
දුමින්ද නාගමුව – ප්රචාරක ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය
- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතර වන ජාතික සමුළුව පසුගිය දා පැවැත් වුණා. මෙවර සමුළුවේ විශේෂත්වය කුමක් ද ?
පසුගිය මාර්තු 01 වැනි දා අපි අපේ පක්ෂයේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතර වන ජාතික සමුළුව පැවැත්වූවා. ‘පංතියට බලය – බලයට පක්ෂය’ කියන තේමාව යටතේ තමයි මෙවර සමුළුව පැවැත් වුණේ. අපි මෙම තේමාවෙන් අපි අදහස් කළේ, මේ වෙලාවේ රට තුළ පංති බල මාරුවක් සිදු වෙලා නැහැ. නමුත් සාමාන්‍ය ජනතාව අතර අදහසක් තිබෙනවා ‘නිර්ප්‍රභූ කණ්ඩායමක්’ බලයට පත් වුණා කියලා. නමුත් ඉතාම පැහැදිලිව පේනවා ඔවුන්ගේ සමාජ පසුබිම නිර්ප්‍රභූ වුණාට, ඔවුන්ට පරණ දේශපාලනඥයින්ගේ සමාජ පසුබිම නොතිබුණාට ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ වසර 76ක් පුරා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළමයි කියලා. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩුව ඉතාම හොඳින් සහ විවෘතව ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට ක්‍රියාත්මක කර ගන්න බැරි වුණ වැඩපිළිවෙළ පවා මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි හිතනවා අරගලයෙන් හෝ පසුගිය මැතිවරණවලින් ජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කරවන්න නොහැකි වුණා කියලා. ගොල්ෆේස් අරගලයට වගේම 2024 මැතිවරණ ජයග්රහණවලටත් සම්බන්ධ වුණේ එකම බලවේගයක්. නමුත් ඒ බලවේගයේ අපේක්ෂාව ඉටු වුණේ නැහැ. ඔවුන් අපේක්ෂාභංගත්වයට පත්ව සිටිනවා. ඒකට හේතුව තමයි ආණ්ඩු මාරුවක් සිද්ධ වුණාට ‘වෙනස’ කරන්න අවශ්‍ය බල මාරුව සිද්ධ වෙලා නැහැ. මේ නිසයි අපි අපේ හතර වැනි ජාතික සමුළුවේ තේමාව ලෙස ලෙස ‘පංතියට බලය – බලයට පක්ෂය’ යන තේමාව යොදා ගත්තේ.
- ඔබ ද ඇතුළු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමත් සමඟ තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවෙන්නේ ඒ අතීත කතාව කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද ?
2011 දී තමයි අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩනය වෙන්නේ. ඊට පස්සේ 2012 අප්‍රේල් මාසයේ දී අපි පෙරටුගාමී සමාජාවාදී පක්ෂයේ පළමු වැනි ජාතික සමුළු පැවැත්වූවා. එතැන් සිට අපි ජාතික සමුළු තුනක් පවත්වා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලය තුළ අපි ලංකාවේ දේශපාලනයට තීරණාත්මක මැදිහත් වීමක් කළා. විශේෂයෙන්ම 2022 ගොල්ෆේස් අරගලය තුළ අපි තීරණාත්මක කාර්යභාරයක් කළා. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට (සයිටම්) එරෙහි අරගලය, ගුරු අරගලය, වැනි මහජන අරගල තුළ අපි පක්ෂයක් ලෙස විශාල මැදිහත් වීමක් කළා. මේ ගමනේ තීරණාත්මක කඩඉමකට අපි මේ වන විට ළඟා වී සිටිනවා. අපි හිතනවා ඉදිරියේ දී ලංකාවේ විශාල දේශපලන රික්තකයක් නිර්මාණය වෙයි කියලා.
- ඔබ කියන රික්තකයක් නිර්මාණය වෙන්නේ කොහොම ද ?
ගොල්ෆේස් අරගලයට දායක වුණ සහ 2024 ආණ්ඩු වෙනසට දායක වුණ බලවේගයේ දේශපාලන අභිලාෂයන් මේ දක්වා ඉටු වෙලා නැහැ. ඒ වගේම අරගලයෙන් පසු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා, නව දේශපාලන අත්හදා බැලීම්වලට ජනතාව ඉදිරියට පැමිණ තිබෙනවා. නව ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් අපි ආපසු හැරිලා බැලූ විට පේනවා අරගලයේ හෝ 2024 ආණ්ඩු මාරුවේ දේශපාලන අභිලාෂයන් ඉටු වෙලා නැහැ කියලා. පරණ – පුරුදු වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ දේශපාලනය තුළ අනිවාර්යයෙන්ම දේශපාලන රික්තකයක් නිර්මාණය වෙනවා. ඒ දේශපාලන රික්තකය පුරවන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැදිහත් විය යුතුයි, ලංකාව සමාජාවාදී වැඩපිළිවෙළට යොමු කරන්න ඒ රික්තකය භාවිතා කළ යුතුයි කියන අදහස තමයි අපේ හතර වැනි ජාතික සමුළුවේ දී අවධාරණය කළේ.
- ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය බෙදී යන්නේ. නමුත් ඔබ කියනවා ජවිපෙ අසමත් කියලා. ජවිපෙ අසමත් නම් එහි බාල සහෝදරයා වන ඔබේ පක්ෂය විශ්වාස කරන්න ජනතාවට තිබෙන සහතිකය කුමක් ද ?

අපි යම්කිසි පුද්ගලයෙක් හෝ පක්ෂයක්, සංවිධානයක් විශ්වාස කළ යුත්තේ වචනවලින් නොවෙයි, ඔවුන්ගේ ක්‍රියාවෙන්. ඒ කියන්නේ භාවිතාවෙන්. 2011 සිට අපි එක්තරා ආකාරයක ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කළ බව ජනතාවට පේනවා. අපේ ක්ෂණික වාසි සඳහා, කෙටි කාලීන වාසි සඳහා අපේ ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ. ජාතිවාදයෙන් සමාජය මත්වෙලා සිටි අවස්ථාවක, ජාතිවාදයට එරෙහිව එක වචනයක් කතා කරන්න බිය වී සිටි අවස්ථාවක, ජාතිවාදයට විරුද්ධ මතයක් දැරීම මුළු සමාජයෙන්ම ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තිබුණ අවස්ථාවක අපි ඉතාම පැහැදැලිව සහ ඍජුව ජාතිවාදයට එරෙහිව නැගී සිටියා. දර්ගා නගරය ගිනි තැබීමට විරුද්ධව අපි කතා කළා, වෛද්‍ය සාෆි වගේ ප්‍රශ්න ගෙනත් සමාජය අවුල් කරන්න හදන අවස්ථාවල අපි ඒවට විරුද්ධව පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයෙන් අපි දිගටම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරලා තිබෙනවා. අපි බලය සඳහා දේශපාලනය කරන නමුත් ඒක ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. ජනතාව වෙනස් කරමින් කරන දේශපාලනයක් තමයි අපි කරන්නේ. මේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය තමයි අපි ගැන ජනතාවට තිබෙන පළමු සාක්ෂිය වෙන්නේ. මෙවැනි සාක්ෂිය තමයි ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීම. අපේ පක්ෂය ආරම්භයේ දීම අපේ සහෝදරයින් දෙදෙනෙක් වන ලලිත් සහ කුගන් සහෝදරයා පැහැර ගත්තා. ඒක සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ. ඒ වගේම කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැර ගත්තා. පක්ෂය ආරම්භයේ සිටම විශාල මර්දනයකට මුහුණ දීලා තිබෙනවා. මේ මර්දනයට මුහුණ දෙමින් අපේ දේශපාලන ප්‍රතිපත්තිය ජනතාව හමුවට ගෙන යාමට අපි සමත් වුණා. ඒකත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වාස කිරීමට තිබෙන තවත් සාක්ෂියක්. ඒ වගේම අපි පෙනී සිටි බහුතරයක් ප්‍රශ්න සමාජයේ දැවෙන ප්‍රශ්න. ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ පෙරටුගාමී සමාාජවාදී පක්ෂය කෙරෙහි විශ්වාසය තියන්න කියලා, අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ වටා ඒකරාශී වෙන්න කියලා.
- ඔබ කියනවා ජාතිවාදයට විරුද්ධ වීම පෙරටුගාමීන් සුවිශේෂ. වෙන්න ප්‍රධාන හේතුවක් කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ, ජනාධිපති අනුර කුමාර දිසානායක අපේක්ෂා කළාටත් වඩා ජාතිවාදයට විරුද්ධයි නේද ? ජවිපෙ කියන්නේ ඔබේ ප්‍රධාන ප්‍රතිවාදියා නේද ?
මේක පරීක්ෂාවට ලක්වෙන්නේ භාවිතය තුළයි. ජාතිකවාදය, ආගම්වාදය වැනි අති සංවේදී කාරණා තුළින් තමයි ලංකාවේ දේශපාලනය උත්තේජනය වෙන්නේ. උදාහරණයක් ලෙස රාජපක්ෂ කඳවුර ගන්න පුළුවන්. ඔවුන්ගේ සමස්ත පැවැත්ම තියෙන්නේ ජාතිවාදය, ආගම්වාදය තුළයි. අපි ජාතික ජන බලවේගය, මාළිමාව දෙස බැලුවොත් එහි පැහැදිලි ස්ථර තුනක් දැක ගන්න පුළුවන්. මේක ළූණු ගෙඩියක් සුද්ද කරනවා වාගේ සුද්ද කරන් ගියොත්, එහි මැද (ඇතුළතම) තිබෙනවා සමාජවාදය විශ්වාස කරන, සෝවියට් පන්නයේ සමාජවාදයක් විශ්වාස කරන බලවේගයක් ඉන්නවා. ඊට එපිටින් ඉන්නවා 2022ට කලින් 2015 ට පස්සේ එකතු වුණ ලිබරල් ප්රජාතන්ත්රවාදී බලවේගය. අන්තිම තීරුව, නැතිනම් උඩින්ම ඉන්නවා 2022 අරගලයට පස්සේ, ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියට පස්සේ ග්‍රාමීය මට්ටමේ දී තමන්ගේ දේශපාලන කඳවුර අහිමි වුණ සමාජ තීරුවක්, බලවේගයක් ඉන්නවා. මේ අය ගෝඨාභය ඡන්දය දීලා, මහින්දට ඡන්දය දීලා තිබෙනවා. වර්තමානයේ මාළිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් ඇති බහුතරය නියෝජනය කරන්නේ මේ අය. මේ සමාජ තීරු තුනම එකට තියා ගන්නවා කියන්නේ අති සංකීර්ණ අභියෝගයක්. සාම්ප්‍රදායික දේශපාලන කඳවුරුවල මෙවැනි සංකීර්ණ තත්ත්වයක් නැහැ. මහින්ද රාජපක්ෂගේ කඳවුර බැලුවොත් ඒක තනිකරම ජාතිවාදය මත පදනම් වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ කඳවුර නව ලිබරල්වාදය මත පදනම් වෙලා තියෙන්නේ. නමුත් මාළිමාවට පොහොට්ටුවෙන් ආපු ඡන්දදායකයා නඩත්තු කරන්න, සතුටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ බලවේගය සතුටු කරන්න යාම නිසා මාළිමාව ආණ්ඩුවත් රාජපක්ෂලා කරගෙන ගිය වැඩපිළිවෙළම ඉදිරියට කරගෙන යනවා. උදාහරණයක් විදිහට ආපු ගමන්, ඊළඟ මැතිවරණයට කලින් දළඳා ප්‍රදර්ශයක් කළා. මේ ආණ්ඩුව ‘බුද්ධාගමට සලකන්නේ නැහැ’ කියලා චෝදනා කළත් කිසිම ජනාිපතිවරයෙක් දණ නොගහන තරම් අනුර කුමාර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ දණ ගහනවා. මේක පිටිපස්සේ තියෙන්නේ ජාතිකවාදය තමන්ගේ ඡන්ද පදනම ඩැහැගනියි කියලා තියෙන භීතියයි. ඒ භීතිය නිසා මේ බලවේගය නඩත්තු කිරීම සඳහා විවිධ රංගනයන් කරමින් සිටිනවා. ඔවුන්ව නඩත්තු කරනවා, සතුටු කරනවා. මේ බලවේග වෙනස් කිරීමේ දේශපාලනයක් දැන් ආණ්ඩුවට, ජනතා විමුක්ති පෙරමුණට නැහැ. මේ බලවේගය වෙනස් කරනවා වෙනුවට ඒක නඩත්තු කරනවා.
- ඔබ හිතන ආකාරයට මෙහි ප්‍රතිඵලය කුමක් ද ?
ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස වතුකරයේ දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඔවුන් විසින්ම ඉදිරිපත් කළ ‘හැටන් ප්රකාශනය’ ගන්න පුළුවන්. මේ වන විට හැටන් ප්රකාශනය සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්ව තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න කිසිම දෙයක් ආණ්ඩුව කරන්නේ නැහැ. මේ යෝජනා ක්‍රියාත්මක කරන්න සල්ලි යන්නේ නැහැ. මේ ජනතාව ලිපිනයක් ඉල්ලනවා, ඒකට සල්ලි යන්නේ නැහැ. ඔවුන් ඉඩමක් ඉල්ලනවා. නමුත් වතුකරයේ සමාගම්වලට බදු දී තිබෙන ඉඩම් අවශ්‍ය තරම් තිබෙනවා. මේ ඉඩම්වල සෑම අක්කරයකින්ම පර්චස් 20ක් වතුකම්කරුවන්ට ලබා දෙන්න කියලා 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. මැතිවරණයට පෙර මේ ගැන කතා කළේ වත්මන් ආණ්ඩුවයි, ඒවා තිබුණේ එවකට මාළිමාව විසින් සම්පාදනය කළ හැටන් ප්රකාශනයේයි. නමුත් අද ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන වගේ වගක් නැතිව ඉන්නවා. උතුරේ ඉඩම් ප්රශ්නය, උතුරු නැගෙනහිර අතුරුදන්වීම් පිළිබඳ ප්රශ්නය වැගේ ප්‍රශ්න ගණාවක් තිබෙනවා. මේවට ආණ්ඩුව අතවත් තියලා නැහැ. මේ හරහා සුළුතර ප්රජාවන්ගේ විශ්වාසය බිඳ වැටිලා තිබෙනවා. මෙන්න මේ පසුබිම තුළ තව සුළු කාලයකින් දේශපාලන රික්තකයක් ඇති වෙනවා.
- ඔබ කියන්නේ වත්මන් ආණ්ඩුව ජාතිවාදය අවුස්සනවා කියලද ?
නැහැ, මේ ආණ්ඩුව ජාතිවාදය අවුස්සන කිසිම දෙයක් කරලා නෑ. නමුත් ජාතික ප්රශ්නය විසඳීම සඳහා කිසිම දෙයක් කරලා නැහැ, කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දීර්ඝ කාලයක් පුරා දැවෙමින් පවතින ප්‍රශ්න විසඳනවා වෙනුවට මහින්ද රාජපක්ෂලාගෙන් ඩැහැගත්ත බලවේගය සතුටු කරන්න එක එක දේවල් කරන බව තමයි පේන්නේ.
- ඔබ කියන දේශපාලන රික්තකය පුරවන්න සුදුසු පෙරටුගාමීන් පමණ ද ? මේකට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ තරඟ කරන්නේ නැද්ද ?
ඔවුන් මේ ගැන විශාල උනන්දුවකින් ඉන්නවා. ඒ නිසා තමයි ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය වාගේ සිද්ධි මුල් කරගෙන මේ දේශපාලන බලය තමන්ගේ අතට ගන්න උත්සාහා කරන්නේ.
- ඔබ ඇතුළු සැලකිය යුතු පිරිසක් 2011 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන විට සැලකිය යුතු බලයක් ඒ කණ්ඩායම සතුව තිබුණා. නමුත් පෙරටුගාමීන්ට කිසිමදාක පාර්ලිමේන්තු අසුනක් පවා දිනා ගන්න නොහැකි වුණා. ජනතා විමුක්ති පෙරමුණ වාගේ දේශපාලනය තුළ ඉදිරියට යාමට පෙරටුගාමීන්ට නොහැකි වුණේ ඇයි ?, වර්ණවත් දේශපාලන චරිත පෙරටුගාමීන් අතරින් බිහි නොවුණේ ඇයි ?

2011 දී ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභාවෙන් ඉවත්ව ගිය බොහෝ දෙනා ජනප්‍රිය චරිත නොවෙයි. බොහෝ දුරට පක්ෂයේ අභ්‍යන්තර සංවිධාන තුළ වැඩ කළ අය. නමුත් අපි මේ වන විට නායකත්ව මණ්ඩලයක් රට හමුවට ගෙනත් තිබෙනවා. ආසන්න උදාහරණයක් ලෙස අරගලය තුළ ගොඩනැගුණ තරුණ නායකත්වයේ සැලකිය යුතු පිරිසක් අපේ පක්ෂය නියෝජනය කළ අය. ‘මෑත කාලයේ යම්කිසි දේශපාලන ව්‍යාපාරයක තරුණ නායකත්වය ගොඩනගලා තිබෙනවා ද?’ කියලා ප්‍රශ්න කළොත් ඒ ප්‍රශ්නෙට ඉතාම හොඳින් උත්තර දෙන්න පුළුවන් අපට පමණයි. අපි තරුණ නායකයින් විශාල පිරිසක් බිහිකරලා තිබෙනවා. ඒ වගේම දේශපලන බලය ගණන් බලන්නේ ‘ඡන්ද කීයක් ගත්ත ද ?’ කියලා. මේක තමයි එකම සමීකරණය, ඒක තමයි මිනිස්සු පුරුදු වෙලා තිබෙන ක්‍රමය. ඒක වැරදියි කියලා කියන්නත් බැහැ. නමුත් 2022 දී අරගලයේ දී සිද්ධ වුණේ මොකක්ද ?. ගෝඨාභය රාජපක්ෂ පළවා හරින්න දේශපාලන මැදිහත් වීම කළේ කවුද ?, කවුද ඒකට නොබියව මැදිහත් වුණේ ?, අන්න ඒ දිහා බලන කොට අපි කළ කාර්යභාරය පැහැදිලි වෙනවා. මැතිවරණ වේදිකාව තුළ අපට අපේ බලය ප්‍රදර්ශනය කරන්න නොහැකි වුණා. නමුත් පසුගිය මැතිවණවල අපේ ඡන්ද ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා.
- ඔබට මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද ?
මැතිවරණයක් කියන්නේ තනිකරම සල්ලි පොම්ප කරන තැනක්. ප්රචාරක ව්‍යාපාරය, මැතිවරණ රැළි, දැන්වීම් වාගේ නිමක් නැති වැඩවලට කෝටි ප්‍රකෝටි ගණනක් වැය වෙනවා. ඒ මත තමයි ජයග්‍රහණය සහ ජයග්‍රහණයේ ප්‍රමාණය තීරණය වෙන්නේ. මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට නිමක් නැතිව සල්ලි පොම්ප කරන්න පුළුවන් අයට තමයි මේ ක්‍රමය තුළ ජයග්‍රහණය ලැබෙන්නේ. අපි දැක්කා පසුගිය ජනාධිපතිවරණයේ දී මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ කොපමණ මුදලක් වැය කළා ද කියලා, කොපමණ මුදලක් පොම්ප කළා ද කියලා. ඒ සල්ලි කොහෙන්ද ආවේ ?. මේ ආකාරයට පක්ෂයක් පුම්බන්න පුළුවන්. නමුත් අපි මහ පොළව මත ක්‍රමයෙන් වැඩෙන දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ බලය අවශ්‍ය අවස්ථාවලදී ප්‍රදර්ශනය කඒලා තිබෙනවා. අපි මේ විශ්වාසය මත තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ඉදිරියේ දේශපාලනයේ ‘ඊළඟ විකල්පය’ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පත්වෙනවා කියලා අපි බොහොම විශ්වාසයෙන් කියන්නේ.
- වත්මන් ආණ්ඩුවට දැඩිව පහර දෙන ගමන් ආණ්ඩුව මෘදුව ආරක්ෂා කිරීමටත් පෙරටුගාමීන් කටයුතු කරනවා කියලා යම් අදහසක් තිබෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ ?
මේ ප්රශ්නය අහපු එක හොඳයි. ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට ගත් උත්සාහයේ දී ආණ්ඩුවට කලින් අපි ඒකට මැදිහත් වුණා. ආණ්ඩුවට ඡන්දය දුන් අය අපේ මේ මැදිහත් වීම ගැන විශාල ප්රසාදයකින් හිටියා. අපි මේ ප්‍රශ්නයට මැදිහත් වුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න නෙමෙයි, අරගලයේ මූලික හරයක් ආරක්ෂා කරන්න. යළි ජාතිවාදයට, ආගම්වාදයට හිස එසවීමට ඇති අවස්ථාවක් පරාජය කරන්න. නමුත් මේක ආණ්ඩුවට වාසියි කියලා කෙනෙකුට පේන්න පුළුවන්. ඒක අපට ප්‍රශ්නයක් නෙමෙයි. අපි දන්නවා අපි කරන්නේ මොකක්ද ? කියලා, ඒක වාමාංශික ව්‍යාපාරයකට අදාළ වෙන්නේ කියලා. අපි විපක්ෂය සම්බන්ධයෙන් කරන විවේචනයත් ඉතාම සබුද්ධිකව කරන්නේ. මේ විපක්ෂ කිසිම අවස්ථාවක ආණ්ඩුවට එරෙහිව සාධනීය විවේචනයක් කරන්නේ නැහැ. ඒකට හේතුව මෙවැනි බරපතළ දේශපාලන විවේචනයක් කරන්න සුදුසු පුද්ගලයින් නැතිකම නෙමෙයි. මේ විපක්ෂය වාචාලකමට කියවනවා මිස තර්කානුකූලව විවේචනයක් කරන්නේ නැහැ. මේක ආණ්ඩුවට වාසිදායක තත්ත්වයක්. ආණ්ඩුව ඒ විවේචන උස්සනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී ඒක හොඳට පෙනුණා. අපි කරන විවේචන වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ. නමුත් අඳබාල විපක්ෂය ගේන විවේචන වලට උස්ස උස්ස උත්තර දෙනවා. ඒකට හේතුව තමයි විපක්ෂයේ විවේචන ආණ්ඩුවට වාසියි. වත්මන් විපක්ෂය ඉතාම බාල, ලාභ විවේචන ගෙනත් ආණ්ඩුවට වාසියක් ලබා දෙනවා. අනෙක් අතට මේ ආණ්ඩුව කරන සෑම දේකටම මේ විපක්ෂය එකඟයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ විපක්ෂ එකඟයි. ඒ ිසා සාධනීය විවේචනයක් කරන්න කැමති නැහැ. මේ විපක්ෂය ජනතාවට බලපාන ගැඹුරු ප්රශ්නය ගන්නේ නැහැ. ගන්නෙ ලාබ, ලාමක ප්‍රශ්න.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 08 වැනිදා කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.















