රට වට්ටන්න ජවිපෙ වැඩවර්ජන 11,500ක් කළා – මහාචාර්ය චන්න ජයසුමන, හිටපු රාජ්‍ය අමාත්‍ය

අදූරදර්ශී පාලනය නිසා, මිත්‍යා දෘෂ්ටික පාලනය නිසා, වැඩබැරි, පච කියන පාලනය නිසා රට ඉතාම අසීරු අවධියකට ඇවිත් තියෙන්නේ. සරකව කිවොත් රටට හෙණ විතරයි ගහලා නැත්තේ.

අවුරුදු 2600ක් පමණ වන අපේ ලිඛිත ඉතිහාසයේ සෑම අවස්ථාවකම යම්කිසි බරපතළ අර්බුදයක් ඇති වුණා ද, ඒක ඇති වුණේ බාහිර සාධක නිසා. අභ්‍යන්තරයේ නිර්මාණය වුණ සෑම අර්බුදයකටම බාහිර සාධක බලපෑමා, බාහිර පාර්ශ්වයන්ගේ ඍජු සහාය ලැබුණා. ඒ නිසා මේක විතරක් මැදපෙරදිග යුද්ධය නිසා සිදු වුණා කියලා වගකීමෙන් ගැළවෙනන් ජනාධිපතිවරයාට, ආණ්ඩුවට බැහැ. අපේ ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දුන් සමස්ත අර්බුදයට පදනම වුණේ කොවිඩ් 19 ගෝලීය වසංගතය. කොවිඩ් වසංගය අවසන් වෙනවත්  එක්ක රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වුණා. ඒකේ බලපෑමෙන් 2022 පෙබරවාරී සහ මාර්තු මාසවල වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළ ගියා. ජාත්‍යන්තර බලශක්ති විශේෂඥයින්ට අනුව ලෝක ඉතිහාසයේ එතරම් විශාල අගයකින් තෙල් මිල ඉහළ ගිය දෙවැනි අවස්ථාව ඒක. මගේ අදහස තමයි පිටින් එන බලපෑම රට අභ්‍යන්තරයේ  කළමනාකරණය කර ගැනීම තමයි  වැදගත් වෙන්නේ.

නැහැ, අපි මේ කතාවේ මුලට යා යුතුයි. 2019 දෙසැම්බර් මාසේ තමයි කොවිඩ් – 19 වසංගතය ආරම්භ වුණේ. ඒකේ බලපෑම ලංකාවට ආවේ 2020 මාර්තු මාසේ. මේ ආකාරයේ ගෝලීය වසංගතයක් ආවේ අවුරුදු 100කට පමණ පස්සේ. මේක ලෝකයට අලුත් තත්ත්වයක්. මේ හරහා අපට මුහුණ දීමට සිදු වුණ ප්‍රශ්න මොනවද ?, අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. අපනයන කටයුතු අඩපණ වුණා, විදේශ ප්‍රේෂණ විශාල ලෙස අඩු වුණා, විදේශගතව සිටි ශ්‍රමිකයින් විශාල ලෙස යළි ලංකාවට පැමිණියා. විදේශ ආයෝජන අහිමි වුණා. මේ ආකාරයෙන් රටට විදේශ විනිමය ලැබෙන සියලුම මාර්ග අවහිර වුණා. මේ තත්ත්වය අවුරුදු දෙකක් තිබුණා, 2020 මාර්තු සිට 2022 මාර්තු දක්වා මේ අර්බුදය අඛණ්ඩව තිබුණා. මේ අවුරදු දෙක පුරාම මේ පීඩනය දරා ගැනීමට ආණ්ඩුවට සිදු වුණා. අපේ විදේශ සංචිත අඩු වුණේ මේ නිසා. මේ ආකාරයෙන් විදේශ සංචිත අඩු වෙන කොට දේශීය වශයෙන් ආණ්ඩුවේ වියදම තව තවත් ඉහළ ගියා. කොවිඩ් වසංගතයෙන් ආදායම් අහිමි වුණ පවුල් වලට රුපියල් 5000 බැගින් අවස්ථා තුනක දී ලබා දුන්නා.  ගෙවල් වලට බඩු මළු දුන්නා. කොචිඩ් ආසදිතයින්ට අවශ්‍ය සියලුම සෞඛ්‍ය පහසුකම් ලබා දුන්නා. එන්නත්කරණය හරහා ඉතාම සාර්ථක ලෙස  වසංගතය පාලනය කරන්න අපට හැකියාව ලැබුණා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක් වුණා. ඒ වන විට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මම. කොවිඩ් වසංගතය අවසන් වන විට රුසියානු – යුක්ක්‍රේන යුද්ධය ආරම්භ වුණා. ඒ නිසා තමයි 2022 මාර්තු 10 වැනිදා වාර්තාගත ලෙස තෙල් මිල ඉහළ ගියේ.  මේ සමඟ අපට  ඛනිජ තෙල් ලබා ගැනීමට අපහසු වුණා. ඒ හරහා බලශක්ති අර්බුදයක් රට තුළ පැනනගුණා. 

මේ ගෝලීය බලශක්ති අර්බුදය කළමනාකරණය කර ගැනීමට අපි සියලු පියවර ගත්තා. නමුත් එවකට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ඉතාම පටු ආකාරට, අවස්ථාවාදී ආකාරයට රජයේ වැඩපිළිවෙළ කඩාකල්පල් කළා. අද තමන් අර්බුදයට  මුහුණ දෙන විට වැදි බණ දේශනා කරන ජනතා විමුක්ති පෙරමුණ තමන්ට කරන්න පුළුවන් සියලුම ආකාරයේ කඩාකප්පල්කාරී වැඩ කළා. ලෝක ඉතිහාසයේ දෙවැනියට බොරතෙල් මිල ඉහළ ගිය දවසේ, බැරලයක් ඩොලර් 139ක් වුණ දවසේ ජවිපෙ දීප ව්‍යාප්ත  වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා. ගුරුවරු ඇතුළු රාජ්‍ය සේවකයෝ පාරට බැස්සුවා. 2022 මාර්තු 24 වැනිදා නුගේගොඩ දැවැන්ත ආණ්ඩු විරෝධී රැළියක් කැදෙව්වා. ආණ්ඩුවට කරන්න පුළුවන් බලපෑම් උපරිම වශයෙන් කළා, රජයට දෙන්න පුළුවන් උපරිම පීඩනය එල්ල කළා. ඔවුන්ගේ වෘත්තීය සමිති හරහා කරන්න පුළුවන් සියලුම ආකාරයේ බාධා කිරීම් කළා. කොවිඩ් වසංගතයෙන්, රුසියා – යුක්‍රේන යුද්ධයෙන් හිරවෙලා තිබුණ ආණ්ඩුවේ බෙල්ල මිරිකලා විනාශම කරන්න හැදුවා. එහෙම තමයි ගෝලීය අර්බුදය හමුවේ අසීරුවට පත් ආණ්ඩුවට එරෙහිව එදා  ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ. අද විපක්ෂය මේ ආකාරයේ විනාශකාරී ලෙස, කඩාකප්පල්කාරී ලෙස කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩුවට එරෙහිව ජනතාව, වෘත්තීය සමිති උසිගන්වන්නේ නැහැ. නමුත් එදා ජවිපෙ කටයුතු කළේ ඉතාම විනාශකාරී ආකාරයට.

බලය ලබා ගැනීමට කරන ඔ්නෑම දෙයකට සුජාතභාවයක් ලැබෙන්නේ නැහැ. දේශපාලනයේ ‘පජාත වැඩ’ සහ ‘සුජාත වැඩ’ කියලා දෙකක් තිබෙනවා. ජවිපෙ 1971 දී සහ 1988 -89 කැරළි ගහලා මිනිස්සු මැරුවේ ඇයි ?, රාජ්‍ය දේපොළ විනාශ කළේ ඇයි ?. ඔවුන් ඝාතනය නොකළේ කවුද ?, 1971 දී අගමැතිණිය පැහැර ගෙන බලය අල්ලා ගැනීමට සැලසුම් කළා, 1988 දී පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළා, අමාත්‍යවරු, මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, විජය කුමාරතුංගග ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්, අරක්ෂක අංශ නිලධාරීන් ඝාතනය කළා. ඒ සෑම දේකින්ම අපේක්ෂා කළේ රාජ්‍ය බලය පැහැර ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදීව, මැතිවරණයකින් ජයග්‍රහණය කළ ආණ්ඩුව පෙරළා දමා කුමන්ත්‍රණකාරීව රාජ්‍ය බලය පැහැර ගැනීම. වැඩවර්ජන, උද්ඝෝෂණ, කුමන්ත්‍රණ මේ සේරම කළේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට. ජවිපෙ 1965 සිට 2025 දක්වා වැඩවර්ජන 11,500කට අධික ප්‍රමාණය කරලා තිබෙනවා. මේවා කළේ මොකටද, පැහැදිලිවම රාජ්‍ය බලය අල්ලා ගැනීමට. නමුත් මේ කිසිවක් නීත්‍යානුකූලව බලය දිනා ගැනීමට කළ දේවල් නොවෙයි. අනීති, ව්‍යවස්ථා විරෝධී, ත්‍රස්තවාදී ක්‍රියා. ජවිපෙට කවදාවත් නීත්‍යානුකූලව බලය දිනා ගැනීමට හැකියාවක් නැහැ, ඡන්ද පදනමක් නැහැ. ඔවුන් 1965 සිට ජනතා ඡන්දයකින් ජයග්‍රහණය කළේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පමණයි. ඒකත් හරියට කළේ නැහැ.

මේ පසුබිම තුළ ජවිපෙ දැනගෙන හිටියා  සාමාන්‍ය තත්ත්වයක් තුළ රාජ්‍ය බලය දිනා ගන්න බැහැ කියලා. 5%කට විතරයි යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ‘පජාතික ක්‍රමවලින් බලය අල්ලා ගැනීමට සඳහා උත්සාහා කළේ. ජවිපෙ 2022 දිත් කැරැල්ලක් ගැහුවා.  අරගලයේ නාමයෙන් ඉදිරියට ආවේ ඒක. ගෝලීය තෙල් මිල ඉහළටම ගිය 2022 මාර්තු, අප්‍රේල්වල් ජනතාව කුපිත කරවලා, ඔවුන් තුළ වෛරය වපුරලා, ජනතාව පාරට බස්සලා ජවිපෙ තුන්වැනි කැරැල්ල ගැහුවා. 2022 අප්‍රේල් 01 වැනිදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගල් ගැහුවා. ඉදිරි සැලසුම ගැන ටෙස්ට් කරලා බැලුවා. වැඩේ හරි, මැයි 09 වැනිදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහ නායකයින්ගේ ගෙවල්වලට ගැහුවා, රාජ්‍ය මාධ්‍ය අත්පත් කර ගත්තා. ජනාධිපති මන්දිරේ, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ල ගත්තා. පාර්ලිමේන්තුව අල්ල ගන්න ඉදිරියට ගියා. පාර්ලිමේන්තුවට ගිනි තියන්නයි ඔවුන්ගේ සැලසුම වුණේ. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දේශපාලනයෙන් ඉවත් කිරීම තමයි සැලසුම වුණේ. 1971, 89-89 වගේම තමයි සියල්ල සිදු වුණේ. ඉදිරි මැතිවරණයේ දී බලය දිනා ගැනීම සඳහා ඔවුන් රට තුළ අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය කළා. ඒ අසාමාන්‍ය තත්ත්වය තමයි 2024 ජනාධිපතිවරණයේ දී 42%ක් දක්වා ඉහළට ගියේ. අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ බහුතරයේ විශ්වාසය දිනා ගත් ජනාධිපතිවරයෙක් නොවෙයි. ඔහු අති සුළුතර ජනාධිපතිවරයෙක්. ඒ ජයග්‍රණය මත බිහිවුණ පාර්ලිමේන්තුවත් දේශපාලන විකෘතියක්. ඒ දේශපාලන විකෘතියේ ප්‍රතිඵල තමයි අද මේ තියෙන්නේ. වැඩ බැරි ආණ්ඩුවක්, පච කියන ආණ්ඩුවක් නිර්මාණය වුණේ මේ ‘පජාත දේශපාලනයෙන්” බලය දිනා ගත් නිසයි.

මේකට කාරණා කිහිපයක් බලපෑවා. අපේ කඳවුරට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වන විට වයෝවෘද තත්ත්වයේ හිටියේ. එතුමා කායිකව සහ මානසිකව දුර්වල වෙලා හිටියේ. මේ නිසා තමයි 2019 දී ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබුණේ. එතුමා දේශපාලනයට අලුත් පුද්ගලයෙක්. ඔ්නෑවට වඩා අවංක කෙනෙක්, ඒ වගේම එතුමා බොහෝම විවෘත පුද්ගලයෙක්. ඒ වගේම එතුමා බිහිසුණු යුද්ධයකට නායකත්වය දීලා ඒක ජයග්‍රහණය කළ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා. මිනිස් ජීවිතවල වටිනාකම ඔහු මනාව දැනගෙන හිටියා. මිනිස්සුන්ට හානිකරන්න, ඝාතනය කරන්න එතුමට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අරගලය හමුවේ එතුමා අනවශ්‍ය තරම් මෘදු වුණා, මානුෂික වුණා. මගේ අදහස අනුව අරගලය හමුවේ ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේ ‘සැබෑ බෝධිසත්ත්වයෙක්’ වාගේ. නමුත් රට තුළ ක්‍රියාත්මක වුණ අවස්ථාවාදී සහ අන්තවාදී බලවේගය සහ විජාතික බලවේග ඒ තත්ත්වය තමන්ගේ වාසියට හරහා ගත්තා. ජාතිකවාදී ආණ්ඩුව පළවා හැරීමට නිර්මාණය වී තිබුණ සියලු තත්ත්වයක් යොදා ගත්තා. මේ තත්ත්වය තුළ ජවිපෙ ඉතාම සටකපට ලෙස, අවස්ථාදී ලෙස ජාතිකවාදී ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව රවට්වා ගත්තා. තමන්ගේ නායකයින් කෙරෙහි වෛරයක් ඇති කළා. රාජපක්ෂ පවුලට කළ හැකි සෑම නින්දාවක්ම කළා, කියන්න පුළුවන් තරම් බොරු කිව්වා. සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට එරෙහිව වෛරය වැපුරුවා, 225 හොරු කියන ප්‍රවාදය සමාජගත කළා. මේ ආකාරයෙන් ජාතිකවාදී  කඳවුරට, ප්‍රගතිශීලී කඳවුරට උදව් කළ ජනතාව තුළ දැඩි අපේක්ෂාභංගත්වයක් සහ තමන්ගේ නායකයින් ගැන වෛරයක් ඇති කළා. ඒ වෛරය තුළින් තමයි 2024 ජනාධිපතිවරණයේ දී ඊනියා මාළිවාම ඉදිරියට දා ගෙන පොල්පොට්වාදී ජවිපෙ රාජ්‍ය බලය දිනා ගන්නේ. ඔවුන් අපේ කඳවුරේ ජනතාව තුළ වපුරපු වෛරය සහ අපේක්ෂා භංගත්වය තුළිනුයි 42%ක ඡන්ද දිනා ගත්තේ.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website