රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි.
යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කරනලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන ලද මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම අංශය මගින් සම්පාදනය කර ඇත.
මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීමට සමගාමීව රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන් මාලාවක් ද ආරම්භ කෙරිණි. ඊට අදාළව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් සියයක කණ්ඩායමක් පුහුණුකර ඔවුන් හරහා දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ඊට අදාළව රජයේ රෝහල්වල කටයුතුකරන සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන්හි දී ඔක්සිජන් භාවිතා කිරීම සඳහා වැදගත්වන සියලුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇත. මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් ඔක්සිජන් භාවිත රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාලකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව බෙහෙවින් උපකාරී වේ.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම සහ රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන් මාලාවක් ද ආරම්භ කිරීම කාලෝචිත අවශ්‍යතාවයක් බවයි. රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සඳහා අවශ්‍ය වන ඔක්සිජන් භාවිතයට රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.











