පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම් ලබාදී මහජනතාව රවටා මුදල් ලබා ගන්නා වංචාකරුවන් පිරිසක් පිළිබඳව පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. එම නිවේදනය පහත දැක්වේ.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම් ලබාදී මහජනතාව රවටා මුදල් ලබා ගන්නා වංචාකරුවන් පිරිසක් පිළිබඳව පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබේ.
මේ වනවිටත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වාගෙන යන අතර එමගින් අනාවරණය වූ තොරතුරු අනුව මෙම වංචනිකයින් ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථන අංක වලට සමානකමක් දක්වන විදේශීය දුරකථන අංක භාවිතා කරමින් මෙරට බැංකු, මුල්‍ය සමාගම් නිලධාරීන් ලෙස ගිණුම් හිමියන් වෙත ඇමතුම් ලබා ගෙන ගිනුම් හිමියන්ගේ ගිණුම් සම්බන්ධව පැමිණිලි පවතින බව දැනුම්දීම සිදුකරයි.
ගිණුම සම්බන්ධව පවතින පැමිණිලි පිලිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීයාකරන ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන අංශ නිලධාරීන් වෙත දුරකථන ඇමතුම යොමුකරන බව පවසමින් ඇමතුම ව්‍යාජ ලෙස පොලස් නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනකයින් වෙත යොමුකරන (Transfer) අතර ශ්‍රී ලංකා පොලිසියයේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී එම වංචනිකයින්, WhatsApp Video දුරකතන ඇමතුම් ඔස්සේ රැවටීමට ලක්කරන ගිණුම් හිමියන් ඉදිරියේ පෙනී සිට ප්‍රශ්න කිරීම්, ප්‍රකාශ සටහන් කිරීම් WhatsApp ඇමතුම් මගින්ම දුරස්ථව සිදුකරයි.
පොලිස් විමර්ශන අංශ තුළ පවතින කාර්යබහුල පරිසරය Video Call අතරතුර ගිනුම් හිමියාට දර්ශනය වීමට නිරූපණය කිරීමද මෙම වංචාකරුවන් විසින් සිදුකරයි.
ඇමතුම මගින් ප්‍රශ්න කිරීම්, ප්‍රකාශ සටහන් කිරීම් සිදුකරන අතරතුර ගිණුම් හිමියාගෙන් ගිණුමේ රහස්‍ය තොරතුරු කාඩ්පත් අංක විමසා දැනගැනීමට මෙම ව්‍යාජ පොලිස් නිලධාරීන් සූක්ෂමව, කිසිදු සැකයක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක වීම අවසන් පියවර වන අතර රහස්‍ය තොරතුරු ලබාගත් සැනින් බැංකු ගිණුමේ මුදල් සොරාගැනීම සිදුකරයි.
මෙම වංචනිකයින් විසින් ලබා ගෙන ඇති මුදල් බැංකු ගිණුම් කිහිපයක් ඔස්සේ හුවමාරු වී Binance ගිණුම් හරහා CRYPTO – CURRENCY (අතත්‍ය මුදල් – භෞතිකව භාවිතා නොවන ඩිජිටල්කරණය වූ මුදල් ඒකකයක් ) බවට පරිවර්ථනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.
දැනට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් දැනුම් දුන් පරිදි සොරාගන්නා මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත යොමු කර ඊට අදාලව කොමිස් මුදලක්ද ලබා ගන්නා බව ප්‍රකාශ කර ඇත.
මෙලෙස මහජනතාවගේ මුදල් වංචා කිරීම දිගින් දිගටම සිදුවන බවට නිරීක්ෂණය වන බැවින් තමන්ගේ පුද්ගලික තොරතුරු භාවිතා කර සකස් කරනු ලබන බැංකු ගිණුම් තොරතුරු හෝ අන්තර්ජාල ගණුදෙනු සිදු කිරීමට භාවිතා කරනු ලබන ගිණුම් පිලිබඳ තොරතුරු මෙවැනි රැවටීම්වල ගොදුරන් වී කිසිවෙකුට ලබා නොදීමට සැලකිලිමත් වෙන ලෙස දැනුම් දෙන්නෙමු.
එමෙන්ම මෙම වංචාකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ලද වහාම ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.















