්සත් ජනපදය වැනි දියුණු රටවල අපරාධ සිදුවෙනවා. බරපතළ ලෙස අපරාධ සිදුවෙනවා. නමුත් අපරාධ මර්දනයේ දී ඔවුන්ගේ භාවිතය අපට වඩා වෙනස්, අගය කළ යුතු තත්ත්වයක තිබෙනවා“ කතිකාවට ආරම්භයක් ගනිමින් මහාචාර්ය නෙරංජි විජේවර්ධන පැවසුවාය.

  • පොලිසියේ කාර්යභාරය

පොලිසිය සිටින්නේ දේශපානඥයින් ආරක්ෂා කිරීමට නොව රාජ්‍යය තුළ සාමය පවත්වා ගෙන යාමට බව පෙන්වා දුන් මහාචාර්ය විජේවර්ධන ජනතාව ද පොලිසියෙන් පුළුල් කාර්යභාරයක් සහ සේවාවක් අපේක්ෂා කරන බව සඳහන් කළාය.

“නමුත් මේ තරම් පුළුල් කාර්යභාරයක් පැවරී ඇති ආයතනයක් එය නිසි පරිදි ඉටු නොකරනවා නම් එයින් ම අදහස් වන්නේ සමාජය තුළ ජීවත් විමට නුසුදුසු පරිසරයක් නිර්මාණය වෙලා තිබෙන බවයි. මේ තත්ත්වය සමාජ සංහිඳියාවට, මානසිකත්වය සහ රටේ සංවර්ධනයට කිසිසේත් හිතකර නැහැ, එය බරපතළ හානිකර තත්ත්වයක්, අතිෂයින්ම නිශේධනාත්මකයි” මහාචාර්ය නෙරංජි පැවසුවාය.

මෙහි දී ඇය පෙන්වා දුන්නේ ආර්ථික සංවර්ධනය පමණක් රටක සංවර්ධනය ලෙස සැලකිය නො හැකි බවයි.

“පාසලක් ඉදිකරන්න වැය කළ යුතු මුදල අපි අපරාධ මර්දනය කරන්න වැය කරනවා. ජනතාව මිල දී ගන්න හාල්මැස්සෝ ටිකෙන්, කිරිපිටි පැකැට්ටුවෙන් අයකර ගන්න බද්දත් මේ අපරාධ මර්දනයට වැය කරනවා. ඒ කියන්නේ ජනතාව අපරාධ මර්දනය කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවලා ඉවරයි. ඒත් ඔවුන් කොතරම් මිලක් ගෙවුවත් ඒ මිලේ ප්‍රතිලාභයක් ඔවුන්ට නොලැබෙනවා නම් ඒක යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකියි. පාරට බැස්ස මනුස්සයට අපරාධ බියකින් තොරව ජීවත් වෙන්න අවස්ථාව නැතිනම්, ‘ඇත්තටම අපි සුරක්ෂිත ද ’ කියලා සැකයක් ඇති වෙනවා” යැයි කී මහාචාර්ය නෙරංජි විජේවර්ධන සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම අන් කවරදාටත් වඩා වර්තමාන සමාජය අත්විඳිමින් සිටින බව පෙන්වා දුන්නාය.

  • ඇති තරම් කතා කළා

මෙහිදී මහාචාර්ය නෙරංජි පෙන්වා දුන්නේ අපරාධ මර්දනය වෙනුවෙන් ජනතාව දේශපාලනඥයින්ට ඇති තරම් වේදිකා තනා දී අවසන් බවයි. පසුගිය කාලය පුරාම මේ ගැන දිගින් දිගටම කතා  කළ බව සිහිපත් කළ ඇය අද සමාජය අපරාධ සම්බන්ධ භීතියකින් පසුවන්නේ මෙකී අපරාධ මර්දනය වෙනුවෙන් ‘නිසි’ යාන්ත්‍රණයක් නොමැතිකම නිසා බව ද අවධාරණය කළාය.

ඇතැම් අවස්ථාවල මේ වෙනුවෙන් විවිධාකාරයේ යාන්ත්‍රණ බිහි කළ බව පෙන්වා දුන් අය ‘කාලයෙන් කාලයට එම යාන්ත්‍රණ ද දේශපාලනීකරණයට ලක් වූ බව’ කීවාය.

යම්කිසි ආකාරයකින් සමාජ – දේශපාලන අවධානය දිනා ගන්නා හෝ වැදගත්කමක් දරන අපරාධයක් සිදු වූ විට ක්ෂණිකව සමාජ සංවාදයක් නිර්මාණය වන නමුත් ඉතා කෙටි කාලයකින් තවත් මාතෘකාවක් කරළියට පැමිණි විට පෙර කී සමාජ අවධානය ක්ෂණිකව ගිලිහී යන බවට මහාචාර්ය නෙරංජි මෙහි දී චෝදනා කළාය.

“මීට කාලයකට පෙර අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු ඇති වෙන විට අපි සමස්ත පාසල් පද්ධතිය පුරාම ක්ෂණිකව දැනුවත් කිරීම්, පරීක්ෂා කිරීම් කළා. මුළු සමාජයම මේ ගැන උනන්දු වුණා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ සීමිත කාලයකට පමණයි. වර්තමානය වන විට මේ ගැන කිසිම අවධානයක් සමාජය තුළ නැහැ, ආණ්ඩුව හෝ මේ වැඩසටහන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසියට නැහැ” මෙහි දී මහාචාර්ය නෙරංජි චෝදනා කළේ මෙවැනි අවස්ථාවල හරසුන්, ප්‍රායෝගිකත්වයෙන් තොර සංවාද’ මවමින් කටයුතු කිරීම තත්ත්වය තව දුරටත් ව්‍යාකුලත්වයට පත්කරන අතර තත්ත්වයක් සංකීර්ණත්වයට පත්කරන බවයි.

“අපි කෙටි කාලීන, ක්ෂණික සහ ආකර්ෂණීය ප්‍රචාරකවාදී වැඩසටහන් දියත් කරනවා මිස දිගුකාලීන ප්‍රතිපත්තිමය තීන්දු මත ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් වෙත යොමු කරන්නේ, ඉලක්ක කරන්නේ නැහැ. එ් වගේම මේ ගැටලුවේ තරම මනාව වැටහුණත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට, කැපවීමට අවශ්‍ය උනන්දුවක් අප සතුව නැහැ. මේ මැලිකම තුළ තිබෙන්නේ දේශපාලන යාන්ත්‍රණය රැක ගැනීම ද, එසේ නොමැති නම් වෙනත් පාර්ශ්වයකගේ සුභසිද්ධිය වෙනුවෙන් නිහඬව සිටීම ද කියලා වටහා ගන්න බැහැ” මහාචාර්ය නෙරංජි විජේවර්ධන තර්ක කළාය.

  • දීර්ඝ කාලීන සටනක්

1978 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන් සමයේ සිට ඊට පෙර ඇසීමට පවා නොලැබුණු විවිධාකාර අපරාධ රට තුළ වර්ධනය වූ බව ඇය පෙන්වා දුන්නාය.

“උදාහරණයක් ලෙස අපේ විස්කෘත පවුල තුළ ළමා අපයෝජන ආගන්තුක වචනයක්. නමුත් සමාජ නවීකරණය, නාගරීකරණය, න්‍යෂ්ටික පවුල ජනප්‍රිය වීම තුළ, ගෝලීයකරණය, තොරතුරු සමාජය තුළ, සමාජය විවෘත වීම තුළ ළමා අපයෝජන ද ඇතුළුව විවිධාකාර අපයෝජන සහ විකෘතිතා සාමාන්‍යකරණය වුණා” යැයි පෙන්වා දුන් මහාචාර්ය නෙරංජි වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙරට සමාජය තුළ මැනවින් ක්‍රියාත්මක වූ අපරාධ යුක්ති යාන්ත්‍රණයක් ස්ථාපිතව පැවැති බවයි.

“අද අපරාධ විද්‍යාවේ භාවිතා කරන පුළුල් සංකල්ප මුලින්ම සමාජගත කළේ අපේ ගැමියා. ඔහු කිව්වා, ‘පුහුල් හොරා කරෙන් දැනේ’ කියලා. අද මේ සංකල්පය ජාත්‍යන්තර තලයේ ඉහළින්ම කතා කරන අපරාධ විද්‍යාවේ දියුණු සංකල්පයක්. නමුත් කාලයක් එක්ක අපේ සමස්ත සමාජ, ආර්ථික දේහය දේශපාලනීකරණය වීමත් එක්ක මේ දියුණු ස්වාධීන යාන්ත්‍රණය දුර්වල වුණා. සමහර විට එය අක්‍රීය වීමේ තත්ත්වයක් පවා අපට හඳුනා ගන්න පුළුවන්” මහාචාර්ය නෙරංජි පැවසුවාය.

  • අපරාධවල පිරිවැය

“මගේ තර්කය තමයි බොහෝ අවස්ථාවල අපරාධවලින් මවන පිරිවැය ගණනය කරන්න බැහැ. අපරාධවලට දඬුවම් දීමට බන්ධනාගාර ගත කිරීම, පුනරුත්ථාපනය කිරීම වාගේ දේවල් වල අපේක්ෂිත අරමුණු ඉටු වුණා ද කියලා අපට යළි සලකා බලන්න සිදුවෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි නැවත නැවත අපරාධ කරන ප්‍රවණතාව වර්ධනය වීමත්, පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් බන්ධනාගාර ගත කරන පුද්ගලයින් ඒවා තුළ දී අපරාධ කල්ලි සමඟ යළි සම්බන්ධ වෙලා පෙර කළාට වඩා බිහිසුණු අපරාධ කිරීමට යොමු වීම, තාක්ෂණික අපරාධවලට යොමු විම. අද වන විට සිවිල් සමාජය තුළ, මහ දවාලේ බිහිසුණු අපරාධ වෙනවා නම්, අපරාධ මර්දනය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින් එහි වින්දිතයින් සහ චූදිතයින් බවට පත්වෙනවා නම් අපි මොකක්ද කරන්නේ ?, මෙවැනි තත්ත්වයක් තුළ අපට අහන්න තියෙන්නේ ‘වැටත් නියරත් ගොයම කා නම් – කාට පවසම් ඒ අමාරුව’ කියන අපේ ජනප්‍රිය ගැමි කියමනයි” මහාචාර්යවරිය වැඩි දුරටත් පැවසුවා ය.

මෙහි දී මහාචාර්ය නෙරංජි විජේවර්ධන තර්ක කළේ බන්ධනාගාර ගත කිරීම්, සංඛ්‍යා ලේඛන, දත්ත වලින් හෝ පොලිස් ප්‍රකාශවලින් අපරාධ මර්දනය සිදු නොවන බවයි. නැතහොත් අපරාධ මර්දනයට විසඳුම් නොලැබෙන බවයි.

  • දත්ත සහ අපරාධ මර්දනය

“යම්කිසි ආකාරයකින් දත්ත වලින් අපරාධ මර්දනයේ සාර්ථකත්වයක් දැක ගන්න පුළුවන් නම් අපි ඔවුන්ගෙන් පෙරළා ප්‍රශ්න කළ යුතුයි අපරාධ මේ තත්ත්වය දක්වා වර්ධනය වුණේ කාගේ වරදින් ද ? කියලා. මගේ තර්කය තමයි අපරාධ කියලා කියන්නේ සෑම අවස්ථාවකම භීතිය ජනනය කරන එකක්, අපරාධ කියලා කියන්නේ කිසිම අවස්ථාවක අපි අහන්න කැමැති වචනයක් නොවන බවයි. අපි මේ අහන්න අකමැති වචනය තුළ, අපි ගරු කරන, රැක ගැනීමට කැමති සමාජ ධර්මතාවයන් බිඳ වැටුණු පසු මානව සමාජයට පවතින්න බැහැ. ඒකට හේතුව තමයි මේ අපරාධ හරහා ඔවුන්ගේ සමස්ත වටිනාකම් සහ සතුට විනාශ වෙනවා”

මෙහි දී මහාචාර්ය නෙරංජි කීමේ පසුගිය යුධ සමයේ පැවති තත්ත්වයට වඩා පවුල තුළ, දෙමාපියන් තුළ අවධානම් හැඟීමක් නිර්මාණය වී තිබෙන බවයි. තම දරුවා, සහෝදරයා හෝ ස්වාමිපුරුෂයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, මත්ද්‍රව්‍ය කල්ලිවලට සාමාජිකයෙකු වීම හෝ ගොදුරක් වීම ගැන සමස්ත සමාජය තුළ වෙන කවරදාවත් නොවූ ආකාරයේ භීතියක් ඇති බව මහාචාර්ය නෙරංජි පැහැදිලි කළාය.

“එපමණක් නොවෙයි ඝාතනයක් සිදුවන අවස්ථාවක ඒ ආසන්නයේ සිටීම හෝ එහි සාක්ෂිකරුවෙකු වීම නිසාම අදාළ පුද්ගලයාත් ගොදුරක් බවට පත්වෙන්න පුළුවන් කියන බිය ජනක පරිසරය වර්තමාන සමාජය තුළ තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපි ආර්ථික සංවර්ධනය ගැන පුරසාරම් දොඩනවා නම් ඒ සංවර්ධනය ගැන යළි සලකා බලන්න වෙනවා”.

මෙහිදී මහාචාර්ය නෙරංජි විජේවර්ධනගේ අදහස වූයේ අපරාධ මර්දනය සම්බන්ධයෙන් දිගු කාලීන මෙන්ම තිරසාර විසඳුමක් අවශ්‍ය බවයි. මෙහි දී පසු විපරමක් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඇය ‘කිසිම රජයක් මේ ගැන පසුවිපරමක් කිරීමට අකමැති ඇයි කියන ප්‍රශ්නය’ පර්යේෂකයින් ලෙස, ක්ෂේත්‍රය තුළ කටයුතු කරන විද්වතුන් ලෙස තමා ද ඇතුළු විද්වත් ප්‍රජාව තුළ තිබෙන බව ද කීවාය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website