ආණ්ඩුව කවුරු කළත් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම ඒ ආණ්ඩුවේ වගකීමක්. නීතියේ ඇති ආකාරයට යුක්තිය පසිඳලීම, පරීක්ෂණ පැවැත්වීම හා නඩු පැවරීම, නීතියේ ඇති ආකාරයට රටේ පාලනය ගෙන යාම රජයක වගකීමක්. නමුත් වත්මන් මාළිමාව ආණ්ඩු පාලනය තුළ නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසය පළුඳු වෙමින් තිබෙනවා. රජය සහ රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කරන ඇතැම් ක්‍රියාමාර්ග මේ තත්ත්වයට හේතු වෙලා තිබෙනවා.
නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ යුධ හමුදා මූලස්ථානය පෙනී පෙනී වෙඩි තබා ඝාතනයය කරනවා, ඊට පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වසර 13කට පසුව සිය හදිසි මහා සභාවක් කැඳවනවා. පසුව එක් දිනයක් අධිකරණ කටයුතුවලින් ඉවත් වෙනවා. ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කුමක් ද මේ වෙලා තියෙන්නේ ?
කිසිසේත් සිදු නොවිය යුතු දෙයක් සිදු වුණා. තමන්ගේ සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටි වරදට නීතිඥයෙක් සහ ඔහුගේ බිරිඳ අමු අමුවේ මහ දවාලේ ඝාතනය කරනවා. මේ ඝාතනය සිදු වෙන්නේ මේ රටේ යුධ හමුදා මූලස්ථානයට ඉතා සමීප ස්ථානයක. මේ ඝාතන ද්විත්වයට සම්බන්ධ අපරාධකරුවන්ට නෛතික ක්‍රියාවලිය හරහා කඩිනමින් දඬුවම් ලබාදිය යුතු බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම පාතාලයට සම්බන්ධ අපරාධ මර්දනය කිරීම සඳහා මීට වඩා විධිමත් පියවර ගත යුතු බවට වන පණිවුඩය රජයටත් සමාජයටත් ලබාදීම වෙනුවෙන් තමයි නීතිඥයින් පසුගිය සඳුදා අධිකරණ කටයුතුවලින් ඉවත් වුණේ.
ගණේමුල්ල සංජීව කියන සැකකරුට අධිකරණය තුළ දීම වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ නීතිඥවරියක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. මේ අවස්ථාවේ නිහඬව සිටි නීතිඥ ප්‍රජාව, පසුගිය වර්ෂය තුළ පමණක් මනුෂ්‍ය ඝාතන 100කට අධික ප්‍රමාණයක් සිදුවන විට නිහඬ සිටි නීතිඥ ප්‍රජාව වර්තමානයේ මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන සමාජය තුළ යම් විවේචනයක් තිබෙනවා නේද ?
ඔබ ඔය කියන නීතිඥවරිය සැකකාරියක් පමණයි. මේ චෝදනා එල්ල කරන්නේ පොලිසිය. නමුත් ඇය තවමත් සැකකාරියක් පමණයි. මෙම නීතිඥවරියට විධිමත් චෝදනා ගොනු කිරීමක් සිදුවෙලා නැහැ. නමුත් අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම පැහැදිලි අපරාධයක්. ඒක අලුතින් ඔප්පු කළ යුතු දෙයක් නොවෙයි. මෙතන ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා. ඒ සිදුවීම සහ මේ සිදුවීම කිසිසේත් පටලවා ගත යුතු නැහැ.
මරණයේ උණුසුම යන්නත් කලින් පොලිසිය මේ ද්විත්ව ඝාතනයත් පාතාලයට සම්බන්ධ කළා. මෙවැනි සිදුවීමක් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කළ අවස්ථාවේදීත් පොලිසිය කළා. මොකක්ද මේ පොලිසිය කරමින් ඉන්නේ ?
පොලිසිය තමන්ගේ නොහැකියාව වසා ගන්න, අසාර්ථකත්වය වසා ගන්න මේක පුරුද්දක් ලෙස කරනවා. පොලිසිය මේ ආකාරයේ බොහෝ ඝාතනවලට ක්ෂණිකව පාතාල ලේබලය, මත්කුඩු ජාවාරම්කාරයෙක් ලෙස ලේබලය අලවනවා. මේ හරහා අපරාධ මර්දනය නොකිරීම සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන පීඩනය, ආණ්ඩුවෙන් එල්ල වන පීඩනය සමහන් කර ගැනීමට පොලිසිය පියවර ගන්නවා. මේක වැරදි වැඩක් වෙනවා වගේම පොලිසියේ අසාර්ථකත්වය පෙන්වන අවස්ථාවක් බවට පත්වෙනවා. ඒ වගේම අපරාධයක් සිදුවෙලා ඉතාම කෙටි කාලයක් තුළ මේ ආකාරයේ තොරතූ සමාජගත කිරීමට පොලිසිය පියවර ගැනීම අපි දැඩිව හෙළා දකිනවා. ඒකට හේතුව තමයි මේ ආකාරයේ ක්ෂණික හෙළිදරව්වක් කිරීමට අවශ්‍ය තොරතුරු පොලිසිය සතුව නැහැ. පොලිසිය මේ වගකීම් විරහිත පුරුද්ද වහාම නතර කළ යුතුයි.
පොලිසිය මේ ආකාරයෙන් කටයුතු කරන විට පොලිසිය විසින් සිදුකරන ඝාතනත් ඉහළ යමින් තිබෙනවා නේද ?. පාතාල ඝාතන ඉහළ යාම සහ පොලිසිය විසින් සිදුකරන ඝාතන ඉහළ යාම නීතියේ ආධිපත්‍ය කියන සංකල්පයට හානිකරයි නේද ?
ආණ්ඩුව කවුරු කළත් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම ඒ ආණ්ඩුවේ වගකීමක්. නීතියේ ඇති ආකාරයට යුක්තිය පසිඳලීම, පරීක්ෂණ පැවැත්වීම හා නඩු පැවරීම, නීතියේ ඇති ආකාරයට රටේ පාලනය ගෙන යාම රජයක වගකීමක්. නමුත් වත්මන් මාළිමාව ආණ්ඩු පාලනය තුළ නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසය පළුඳු වෙමින් තිබෙනවා. රජය සහ රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කරන ඇතැම් ක්‍රියාමාර්ග මේ තත්ත්වයට හේතු වෙලා තිබෙනවා.
ඔබට අනුව මෙවැනි තත්ත්වයකට පොලිසිය පත් වුණේ කොහොම ද ?
හේතු ගණනාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් පොලිස් නිලධාරීන්ට ලැබෙන පුහුණු අඩුවෙලා තිබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් අතින් සිදුවන වැරදිවලට දඬුවම් දීම දුර්වල වෙලා තිබෙවා. තවත් වැදගත් කරුණක් තමයි මේ වන විට පොලිසිය ‘වගවීම’ කියන සංකල්පයෙන් බැහැර වෙමින් සිටීම. අපරාධ මර්දනය සම්බන්ධයෙන් වගකීමක් මිස වගවිමක් පොලිසියට නැහැ. තවත් වැදගත් කරුණක් තමයි යුක්තිය පසිඳලීමේ දී සිදුවන ප්‍රමාදය.
වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටිය දී නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ගැන දැඩිව කතා කළා අපට මතකයි. ඒ වගේම වත්මන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය, ජාතික ආරක්ෂාව ගැන බොහෝ විට උනන්දුවෙන් කතා කරනවා. ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ පාතාල කල්ලි අතර සිදුවන හුදකලා ගැටුම්, ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි. ඔබ මේ ගැන දරන අදහස කුමක් ද ?
මම දන්නේ නැහැ ජාතික ආරක්ෂාවයි, පුද්ගලික ආරක්ෂාවයි, නීතිඥවරුන්ගේ ආරක්ෂාවයි, අධිකරණයේ ආරක්ෂාවයි බෙදා වෙන් කරන රේඛාව කුමක්ද කියලා. ඒ ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කළ යුතුයි. නමුත් මනුෂ්‍ය ඝාතන වෙනදාට වඩා වර්ධනය වෙලා නේ. මේ පසුබිම තුළ මෙම ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව, පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බව කීම මිනිස්සුන්ගේ හිනාවට හේතුවන කතාවක්. උසාවිය තුළ සැකකරුවන් ඝාතනය කරනවා නම්, නඩුවකට පෙනී සිටි බව කියමින් නීතිඥවරයෙකු ඝාතනය කරනවා නම්, අනීතික අත්අඩංගුගවට ගැනීම් අඛණ්ඩව ඉහළ යනවා නම් ඒක නීතියේ ආධිපත්‍ය සහතික කළ සමාජයක් නොවෙයි. මේවා අයුක්තිය පිළිබඳ ලක්ෂණ. ජාතික ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව කිය කියන මේවා වර්ගීකරණය කිරීමෙන් පළක් නැහැ. සත්‍ය තතත්වය තමයි පාතාලය ශක්තිමත් වෙලා තිබෙනවා, හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කරනවා කියලා කයිවාරු ගැහුවට ඒවා කයියට පමණක් සීමා වෙලා තිබෙනවා. හොරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම බිඳ වැටිලා නැහැ, ඒ වගේම පාතාල නායකයෝ ආණ්ඩුවට භාර වෙන්න සූදානම් කියලා කයිවාරු කතා කිව්වට පාතලය දුර්වල වෙලා නැහැ. මේ වගේ තත්ත්වයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා කියලා පිළිගන්න පුළුවන් කාටද ?.
මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනවල කිව්වා විදේශගතව සිටින අපරාධකරුවෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ආණ්ඩුවට භාර වීමට සූදානමින් සිටිනවා කියලා. මෙවැනි පසුබිමක් තුළ ඔබ ආණ්ඩුවට චෝදනා කරන පදනම කුමක් ද ?
විදේශගතව සිටින පාතාල අපරාධකරුවන් ආණ්ඩුවට භාර වෙනවා කියලා දැන් මාස කිහිපයක් වුණා. පොලිස් අමාත්‍යවරයා කිව්වා මේ අපරාධකරුවෝ යළි සමාජගත වීමට කැමැත්තෙන් සිටිනවා කියලා, ආයුධ භාර දෙන්න සූදානමින් සිටිනවා කියලා. නමුත් මේ කිසිම දෙයක් සිදුවෙලා නැහැ. ඇමැතිවරයා කියන්නේ බොරු. විදේශගතව සිටින පාතාල අපරාධකරුවන් තමයි රට තුළ අපරාධ කල්ලිවලට නායකත්වය දෙන්නේ. ඒත් ඔවුන් යටත් වන බවක් අපට නම් දැකගන්න නැහැ. එක්කෝ පොලිසිය භාර අමාත්‍යවරයා බොරු කියනවා, ඔහු අමු බොරුකාරයෙක්. එසේ නොමැති නම් ඔහු ස්වයං මෝහනයකට පත්ව සිටිනවා. එසේත් නොමැති නම් අනෙක් නිලධාරීන් ඔහුව රැවටීමකට ලක්කර තිබෙනවා. මේ තත්ත්වය තුළ පොලිස් ඇමැතිවරයා සහ ඔහුටම ගැපෙන ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නේ කුමන මානසික මට්ටමක ද කියලා මට නම් තේරුම් ගන්න බැහැ. අවුරුද්දකට සිය ගණනක් මනුෂ්‍ය ඝාතන සිදුවෙද්දී, ඔ්නෑම තැනක, ඔ්නෑම පුද්ගලයෙක් ඝාතනය කිරීමට අපරාධකරුවන්ට ශක්තියක් තිබිය දී ජාතික ආරක්ෂාව තහවුරුයි, පොලිසිය හක්තිමත් කියලා කියන කතා නිකංම නිකං කයිවාරු කතා විතරයි.
‘රටම එකට’, ඉවත් වනු’ !’ වැනි මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ ජාතික වැඩසටහන් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. කිලෝ සිය දහස් ගණන් මත්ද්‍රව්‍ය අල්ලනවා. ජනාධිපතිවරයා ඍජුව මේ කටයුතු වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඔබ තර්ක කරනවා මේ කටයුතු අසාර්ථකයි කියලා. ඔබේ තර්කයට පදනම කුමක් ද ?
මගේ තර්කයට පදනම් කිහිපයක් තිබෙනවා. එකක් තමයි සමාජය දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍යවලට පෙළඹවීම වැළක්වීම එක කතාවක්. ඒක දෙමාපියන්ට, ගුරුවරුන්ට, සමාජයට තිබෙන වගකීමක්. මත්ද්‍රව්‍ය නිවාරණය කියන්නේ රජයේ වගකීමක්. මේ වගකීම රජය ඉටුකරමින් සිටිනවා. අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පසුගිය කාලය තුළ බලයට පත් වුණ සෑම රජයක්ම ක්‍රියාත්මක කළා. ඒක අලුත් දෙයක් නොවෙයි. මේක හරියට රෝග නිවාරණය වාගේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සමාජ තුළ තිබෙන රෝගයක්. ආණ්ඩුව ‘රටම එකට’, ‘ඉවත් වෙනු !’ වාගේ වැඩසටහන් කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන්. ජනාධිපතිවරයා රට පුරා උත්සව තබමින් යන්නේ මේ මත්ද්‍රව්‍ය නිවාරණය, දැනුවත් කිරීම වෙනුවෙන්. නමුත් මත්ද්‍රව්‍ය සමාජය තුළ සුලභකරණය කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් කරන වැඩක්. මේක අති සංකීර්ණ, දහස් ගණනක් සම්බන්ධ ජාලායක්. ඒ නිසා අද මේ රටේ ඔ්නෑම ගමක හොරොයින් සහ අයිස් මිලදී ගන්න පුළුවන්. ඉස්සර කසිප්පු ගැන කතා කළ, අද අයිස් හ හොරොයින් ගැන කතා කරනවා. නමුත් කපිප්පුවලට වඩා මේවා අති බිහිසුණුයි, විනාශකාරීයි. අද උගත් – නූගත්, ධනවත් – නිර්ධන, තරුණ – වයසක ආදි භේදයකින් තොරව අපේ ජනතාව තමන්ගේ ජීවිත විනාශ කර ගනිමින් සිටිනවා.
ඔබ කියන ආකාරයට ගැටලුව කුමක්ද ?
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. ඒ වගේම තොග පිටින්, කිලෝ සිය ගණනින් අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය යළි වෙළෙඳපොළට එනවද කියලා සාධාරණ සැකයක් අපට තිබෙනවා. ආණ්ඩුවේ වාර්තා අනුව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. නමුත් සමාජය තුළ මේ මත්ද්‍රව්‍ය වල හිඟයක් නැහැ. ලංකාවේ ඕනෑම තැනකින් මේ විෂ මත්ද්‍රව්‍ය මිලට ගන්න පුළුවන් බවට සැකයක් නැහැ. ඒවායේ මිල ඉහළ ගිහින් නැහැ. ඒ කියන්නේ අයිස් සහ හොරොයින් අවශ්‍ය තරම් සමාජයේ තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ ජාලය පොලිසියට වඩා ශක්තිමත්.
රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 22 වැනිදා කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි
සටහන – භාතිය බරුකන්ද
















