වනජීවි නිලධාරීන් කරන ලද විශේෂ වැටලීමකදී අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපු මහතා ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මහත්මිය අද (22) නියෝග කළාය.
සැකකරුට රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි 2026 වසරේ ජනවාරි මස 22 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළාය.
මෙසේ ඇප මත මදා හැරියේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියේ කපු මහතා ලෙස කටයුතු කරන අනුරාධපුර විහාරපාලුගම, විහාර කල්ලංචිය, නිවාස පනහ පදිංචි බෝධියාගේ ජයවර්ධන නොහොත් මංජු නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් නොකරන ලෙසට ද සැකකරුට තරයේ අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සමඟ අත් අඩංගුවට ගත් විවිධ වන සතුන්ගේ මස් කොටස්වල සාම්පල ජාතික සත්වෝද්‍යානයට යවා ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසට ද වනජීවී නිලධාරීන්ට නියෝග කළාය.
සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ගල් ඉබ්බන් පශූ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර සුදුසු ස්ථානයකට මුදා හරින ලෙස ද ඇය වැඩි දුරටත් නියෝග කළාය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ සැකකරුට එල්ල කර ඇති සියලු චෝදනා ඇප ලබා දිය හැකි ඒවා බවයි. මහජන කැළඹීමක් ඇති බවට පොලිසිය වාර්තා කර නැති බව කියා සිටි නීතිඥවරයා ඒ අනුව ඇප පනතේ 14 ව වගන්තිය ප්‍රකාරව සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට ද ඉල්ලා සිටියේය.
වනජීවි නිලධාරීන් විසින් පසුගිය දා කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ සැකරු අත්අඩංගුවට ගෙන තිබුණේය.











