අභියෝගාත්මක කාල සීමාවක් පසු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එලැඹෙන 08 වැනිදා සිය ලෝක කුසලාන ගමනේ පළමු කඩඉම හෙවත් අයර්ලන්තයට එරෙහිව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. එංගලන්තයට සහ පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි විවේචන එල්ලවෙමින් පවතින නමුත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් තමන් ඇතුළු කණ්ඩායම වඩාත් සුභවාදී ස්ථාවරයක සිටින බවයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 8 ක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එම කණ්ඩායම්වල නායකයින් 8 දෙනා සම්බන්ධ කර ගනිමින් අද (05 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා තම කණ්ඩායමේ විශ්වාසය සම්බන්ධයෙන් ඉහත අදහස් පළ කර සිටියේය.
“අපි හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. ඔවු. ඇත්තටම බිඳ වැටීම් තිබුණා. ඒත් මම අදහස් කළේ මෑතකදී අපි ක්‍රීඩා කළ තනතීරුවල විශාල බලපෑමක් තිබුනා කියන එක. ඒත් මේ ලෝක කුසලාන තරගාවලියේදී මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ“ යැයි දසුන් ශානක සඳහන් කර සිටියේය.
මෙහිදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වැරෙන් පන්දුවට පහරදීම පිළීබඳව හිටපු විශේෂඥ පුහුණුකරුවකු වන වික්‍රම් රාතෝර් දෙසද සුභවාදී ආකල්පයක පසුවන දසුන්, ඔහු සමග කටයුතු කිරීම නිදහස් මානසිකත්වයකට පාර කපන බවද සඳහන් කර සිටියේය.
“ඇත්තටම කියනවා නම් වික්‍රම් රාතෝර් කියන්නේ අපේ කණ්ඩායමට වටිනාම එකතුවක්. ඔහුගේ දැනුම සහ ස්වභාවය, හැම විටම අපිට ආක්‍රමණහීලී සිතුවිලි ගෙන දෙනවා. මම හරිම කැමැති. ඔහුගේ දායකත්වය කණ්ඩායමට ඉතාම වටිනවා“ යැයි දසුන් ශානක සදහන් කර සිටියේය.
මේ අතර පිතිකරණ ලැයිස්තුව පිළිබඳවද අදහස් දක්වන දසුන් සඳහන් කර සිටින්නේ ඒ පිළිබඳව තමන් සතුව විශ්වාසයක් පවතින බවයි. “අපේ පිතිකරු ලැයිස්තුවේ කිසිම අසාර්ථක භාවයක් මට පේන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම රැඳී තියෙන්නේ අපි ක්‍රීඩා කරන තණතීරුව සහ එක් එක් තරගවලදී අපි පහර එල්ල කිරීමට තෝරා ගන්නා ආකාරය අනුව. එහෙම නොවුණා නම් අපි හොද පිතිකරණ ලැයිස්තුවක්“ යැයි දසුන් සඳහන් කර සිටියේය.
“මම දන්න විදියට අපිට හොඳ පළපුරුදු පිතිකරුවන් පිරිසක් සිටිනවා. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේදී තම තමන්ගේ සුවිශේෂී හැකියාවන් පෙන්වීම සම්පූර්ණයෙන්ම රැඳී තියෙන්නේ ඒ ඒ පුද්ගලයින් මත බවයි මගේ මතය“ යැයි දසුන් වැඩිදුරටත් පිතිකරණ වගකීම ගැන කරුණු පැහැදිළි කර සිටියේය.
“පන්දු යැවීමේ ඒකකය වුණත්, ඔවුන් ක්‍රියාත්මක වුණු ආකාරය ගැන, විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ පසුගිය තරගයේදී හොඳින් පන්දු යැවූ මහීෂ් තීක්ෂණ ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. පිතිහරඹය ගැන නම් යම් යම් ගැටලු තිබුණා. නමුත් අපි මේ කඩුල්ල පනීවි කියලා බලාපොරොත්තු වෙනවා“ යැයි ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව දසුන් කියා සිටියේය.
“මගේ පැත්තෙන් නම් මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා අපේ සූදානම ඉතාමත් හොඳයි. එකම දේ අපිට ලැබුණේ අපේක්ෂිත ප්‍රතිඵල නොවෙයි“ යැයි සදහන් කර සිටින දසුන් “ප්‍රේක්ෂකයින්ගේ සහයෝගය මේ තරගාවලියේදී නායකයකු විදියට මම බලාපොරොත්තු වෙනවා. අපි ඔවුන් වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්න ඕන. නමුත් අපිට ඒ දේ ඔවුන්ට දෙන්න නොහැකි වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ඔවුන් තුළ යළිත් විශ්වාසය ඇති කරගන්න“ යනුවෙනි.
මේ අතර මෙවර තරගාවලිය යටතේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත තරගය බවට පත්ව තිබෙන ඉන්දු පාකිස්තාන අතර තරගය සඳහා ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම පිළිබඳවද අද දිනයෙදී පාකිස්තානු නායක සල්මන් අඝාගෙන් මාධ්‍ය කරුණු විමසා සිටියේය. ඒ අනුව ඊට පිළිතුරු ලෙස ඔහු සඳහන් කර සිටියේ ‘කණගාටු වෙන්න එපා. ඒ තරගය නැති වුණත් තවත් තරග 3 ක් තියෙනවා. රසිකයින්ට ඒවා නැරඹිබ හැකියි. විශ්වාස කරන්න. ඒවත් හොඳ තරග බවට පත්වෙයි“ යනුවෙනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි පාකිස්තානු නායකයා, ‘ශ්‍රී ලංකාව කියන්නේ මට මගේ දෙවැනි නිවස වගේ. මම මෙහේ අවස්ථා කීපයකදීිම ක්‍රීඩා කරලා තියෙනවා. මෙහි ජනතාව ඉතාම හොඳ මිත්‍රශීලී පිරිසක්. අපි මෙහි ක්‍රීඩා කිරීමට ඇත්තටම සතුටින්“ යනුවෙනි.
ලෝක කුසලාන තරගාවලිය මේ මස 07 වැනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේදී ආරම්භ වන අතර ශ්‍රී ලංකාව එම 08 වැනිදා අයර්ලන්තය සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.
sourceL srilankacricket.lk
















