මේ ආණ්ඩුවේ බලශක්ති ප්‍රතිපත්ති හදන්නේ ‘ඛනිජ තෙල් ඒජන්තවරු’ – ආචාර්ය විදුර රළපනාව – බලශක්ති විශ්ලේෂක

ලංකාවේ බලශක්තිය නිෂ්පාදනය සිදුවන්නේ ප්‍රධාන ක්‍රම හතරකින්. විශාල ජල විදුලි බලාගාර, ගල් අඟුරු, ඛනිජ තෙල් සහ කුඩා ජල විදුලි බලාගාර, සුළං සහ සූර්ය බලශක්තිය ඇතුළත්  පුනර්ජනනීය බලශක්තිය. ඊට අමතරව දැව භාවිතයෙන් විදුලිය ජනනය කිරීමක් සිදුවෙනවා. නමුත් කාලයෙන් කාලයට මේ එක් එක් අංශයෙන් විදුලිය ජනනය කිරීමට ඇති හැකියාව වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස මෝසම් වර්ෂාව ලැබෙන මාසවල ඉතා විශාල වශයෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබෙන නමුත් වර්ෂාව අඩු  මාසවල එය විශාල වශයෙන් අඩු වෙනවා. ඒ වගේම මෝසම් සුළං සමයේ සුළං බලාගාරවලින් ද වැඩි විදුලිය ප්‍රමාණයක් ජනනය කරන්න පුළුවන්. වත්මන් තත්ත්වය දෙස අවධානය යොමු කළොත්, ජූනි මාසයේ නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වන තෙක් පවතින  පෙබරවාරී සිට මැයි දක්වා මාස හතර තුළ වැඩි වශයෙන් තාප විදුලි බලාගාර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ මාස හතර තුළ  සූර්ල බලශක්තිය ද විශාල වශයෙන් ජනනය කරනවා. සමස්තයක් ලෙස මේ මාස හතර  තුළ තමයි විදුලිය ජනනය කිරීමට වැඩිම මුදල් වැය වෙන්නේ. මේ තත්ත්වය තුළ තමයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වැදගත් වෙන්නේ. ඒකට හේතුව තමයි ඛනිජ තෙල්වලට වඩා අඩු මුදලකින් ගල් අඟුරුවලින් විදුලිය ජනනය කිරීමට හැකියාව තිබෙනවා.

නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඇමැතිවරයා කියන තැන නෙ‌මෙයි. ප්‍රශ්නය තියෙන්නේ ගල් අඟුරුවල. පසුගිය ජනවාරී මාසයේ සිට ලංකාවට ගොඩබාල ගල් අඟුරු ප්‍රමිතියෙන් බාලයි. එම ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු දහනය කිරීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කිරීමට නොහැකි වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස පසුගිය දින 10ක පමණ කාලයක් ගත්තොත් සාමාන්‍ය අගයක් ලෙස මොගවොට් 150-160ක් පමණ අඩුවෙන් තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ. මේ ප්‍රමාණය කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සමානයි. මේ බාල ගල් අඟුරු නිසා කැළණිතිස්ස බලාගාරය ජනනය කරන තරම් විදුලිය ප්‍රමාණයක් ඉන්ධනවලින් ජනනය කිරීමට සිදුවෙලා තියෙනවා. මේ නිසා රටට ඉතා විශාල අමතර විදයමක් දැරීමට සිදුවෙනවා.  ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ වියදම දිනපතා ඉහළ යමින් තිබෙනවා. මම යළි මතක් කරනවා ඩීසල් හෝ දැවි තෙල් දහනය මගින් මෙගවෝට් 150-160ක් නිෂ්පාදනය කිරීමට සිදුවෙන්නේ බාල ගල් අඟුරු දහනය නිසා නොරොච්චෝලෙන් අහිමි වන විදුලිය ප්‍රමාණය තුලනය කර ගැනීමට යි.

ඔව්, ඒක තමා බරපතළම ප්‍රශ්නය. වත්මන් ගල් අඟුරු ටෙන්ඩරය දිනාගත් සමාගමට නියමිත කාලයට ගල් අඟුරු ආනයනය කිරීමට නොහැකි වී තිබෙනවා. මෙතන ප්‍රශ්නය සංකීර්ණ වෙන්නේ නොරොච්චෝලේට ගල් අඟුරු බාන්න පුළුවන් සැප්තැම්බර් මැද සිට අප්‍රේල් තුන්වන සතිය දක්වා කාලය තුළ පමණයි. ඊට පසුව ක්‍රියාත්මක වෙන නිරිතදිග මෝසම් සුළං කාලයේ ගල් අඟුරු බාන්න බැහැ. ඒ නිසා මෝසම් සුළං රහිත මාසවල ලංකාවට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගොඩබානවා. නමුත් 2025-26 කාලසීමාවේ ගල් අඟුරු නැව් 36ක් ආනයනය කළ යුතුව තිබුණා. මීට පෙර ටෙන්ඩරයේ නැව් 11ක් නොවැම්බර් වන විටත්, වත්මන් ටෙන්ඩරය අනුව නැව් 25ක් අප්‍රේල් 20 වන විටත් ආනයනය කළ යුතුව තිබුණා. නමුත් මේ දක්වා ආනයනය කරලා, ගොඩබාලා තියෙන්නේ නැව් 12ක් පමණයි. ඒ කියන්නේ ඉදිරි මාසය ඇතුළත තව නැව් 13ක් ආනයනය කළ යුතුයි. මේ පසුබිම තුළ නැව් 4ක් හෝ 5ක් ගොඩබාන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා.

ඒ ගැන අපි කවුරුත් දන්නවා. අඩුවන එක නැවකට එක බලාගාරයක් දවස් 25ක් වගේ කාලයක් වසා දමන්න සිදුවෙනවා. යම්කිසි ආකාරයකින් නැව් හතරක් ප්‍රමාද වුණොත් එක බලාගාරයක් මාස තුනක පමණ කාලයක් වසා දමන්න සිදුවෙනවා. තවත් ප්‍රශ්නයක් තිබෙනවා. දැනට පුරෝකථනය කර තිබෙන ආකාරයට මෙවර නිරිතදිග මෝසම් වර්ෂාව වර්ෂාව සැලකිය යුතු ලෙස අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ මේ වර්ෂයේ ජූලි – අගෝස්තු වන විට වර්ෂාවත් අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ ජූලි – අගෝස්තු වන විට වර්ෂාපතනයත් අඩුයි, නොරොච්චෝලේ එක බලාගාරයක් වසා දැමීමටත් සිදුවෙනවා. ඒ අනුව මේ අවුරුද්දේ ජූලි – අගෝස්තු කාලයේ විශාල වශයෙන් ඉන්ධන භාවිතයෙන් තමයි විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවෙන්නේ. එහි ප්‍රතිඵලය තමයි විදුලි ජනනයට යන වියදම විශාල වශයෙන් ඉහළ යාම.  මෙහිදී ආණ්ඩුව හමුවේ තිබෙන්නේ විකල්ප දෙකයි. එක්කෝ ඉහළ යන විදුලි ජනන පිරිවැය  විදුලි බිලට එකතු කළ යුතුයි. නැතිනම් මහා භාණ්ඩාගාරය  විසින් ඒ මුදල අවශෝෂණය කරගත යුතුයි. ඒ කොහොම කළත් වැය වෙන්නේ මේ රටේ මහජනතාවගේ මුදල්ම තමයි.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇත්ත කිව්ව නම් ඒ බොහොම ටිකයි. ගල් අඟුරුවල ප්‍රමිතිය බාලයි කියලා මුලින්ම හෙළිදරව් වුණේ ජනවාරී මාසේ. නමුත් බලශක්ති අමාත්‍යවරයා, ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය සහ විද්වතුන් මේ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. නොරොච්චෝලේ බලාගාරයේ රසායනාගාර වාර්තා වැරදියි කියලා අමැතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා. මේ කතාව මාස දෙකක් ඇදගෙන ගියා. ප්‍රශ්නයට හේතුව පිළිගෙන ඒකට විසඳුම් සොයන්න කිසිම අවස්ථාවක ඉදිරිපත් වුණේ නැහැ. අද දක්වාම එවැනි උත්සාහයක් ගන්න පාටක් නැහැ. අනෙක් කාරණය, අප්‍රේල් මාසයේ සිට විදුලිය ජනනයට ඉන්ධන භාවිතා කරනවා කියලා බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශය, මේ වන විට ඉන්ධනවලින් විදුලිය ජනනය කරනවා. මේ දිනවල සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබා ගන්න දැවිතෙල් අප සතුව තිබෙනවා. ඒ අනුව සපුගස්කන්ද සහ බාජ් බලාගාරය දැවිතෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරනවා.  කැළණිතිස්ස බලාගාරය නැප්තා වලින් වැඩ කරනවා,  කැළණිතිස්ස -2 බලාගාරය ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරනවා.  යුගදනවි බලාගාරය දැවි තෙල් වලින් දුවනවා, ඒ වගේම සෝබාදනවි බලාගාරය ඩීසල් වලින් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දැවිතෙල්  බලාගාර තුනක්, ඩීසල් දෙකක් සහ නැප්තා එක් බලාගාරයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. මේ බලාගාර සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ බාල ගල්  අඟුරු හේතුවෙන් නොරොච්චෝලේ විදුලි ජනනය අඩු වීම නිසයි.

ඔව්, නොරොච්චෝලේ පර්යේෂණාගාර වාර්තා වැරදියි කියලා ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. නමුත් මේ ගැටලුව විසඳා ගැනීමට මේ දක්වා කිසිම උත්සාහයක් ගෙන නැහැ. ආණ්ඩුවටත් මේ ගැන ඇත්ත ත්තත්වය හෙළි කරන්නේ නැහැ. ඒක කනගාටුවට කරුණක්.

බොරතෙල් නැති නිසා අප්‍රේල් 12-13 වන විට සපුගස්කන්ද පිරිපහසුව වසා දැමීමට සිදුවෙනවා. ඒකට හේතුව තමයි සපුගස්කන්ද පිරිපහසුවට භාවිතා කරන්න පුළුවන් ඉරාන බොරතෙල් සහ අඩුබාබි බොරතෙල් පමණයි. මේ වන විට මේ දෙරටින්ම බොරතෙල් ලබා ගැනීමට හැකියාවක් නැහැ. අපි බොරතෙල් ටෙන්ඩර් කළාට මුල්ම බොරතෙල් නැව එන්නේ ජූනි මාසසේ අග. ඒ කියන්නේ මාස දෙකහමාරක් පමණ සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුවෙනවා. ඒ කියන්නේ බොරතෙල් වල අතරු ඵලයක් වන දැවිතෙල් සහ නැප්තා කියන අතුරු නිෂ්පාදන දෙකම නොලැබී යනවා. ‘අප්‍රේල් වල සිට ඩීසල් වලින් විදුලිය ජනනය කරන්න වෙනවා’ කියලා බලශක්ති අමාත්‍යවරයා කිව්වේ මේකයි. ඒ කියන්නේ අප්‍රේල්වල සිට දැවිතෙල් සහ නැප්තා බලාගාර ඩීසල් වලින් ක්‍රියාත්මක කරනවා කියලා තමයි ඇමැතිවරයා කිව්වේ. ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඩීසල් බලාගාර තුනක් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මෙහි ගැටලු දෙකක් මම දකිනවා. මුලින්ම ආණ්ඩුව විශාල වරදක් කළා. රටකට බලශක්ති සුරක්ෂිතතාවය ඉතාම වැදගත්. බලශක්ති සුරක්ෂිතතාවය කියන සංකල්පයේ ඉතාම වැදගත් අංග දෙකක් තිබෙනවා. අංක එක, මහජනතාවට බලශක්තිය ලබා ගැනීමට හැකියාව, අවස්ථාව තිබිය යුතුයි. එහි අදහස තමයි ‘අවශ්‍ය ප්‍රමාණයට බලශක්තිය තිබිය යුතුයි’. නමුත් මේ වන විට මේ අංශය බිඳ වැටිලා තිබෙන්නේ. අංක දෙක, බලශක්තිය අලෙවි කළ කළ යුත්තේ ජනතාවට එය මිලදී ගැනීමට හැකි මිලකට පමණයි. මේ වන විට මේකත් අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. ඉන්ධන වගේම විදුලියත් ‘දරාගත හැකි මිල’ කියන කාරණයෙන් ඔබ්බට යමින් තිබෙනවා.

ඇයි එවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ ?, මේකට සම්බන්ධ ප්‍රතිපත්තිමය ප්‍රශ්නය කුමක් ද ?

ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ආණ්ඩුවට බලශක්ති සුරක්ෂිතතාවය සම්බන්ධ නිවැරදි ප්‍රතිපත්තියක් නැහැ. ආනයනික ඉන්ධන මත රඳා සිටින රටකට බලශක්ති සුරක්ෂිතතාවයක් නැහැ. පසුගිය දශකය තුළ බලශක්ති සුරක්ෂිතතාවය බරපතළ ලෙස අභියෝගයට ලක්ව තිබෙනවා. මිල ඉහළ යාම සහ හිඟය විටින් විට වාර්තා වෙනවා. ආනයනික ඉන්ධන (ඛනිජ තෙල් සහ ගල් අඟුරු) මත යැපෙ තාක්කල් අපට මේ ගැටලුව තිබෙනවා. මෙහි තවත් වැදගත් මෙන්ම, බරපතළ කතාවක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු  බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයට ළං වුණේ ‘පොසිල ඉන්ධන ලොබි කණ්ඩායමක්’. ඔවුන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ වැඩි වැඩියෙන් ඛනිජතෙල් ප්‍රවර්ධනය වන ආකාරයට බලශක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි.

නැහැ, මේ ආණ්ඩුව මුලින්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අඩපණ කළා. පුනර්ජනනීය විදුලිබලාගාර ගොඩනගන බවට පොරොන්දු  දී තිබුණත් අද දක්වා ඒ් පොරොන්දු ඉටුකරලා නැහැ. 2025 ජනවාරී වන විට ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සමාගම් 1500ක් පමණ තිබුණා, දැන් ඒක 400 දක්වා අඩුවෙලා තිබෙනවා. ඒකෙන්ම පැහැදිලි වෙනවා වත්මන් ආණ්ඩුව පුනර්ජනනීය බලශක්තියට අවස්ථාවක් නොදෙන බව. වර්තමාන බලශක්ති අර්බුදය හමුවේ අපි ජාතියක් ලෙස කළ යුත්තේ ඛනිජ තෙල් සහ ගල් අඟුරු මත යැපීම හැකිතාක් අඩුකිරීමයි. පුනර්ජනනීය බලශක්තිය සහ විද්‍යුත් වාහන වලට යොමු වීමයි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් ඛනිජ තෙල් මත යැපීම අඩුකළ හැකියි.

නොරෛාච්චෝලේ බලාගාරයෙන් සමාන්‍යයෙන් දෛනිකව අළු ටොන් 800ක් පමණ ඉතිරි වුණා. නමුත් මේ වන විට ටොන් 1500-1800 දක්වා අළු ප්‍රමාණයක් දවසකට ජනනය වෙනවා. මේ අළු සිමෙන්ති සමාගම්වලින් භාර ගත්තා. නමුත් මේ වන විට ජනනය වන සම්පූර්ණ ප්‍රමාණය අදාළ සමාගම්වලට භාර දෙන්න බැහැ. මේ වන විට මේ අතිරිත්ත අළු බලාගාරය ඇතුළතම තිබෙන ‘අළු ගබඩා’ වල ගබඩා කිරීමට පියවර ගෙන තිබෙනවා. මේක විවෘත අවකාශයේ සිදුවෙන්නේ. මෝසම් සුළං ආරම්භ වූ පසු මේ අළු  ගමට යනවා. තත්ත්වේ තවත් අර්බුදයට යන්නේ අප්‍රේල් මාසේ සති දෙකක් සිමෙන්ති සමාගම් වැඩ නතර කරනවා. එතකොට මේ බාල ගල් අඟුරු නිසා දෛනිකව ජනනය වන අළු ටොන් 1500ම විවෘත අවකාශයේ ගබඩා කළ යුතුයි. මේක ආසන්න ගම්මාන වලට බරපතළ ප්‍රශ්නයක්  වෙනවා. මේ අළු සෞඛ්‍යට ඉතාම අහිතකරයි. විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට මේ අළු මාරාන්තිකයි. මේවා මෙපමණ කාලයක් තිබුණ ප්‍රශ්න. නමුත් බාල ගල් අඟූරු මේ ප්‍රශ්නය තවත් උග්‍ර කරනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website