රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (28) දින නිකුත් කළ නිවේදනයක සටහන වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය මඟින් පසුගිය දෙසැම්බර් 24 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රැඳවුම් නියෝග මත මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, සැකකරු දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පවත්වන බවට සහ පහත අපරාධ සිද්ධින්වල වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවටද අනාවරණය වී ඇත.
- 2024.03.11 අම්බලන්ගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු කිරීම
- 2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.
- 2025.11.28 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.














