වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය

වයස අවුරුදු 12ට අඩු පාසල් සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවත් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය. “වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ යෝජනාවක් රජය යෝජනා කර ඇති අතර, සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම තහනම් කිරීමට ද සැලසුම් කරමින් සිටිනවා. ජාත්‍යන්තරව බොහෝ රටවල් පාසල් සිසුන්ට සමාජ මාධ්‍ය තහනම් පනවා ඇති අතර, ශ්‍රී ලංකාව තුළ ද එවැනි නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා.

මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හේතුව සමාජ මාධ්‍ය භාවිතය හරහා දරුවන් විවිධ දුරාචාර සිදුවීම්වලට නිරාවරණය වීම සහ ඔවුන්ට එරෙහිව සයිබර් අපරාධ චෝදනා වැඩිවීමයි.  දරුවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීති හඳුන්වා දීමට ද අමාත්‍යාංශයට අනුමැතිය ලැබී තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව, 2025 වසරේ පමණක් ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 10,455ක් ලැබී තිබෙනවා. ඒ අනුව, ලිංගික හිංසනය, ලිංගික අපයෝජනය, සයිබර් ප්‍රචණ්ඩත්වය, නව යොවුන් වියේ ගැබ් ගැනීම්, සියදිවි නසා ගැනීමට තැත් කිරීම් ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. දෙමව්පියන් වයස අවුරුදු 5ට අඩු දරුවන් අතහැර දමා විදේශගත වීම සම්බන්ධයෙන් පැමිණිලි නවයක් ලැබී ඇති බව ද ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.

මෙම පසුබිම තුළ, අනාගත පරම්පරාවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් එවැනි සීමාවන් අවශ්‍ය බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website