ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ‘ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය’ කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ  266 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘ලෝකය මුහුණ දෙමින් සිටින නව තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි යොමු කළ යුතුව ඇති අවධානය’ යන තේමාව යටතේ පැවැත්වූවේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පුෂ්පා වීරසේකර මැණිටක් මහත්මිය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධි පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා සහභාගී වූහ. මෙම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම පාලකයින්ගේ පළමු වගකීමයි – සුනිල් කන්නන්ගර මහතා, හිටපු මහදිසාපති

ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ රාජ්‍යයකි. හින්දු, කතෝලික සහ ඉස්ලාම් බැතිමතුන් සිටිය ද සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පදනම දමා ඇත්තේ බෞද්ධ දර්ශනය බව පොදුවේ පිළිගැනේ. බෞද්ධ දර්ශනය තුළ ද ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ බොහෝ ඉගැන්වීම් හමුවේ. විශේෂයෙන් ත්‍රිපිටකයේ දීඝ නිකායට අයත් අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකයේ ප්‍රභවය සහ සමාජයේ ප්‍රභවය සම්බන්ධ බෞද්ධ දර්ශනය ඉදිරිපත් කෙරේ. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පාලකයෙක් පත්කර ගැනීම ජනතාව යොමුවන්නේ ආහාර හොරකම් කිරීම සම්බන්ධ ගැටලුවක් මුල්කර ගෙනය.

  • ආහාර  සුරක්ෂිතභාවය සහ බෞද්ධ දර්ශනය

“රාජ්‍ය පාලනය කියන වත්මන් සංකල්පය ඇති වීමටත් හේතුව වුණේ ආහාර සුරක්ෂිතභාවය බව අපට අග්ගඤ්ඤ සූත්‍රය අනුව පැහැදිලි වෙනවා” 266 වැනි කතිකාවට සමාරම්භක ප්‍රවේශය ගනිමින් හිටපු මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පෙන්නා දුන්නේය.

මෙහිදී සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ බෞද්ධයින් මුදුන්මල්කඩක් සේ සලකන පිරුවාණා පොත් වහන්සේ තුළ ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ වැදගත් කරුණු අන්තර්ගත වන බවයි.

“මේ අදහස් ඉදිරිපත් වන්නේ ආයු වඩ්ඩන සූත්‍රයේ. බෞද්ධ ආහාර සංස්කෘතියට අනුව භික්ෂුවගේ සිවු පසයට අයත් ආහාරය සුවිශේෂිතය. කුසගින්න වනාහි බරපතළම රෝගය (ජිගච්ඡා පරමා රෝගා) ලෙසින්ද සෑම සත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) වේදනාව නැති කර ගැනීමට ද පහසුවිහරණයට ද ආහාරය අවශ්‍ය බව ද බුදු දහමින් පෙන්වා දෙනවා. ජීවිතයක ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පඤ්ච බලයම ආදි රැඳී ඇත්තේ ආහාරය මතයි. සෑම ජීවිතයක ඉපදීම හා ජීවිතය රඳා පවතිනුයේ ආහාරය පදනම්කරගෙනිය. බුදුදහම ආහාරයේ තුලිත බව හා යෝග්‍යත්වය ගැන විශේෂ සැලකික්ලක් දක්වා ඇති අතර රෝග නිවාරණ පාර්ශ්වයක් ලෙසින් ද ආහාරය පෙන්වා දී තිබෙනවා” සුනිල් කන්නන්ගර මහතා වැඩි දුරටත් පැවසුවේය.

මෙහිදී ඔහු යළි අවධාරණය කළේ ආහාර සුරක්ෂිතභාවය බෞද්ධ දර්ශනය තුළ වඩාත් වැඩි අවධානයක් යොමු වූ ක්ෂේත්‍රයක් බවයි.

“ගෙදරක සිට රාජ්‍යය දක්වා සෑම තැනකම ආහාර සුරක්ෂිතභාවය ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සැලකෙනවා’ ඔහු  යළි අවධාරණය කළේය.

  • ශිෂ්ටාචාරයේ ගමන

ලංකාවේ පමණක් නොව ලෝකය පුරා සෑම ශිෂ්ටාචාරයක්ම ආහාර සුරක්ෂිතභාවය වැදගත්ම අංගයක් ලෙස සැලකූ බව පෙන්නා දුන් සුනිල් කන්නන්ගර මහතා මානව පරිණාමය සහ අද දක්වා වන දියුණුවට ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි මිනිසා දක්වන ලද උනන්දුව වැදගත්ම බලවේගය වූ ආකාරය පැහැදිලි කළේය.

“දඩයමින් ජීවත් වූ මානවයා කෘෂිකර්මාන්තයට යොමු වීම තමයි මානව පරිණාමයේ තීරණාත්මක අවස්ථාව වුණේ. ඔහු දඩයම අතහැර කෘෂිකර්මාන්තයට යොමු වුණේම ආහාර සුරක්ෂිතභාවය අවශ්‍ය නිසයි. අවිනිශ්චිත දඩයමට වඩා ඔහුම වගා කළ බෝග වඩාත් වැඩි ආහාර සුරක්ෂිතභාවයක් ඇති කළා. කෘෂිකර්මාන්තය ‘ගම’ කියන විශ්වීය ආයතනය ස්ථාපිත කළා. ගම තමයි සමස්ත මානව පරිණාමය දියුණුව කරා ගෙන ගියේ. ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළේ”  සුනිල් කන්නන්ගර මහතා තව දුරටත් පැහැදිලි කළේය.

  • වාරි ශිෂ්ටාචාරය

කෘෂිකර්මාන්තයට යොමු වුණ මිනිස්සු කෘෂිකර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් ජලයේ ඇති වැදගත්කම අවබෝධ කර ගත්තේය. ඒ අනුව ඔහු වාරි කර්මාන්තයට යොමු වූ අතර කුඩා වැව් කොටුවල සිට දැවැන්ත මහා වාපී ඉදිකිරීම දක්වා මේ සංකල්පය හා දැනුම පරිණාමය වුයේ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි මිනිසා දක්වන ලද ඉමහත් උනන්දුව නිසාය.

“සෑම පාලකයෙක්ම කෘෂිකර්මාන්තය, නැතහොත් ආහාර සම්පාදනය තමන්ගේ පළමු කාර්ය ලෙස සැලකුවා. ඒ නිසා ආහාර සම්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම තමයි පාලකයින් තමන්ගේ ප්‍රථම හා ප්‍රමුඛ වගකීම ලෙස සැලකුවේ. වත්මන් ජල කළමනාකරණය කියන සංකල්පය දියුණු වුණේ පාලකයින් ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි දක්වන ලද කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි. සරල පැහැදිලි කළොත් අපි වාරි ශිෂ්ටාචාරය කියන සංකල්පයේ පදනම වුණේම ආහාර සුරක්ෂිතභාවයයි. ඒ නිසා වර්තමාන ලෝකයේ පවා ආහාර සුරක්ෂිතභාවය වැදගත්ම මූලධර්මයක් ලෙස සලකනවා, ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම, තහවුරු කිරීම සෑම පාලකයෙක්ම, සෑම සමාජයක්ම මූලික අවශ්‍යතාවක්, වගකීමක් ලෙස සලකනවා. මේක ලංකාවට පමණක් අදාළ කාරණයක් නොවෙයි. සමස්ත ලෝකයම මෙහි වැදගත්කම දන්නවා” ආහාර සුරක්ෂිතභාවය නම් සංකල්පයේ ආරම්භය සහ විකාශනය ගැන හිටපු මහදිසාපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

  • ආහාර සුරක්ෂිතභාවය

මානවයාට සහ ඔහු ආශ්‍රිත සත්ත්ව වර්ගයාට අවශ්‍ය දෛනික ආහාර, කිසිම ගැටලුවකින්, බාධාවකින් තොරව ලබා ගැනීමට ඇති හැකියාව, නැතහොත් තහවුරුව ආහාර සුරක්ෂිතභාවය ලෙස සැලකිය හැකි බව සුනිල් කන්නන්ගර මහතා කීවේය.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ප්‍රමුඛ අවධානය යොමු කරමින් කන්නන්ගර මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම සමඟ බත් ලබා ගන්නා වී වගාවට රාජ්‍ය පාලනයේ සහ සමාජයේ වැඩිම අවධානයක් යොමු වූ බවයි.

මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් බවට පත් වීම සමඟ රට සහල් වලින් ස්වයංපෝෂිත කිරීම සෑම පාලකයෙකුගේම ඉලක්කය සහ සිහිනය වූ බව පෙන්නා දුන් කන්නන්ගර මහතා මෑත යුගයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා නිදහසට පෙර යුගයේ සිටම ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කරමින් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට උත්සාහා කළ බව සිහිපත් කළේය.

“ගල්ඔය ව්‍යාපාරය, සේනානායක සමුද්‍ර ව්‍යාපාරය ඇතුළු ගොවිජනපද ව්‍යාපාරය තුළින් එතුමා අපේක්ෂා කළේ සහල් වලින් රට ස්වයංපෝෂිත කිරීමයි. ඒකට හේතුව වුණේ සේනානායක යුගයට පෙර, යුද්ධය කාලේ අපේ රටේ ආහාර සුරක්ෂ්තභාවයක් තිබුණේ නැහැ. ඒ ගැන අදහසක් යටත් විජිත පාලකයින්ට තිබුණෙත් නැහැ. ඒ නිසා තමයි ලෝක යුද්ධ කාලවල ‘බජිරි කෑවා’ කියලා අපේ වැඩිහිටියෝ කිව්වේ. ඒ කාලේ ආහාර සුරක්ෂිතභාවය නොමැත නිසා ඒතරම් දුෂ්කර කාලයක් අපේ මුතුන් මිත්තෝ ගත කරලා තිබෙනවා.” මෙහිදී සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය අවසන් වන විට ලංකාව බොහෝ දුරට සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයකට ළංවී සිටි බවයි.

  • ආහාර රටාව සංකීර්ණ වීම

වර්තමානය වන විට මෙරට ජනතාවගේ පාරිභෝජන රටාවන් සහ චර්යාවන් සංකීර්ණ වී ඇති බව පිළිගත් සුනිල් කන්නන්ගර මහතා ඒ අනුව ජනතාවගේ ප්‍රධාන ආහාර ලෙස සැලකූ බවත්වලට ඇති ප්‍රමුඛතාවය ද ක්‍රමයෙන් දුර්වල වූ බව පෙන්වා දුන්නේය. කාලයත් සමඟ 100%ක් ආනයන මත රැදෙන තිරිඟු පිටිවලට ජනතාව අතර තිබෙන වැදගත්කම පැහැදිලි කළ කන්නන්ගර මහතා සත්ත්ව නිෂ්පාදන සහ සත්ත්ව පාලනය ද, ධීවර කර්මාන්තය ද වර්තමානයේ ආහාර සුරක්ෂිතභාවයට ඍජුව සම්බන්ධ වන ආකාරය පැහැදිලි කළේය.

පරිප්පු ඇතුළු ධාන්‍ය වර්ග කිහිපයක්, සීනි, කිරිපිටි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයන මත රඳා පවතින බව කී කන්නන්ගර මහතා මේ තත්ත්වය ආහාර සුරක්ෂිතභාවයට ඍජුව අභියෝග කරන බව කීවේය.

ශ්‍රී ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයක සිටිය ද වී වගාවට යොදා ගන්නා පොහොර ද ඇතුළු යෙදවුම්වලින් වැඩි කොටස ආනයනය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම පසුබිම තුළ වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙකී සැපයුම්දාම වලට සිදුවන බාධා හෝ සැපයුම්දාම බිඳ වැටීම් වී වගාව ද ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තය සහ ඒ හරහා ආහාර සුරක්ෂිතභාවයට හානිකර විය හැකි ආකාරය කන්නන්ගර මහතා දීර්ඝව පැහැදිලි කළේය.

වත්මන් සන්දර්භය තුළ රසායනික පොහොර ආනයනය බිඳ වැටීමේ හෝ මිල ඉහළ යාමේ අනතුරක් පවතින බවත් එම අභියෝගයට මුහුණ දීමට රජය සහ ගොවි ජනතාව සැලසුම් කළ යුතු බවත් ඔහු පෙන්නා දුන්නේය. ජනතාවගේ ආහාර පාරිභෝජන රටාව යුගයට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීම, විකල්ප බෝග හෝ වගාවන් වෙත යොමු වීම ද ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට වැදගත් පියවර වනු ඇති බවට ඔහු සිය විශ්වාස පළ කළේය.

මැදපෙරදිග අර්බුදය තවත් කාලයක් ඉදිරියට ගියොත් සමස්ත ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය අනතුරේ වැටෙනු ඇතැයි කී කන්නන්ගර මහතා කෘෂිකාර්මික රටක් ලෙස ලංකාවට විකල්ප වෙත ගමන් කිරීමට පහසු අවස්ථාවක් ඇති බව ද පෙන්නා දුන්නේය.

නිවැරදි දත්ත නොමැති නම් ආහාර සුරක්ෂිතභාවය අනතුරේ –  පුෂ්පා වීරසේකර මැණිකේ, විශ්‍රාමික නියෝජය කොමසාරිස්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

ආහාර සුරක්ෂිතභාවය අර්ථ දැක්වීමේ දී ප්‍රධාන මානයන් හතරක් යටතේ ඒ ගැන සාකච්ඡා කෙරේ. ඒවා නම්. පුරවැසියෙකුට ආහාර ලබා ගැනීමට ඇති හැකියාව, පුරවැසියෙකුට ආහාර වෙත ළඟාවීමට ඇති හැකියාව, පුරවැසියන් වෙත ආහාර පරිභෝජනය කිරීමට ඇති හැකියාව සහ ඉහත දක්වන ලද කාරණා ත්‍රිත්වය සම්බන්ධයෙන් පවතින ස්ථාවරභාවය යන කාරණා හතර ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ ප්‍රධාන නිර්ණායක ලෙස පිළිගැනේ.

  • ආණ්ඩුවේ සූදානම

මැදපෙරදිග වර්ධනය වන යුද අවදානම සමඟ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පූර්ව සූදානමක සිටි බව කතිකාවට සම්බන්ධ වෙමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමි නියෝජන කොමසාරිස් පුෂ්පා වීරසේකර මැණිකේ මහත්මිය පෙන්නා දුන්නාය.

මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව පසුගිය 06 වැනිදා රැස් වූ බව පෙන්නා දුන් ඇය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වා ගෙන යාමට මෙහිදී අවධානය යොමු වූ බව කීවාය.

“මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වූ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් පසුගිය 06 වැනිදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමටත්, විශේෂයෙන් එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය පිළිබඳත්, ආහාර ද්‍රව්‍යවල මිල උච්ඡාවචනයන් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු වුණා. ප්‍රමුඛතාවක් ලෙස සලකා ආහාර නිෂ්පාදනයට සහ ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම මෙරට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී යම් හෙයකින් අදාළ රටවල් විසින් අපනයන සීමා කරනු ලැබුවහොත් එය කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී  අවධානය යොමු වුණා” පුෂ්පා වීරසේකර මහත්මිය පැවසුවාය.

මෙහිදී ඇය වැඩි දුරටත් පෙන්නා දුන්නේ QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට රජය ගත් පියවර හේතුවෙන් මේ වන විට මහ කන්නයේ  වී අස්වනු නෙළමින් සිටින ගොවිජනතාව යම්කිසි ආකාරයකින් පීඩාවට පත්විය හැකි බවයි. QR කේත ක්‍රමය හේතුවෙන් සිය නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන හෝ වෙනත් අලෙවි සැල් වෙත ප්‍රවාහනය කිරීමේ දී ගොවිජනතාවට බරපතළ දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවිය හැකි බව පෙන්නා දුන් වීරසේකර මහත්මිය මේ ගැටලු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිය කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද කීවාය.

  • නිවැරදි තීරණ ගන්න නිවැරදි දත්ත

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන්ගේ විශේෂ රැස්වීමක දී ද වත්මන් අර්බුදය හමුවේ නිර්මාණය වෙමින් පවතින ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ ගැටලුවලට ලබදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති බව වීරසේකර මැණිකේ මහත්මිය පැවසුවාය.

“කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා. එහි දී වත්මන් අර්බුදය හමුවේ ආහාර සුරක්ෂිතභාවයට එල්ල විය හැකි තර්ජන ගැන සාකච්ඡා කළා. ඒ අනුව සෑම පුරවැසියෙකුටම, සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත, තිරසර ආහාර වේලක අයිතිවාසිකම ලබාදිය යුතු බව අවධාරණය කර තිබුණා. මේක ඉතාම වැදගත්, එමෙන්ම කාලෝචිත සංකල්පයක්, කාලයක් තිස්සේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ කතා කළ සංකල්පයක්. මේ සංකල්පය නව ආරකින් දියත් කිරීමට ගන්නා වූ උත්සාහය ඉතාම කාලෝචිතයි කියලා මම හිතනවා. මේ සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු වුණ කරුණු කිහිපයක් කෙරෙහි මගෙත් අවධානය යොමු වුණා. මෙහිදී අවධානය යොමු වුණ කරුණක් තමයි කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීමට ඇති අවශ්‍යතාවය. ඔබ දන්නවා යම්කිසි ක්ෂේත්‍රයක නිවැරදි සහ නිරවුල් තීන්දු – තීරණ ගන්න නම් නිවැරදි දත්ත තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කළ ඒවා විය යුතුයි. මේ දත්ත සහ තොරතුරු නිවැරදිවත්, කාර්යක්ෂම ලෙසත් ලබා ගන්න පුළුවන් ද කියන කාරණය අදාළ සාකච්ඡාවේ ප්‍රමුඛ අවධානයක් දිනාගත් කරුණක් බවට  පත් වුණා” මෙම සාකච්ඡාව ගැන සිය ප්‍රසාද  පළ කළ වීරසේකර මහත්මිය ලංකාවේ සංකීර්ණ කෘෂිකාර්මික පද්ධතිය තුළ නිවැරදි දත්ත කාර්යක්ෂ ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක් බව ද කීවාය.

“අප සතුව නිවැරදි සහ යාවත්කාලීන කළ දත්ත නැහැ. ඒ නිසා යම්කිසි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා විට එය අසාර්ථක වීමට හෝ එහි ඵලදායීභාවය අඩු වීමට ඇති සම්භාවිතාව වැඩියි. නමුත් මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ නොහැකියි. නිවැරදි කෘෂිකාර්මික දත්ත වල අවශ්‍යතාව, වටිනාකම  අද මුළු රටම හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසාම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් මේ වන විට අදාළ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කරගෙන යනවා” වීරසේකර මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

මෙහිදී විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස්වරිය සඳහන් කළේ වී නිෂ්පාදනය, සහල් නිෂ්පාදන  පිළිබඳ දත්ත පමණක් නොව සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳ දත්ත සහ ජනතාවගේ පාරිභෝජන රටාවන් සහ ප්‍රවණතා පිළිබඳ දත්ත ද මෙහි දී වැදගත් වන බවයි. වර්තමාන අර්බුදය තුළ නිවැරදි සහ කාර්යක්ෂම ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට නම් නිවැරදි දත්ත සහ තොරතුරු අත්‍යවශ්‍ය බව ද රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු වන්නේ විශ්වාසනීය දත්ත පද්ධතියක් මත බව ද වීරසේකර මැණිකේ මහත්මිය අවධාරණය කළාය.

සහල්වලින් ස්වයංපෝෂිත වීමෙන් එහාට ගොස් සමස්ත කෘෂිකාර්මික පද්ධතියම  නවීකරණය කළ යුතුයි –  දුමින්ද ප්‍රියදර්ශන – අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය

වර්තමාන ගෝලීය දේශපාලන සිතියම දෙස බලන විට මැදපෙරදිග කලාපය පවතින්නේ ගිනි කන්දක් මතය. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සෘජු හා වක්‍ර ගැටුම්කාරී වාතාවරණය හුදෙක් කලාපීය යුද්ධයක් නොව, සමස්ත ලෝකයේම පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව වැනි භූ-දේශපාලනිකව වැදගත් එහෙත් ආර්ථික වශයෙන් සංවේදී රටකට මෙම යුධමය තත්ත්වය බලපාන්නේ කෙසේද? විශේෂයෙන්ම අපගේ දෛනික ආහාර වේලෙහි සුරක්ෂිතතාවයට මෙයින් එල්ල වන තර්ජනය කෙබඳුද? මෙම අවස්ථාවේදී කුමන පාර්ශවයක් රාජ්‍ය පාලනය කළ ද විවිධ ක්‍රමවේදයන් තෝරාගෙන අවම හානියක් ඇතිවන අයුරින් මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුමය.

ආහාර සුරක්ෂිතභාවය වැදගත් ඇයි ?

ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පොදුවේ පිළිගත හැකි නිර්වචනයක් නොමැති බව කී දුමින්ද ප්‍රියදර්ශන මහතා, ඔහුගේ දීර්ඝ කාලීන භාවිතය අනුව ආහාර සුරක්ෂිතභාවය යන්න මෙසේ නිර්වචනය කළේය, “ආහාර සුරක්ෂිතතාවය (Food Security) යනු හුදෙක් වෙළඳපොළේ ආහාර තිබීම පමණක් නොවේ. ලෝක ආහාර සමුළුවේ නිර්වචනයට අනුව, සෑම පුද්ගලයෙකුටම පෝෂ්‍යදායී ආහාර සඳහා භෞතිකව මෙන්ම ආර්ථික වශයෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුය. වර්තමානයේ පවතින මැදපෙරදිග යුද්ධයක් වැනි ගෝලීය අර්බුදයකදී මෙම ‘ප්‍රවේශ වීමේ හැකියාව’ බරපතළ ලෙස අභියෝගයට ලක් වේ”.

මෙම නිර්වචනය මත පිහිටා දුමින්ද ප්‍රියදර්ශන මහතා යුධමය වාතාවරණය හමුවේ ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් පෙන්නා දුන්නේය.

“යුධමය වාතාවරණය හමුවේ ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට හේතු තුනක් තිබෙනවා. ඒ අතර සැපයුම් දාම බිඳ වැටීම ඉතාම වැදගත කරුණක්. මැදපෙරදිග කලාපයේ යුද්ධය හේතුවෙන් නැව් ගමනාගමනයට බාධා ඇති විය හැකි අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන මුහුදු මාර්ග අවහිරවීමෙන් ආනයනික භාණ්ඩ ප්‍රමාද වීම හෝ අත්හිටුවීම සිදුවිය හැකියි. ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම බරපතළ තත්ත්වයක්. ප්‍රවාහන පිරිවැය ඉහළ යාම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි වීම මෙහිදී සියලු දෙනාගේම අවධානය යොමු වන කරුණක්. ඒ වගේම දේශීය නිෂ්පාදනයට සිදුවන බලපෑම් යුධමය වාතාවරණය හමුවේ ආහාර සුරක්ෂිතතාව වැදගත් වීමට හේතුවක් ලෙස දැක්විය හැකියි. පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය සීමා වීමෙන් දේශීය වගාවලට බලපෑම් ඇති වීම මේ අතර ප්‍රධානයි. 2022 වර්ෂයේදී රසායනික පොහොර සීමා කිරීමේ තීරණයක් සමග 40%කින් පමණ වී අස්වැන්න අහිමි වීම වැනි කාරණා පිළිබඳව වර්තමානයේ දී විශේෂ අවධානයක් යොමුවිය යුතුයි” දුමින්ද ප්‍රියදර්ශන මහතා අවධාරණය කළේය.

  • ගත යුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ

මෙවැනි අවදානමකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු උපායමාර්ග පහක් දුමින්ද ප්‍රියදර්ශන මහතා හෙළි කළේය. ඒ අනුව සැපයුම්කරුවන් විවිධාංගීකරණය (Diversification) කළ යුතුය. චීනය මත පමණක් යැපෙන්නේ නැතිව රුසියාව, කැනඩාව සහ ජෝර්දානය වැනි අනෙකුත් ප්‍රධාන පොහොර නිෂ්පාදකයන් සමඟ කල්තියා ගිවිසුම්ගත වීම, රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීම් හරහා පොහොර ලබා ගැනීමට කටයුතු කිරීම ඔහු නිර්දේශ කළේය. සංගෘහිත පෝෂක කළමනාකරණය (Integrated Nutrient Management) වැදගත් අවශ්‍යතාවක් ලෙස පෙන්නා දුන් ප්‍රියදර්ශන මහතා රසායනික පොහොර සහ කාබනික පොහොර ඒකාබද්ධව භාවිතා කරන ක්‍රමවේද ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව පෙන්නා දුන්නේය. මෙම නිර්දේශයේ වාසියක් ලෙ ඔහු සැලකුවේ රසායනික පොහොර භාවිතය 25% – 30% කින් අඩු කරමින් පසේ සාරවත් බව පවත්වා ගත හැකි බවයි.

නිරවද්‍ය කෘෂිකර්මාන්තය (Precision Agriculture) වෙත යාමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු පසේ පවතින පෝෂක මට්ටම පරීක්ෂා කර, අවශ්‍ය ප්‍රමාණයට පමක් පොහොර යෙදීම මඟින් අපතේ යාම සහ අතිරික්ත පිරිවැය අවම කිරීම කළ හැකි බව ද සඳහන් කළේය.

පොහොර සංචිත පවත්වා ගැනීම ඔහුගේ තවත් නිර්දේශයකි. හදිසි අර්බුදයකදී භාවිත කිරීමට හැකි වන පරිදි අවම වශයෙන් එක් වගා කන්නයකට ප්‍රමාණවත් පොහොර තොග රජය සතුව තබා ගැනීම මෙන්ම පවත්නා ‌තොග සංචිත අසාමාන්‍ය මිල ගණන්වලට අලෙවි වීමට ඉඩ නොදීම සහ ඇතිවිය හැකි අක්‍රමිකතාවයන් පාලනය කිරීම සහ ඉන්ධන ලබාදීම වැනි ක්‍රමවේදයක් පොහොර ලබාදීමට ද ක්‍රියාත්මක කළ යුතු බව ඔහු නිර්දේශ කළේය.

අවසාන වශයෙන් ඔහුගේ නිර්දේශ අතර වූයේ දේශීය පොහොර නිෂ්පාදනය දිරිගැන්වීමයි. මෙරට පවතින එප්පාවල පොස්පේට් වැනි සම්පත් උපයෝගී කරගෙන දේශීයව පොහොර නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු කීවේය.

තම ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් දුමින්ද ප්‍රියදර්ශ මහතා මෙසේ ද සඳහන් කළේය, “එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ අනතුරු ඇඟවීම්, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IFPRI) පර්යේෂකයින් සහ S&P ග්ලෝබල් එනර්ජි විසින් සම්පාදනය කරන ලද වෙළඳපළ දත්ත පෙන්නුම් කරන්නේ ගැටුමේ බලපෑම ඉහළ යන ඉන්ධන මිල, සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම සහ පොහොර සැපයුම් දැඩි කිරීම හරහා කලාපයෙන් ඔබ්බට පැතිර යන බවයි. ගෝලීය ආහාර නිෂ්පාදනයට ප්‍රධාන යෙදවුම් සියල්ල රුසියාව-යුක්රේන යුද්ධයෙන් පැන නගින කළු මුහුදේ සැපයුම් දාම බාධා හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පැවති අස්ථාවරත්වයකින් පසුව ගෝලීය ආහාර මිල ස්ථාවර වීමට පටන් ගත් විට පීඩනය මතුවෙමින් තිබෙනවා”.

  • කළ යුත්තේ කුමක්ද ?

ආහාර සුරක්ෂිතතාවය යනු හුදෙක් කෘෂිකාර්මික ගැටලුවක් නොව එය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් බව දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේය. මැදපෙරදිග යුධමය තත්ත්වය අපට පාලනය කළ නොහැකි බාහිර සාධකයක් වුව ද, එහි බලපෑම අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් අප සතුව තිබිය යුතු බව අවධාරණය කළ ප්‍රියදර්ශන මහතා සහල්වලින් ස්වයංපෝෂිත වීමට එහා ගොස්, සමස්ත ආහාර පද්ධතියම නවීකරණය කිරීම හරහා ඕනෑම ගෝලීය අර්බුදයකදී නොසැලී සිටිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව ද පෙන්නා දුන්නේය. ඒ අනුව ඉදරියේදී ඇති විය හැකි ආහාර අර්බුදය පාලනය කර ගැනීම වෙනුවෙන් වර්තමානයේ ඉන්ධන සඳහා ලබා දෙන රාජ්‍ය දායකත්වය, මැදිහත්වීමම රසායනික පොහොර අංශය සඳහා ද ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේය.

“අප විසින් ආර්ථික වශයෙන් කලාපීය මේන්ම ලෝකයත් සමග  පවත්වා ගෙන යන සම්බන්ධතා මෙන්ම මෙම පවත්නා යුදමය තත්ත්වය  හමුවේ ඔරොත්තුදීමේ කම්පන හැකියාව සහ මෙම යුදමය තත්ත්වය තව කොතෙක්කල් පවතී ද යන්න මත මෙම සියලු සාධක වෙනස්විය හැකියි. කෙසේ වුව ද ඉදිරි සති දෙකක කාලය මෙම දැනට පවතින යුදමය තත්ත්වය මෙලෙසම පවතී නම් ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් ඇති විය හැකි අර්බුදය වඩාත් තීව්‍රර විය හැකියි” දුමින්ද ප්‍රියර්ශන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website