වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ, මාධ්‍ය ප්‍රකාශක, සර්වජන බලය
වර්තමානය වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා ප්‍රසාද සහ ඔවුන් ආණ්ඩුව සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තු වේගයෙන් බිඳ වැටෙන තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් අප්‍රේල් 01 වැනිදා සිට විදුලි බිල 13.65%කින් ඉහළ නැංවීමට පියවර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර දුන් වර්ණවත්ම පොරොන්දුවක් ‘අමු අමුවේ’ බිඳ දැමීමක් ලෙස සැලකිය හැකිය.
අනුර කුමාර දිසානායක ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී විදුලි බිල 33%කින් අඩුකරන බවට පොරොන්දු වුවත් එම පොරොන්දුව ද වර්තමානයේ ඔහු දුන් 1300කට අධික පොරොන්දු මෙන් ‘කඩවුණ පොරොන්දුවක්’ වූවා පමණක් නොවන වත්මන් මාළිමාව ආණ්ඩුව බලය පත් වූ පසු විදුලි බිල 33%කට වඩා වැඩි ප්‍රතිශයකින් ඉහළ දමා ඇත.
එපමණක් නොව මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමී රටවල් අතර තෙවැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර රාජ්‍ය මාධ්‍ය සහ රජයට හිතවත් මාධ්‍ය නාළිකාව මේ තත්ත්වය වසං කරමින් ලෝකයේ සෙසු රටවල ඉන්ධන මිල ඉහළ දැමීම හා ඒ ආශ්‍රිත අර්බුදයන් උළුප්පා දැක්වීම කණගාටුවට වඩා හාස්‍යයට හේතුවක් බවට පත්ව ඇත.
ඉත්මන් ඉන්ධන සහ විදුලිබල අර්බුදයේ දී ආණ්ඩුව ‘හිස වැල්ලේ සඟවා ගත් පැස්බරෙකුගේ’ තත්ත්වයට පත්ව ඇති අතර ආණ්ඩුවේ නොහැකියාව සහ සොරකම (බාල ගල් අඟුරු) සමාජ මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය ඇතුළු සහචර මාධ්‍ය මෙහෙයුම් මඟින් වසා දැමිය නොහැකි බව දැන්වත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුව වටහා ගත යුතුය.
ඊට හේතුව වන්නේ මෙම විදුලි බිල වැඩිවීම ගෘහස්ත විදුලි පාරිභෝගිතයින්ට පමණක් නොව කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්ට ද ඍජුව හානිකර ප්‍රතිවිපාක නිර්මාණය කිරීමය. දිට්වා සුළි කුණාටුවෙන් සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් සහ ඉන්ධන සීමා කිරීමෙන් පමණක් නොවන මැදපෙරදිග කලාපයේ අපනයන වෙළෙඳපොළ සීමා වීමෙන් පීඩාවටත් අගතියටත් පත්ව සිටින කර්මාන්තකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින් විදුලි බිල ඉහළ යාම හමුවේ තවත් වටයකින් පීඩාවට පත්වන අතර මෙය කිසිසේත් සුළු කොට සැලකිය යුතු තත්ත්වයක් නොවේ. මේ තත්ත්වය තුළ අප රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල ඉහළ යාම, ඉන්ධන සීමා කිරීම සහ විදුලි බිල ඉහළ යාම හමුවේ අගතියට පත්වන කර්මානතරුවන් සහ ව්‍යවසායකයින් සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

බාල ගල් අඟුරු වංචාවෙන් ආර්ථික ව්‍යසනයක්
බාල ගල් අඟුරු ආනයනය කිරීම හරහා සිදු වුණ හා අදත් සිදුවෙමින් පවතින වංචාව හුදු මූල්‍ය වංචාවට වඩා පුළුල් ආර්ථික හා සමාජ ව්‍යවසනයක් නිර්මාණය කරන බව බලශක්ති විශේෂඥයින් විසින් මේ වන විට සංඛ්‍යා – දත්ත සහිතව හෙළිකර ඇත.
වර්තමානයේ පවතින ඩීසල් හිඟයට ද මෙම වංචාව හේතු වී ඇති අතර තවත් මාස කිහිපයට පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසා දැමීමට සිදුවනු ඇතැයි ද ඒ හරහා ලංකාව බරපතළ විදුලි කප්පාදුවකට මුහුණ දෙනු ඇතැයි ද බලශක්ති විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇත.
ඉදිරියේ දී සිදුවන අනිවාර්යය විදුලි කප්පාදුවක් ආර්ථිකමය වශයෙන් ක්ෂණික ප්‍රතිවිපාක නිර්මාණය කරනු ඇති අතර ඒ හරහා සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් බිඳ වැටීම තුළින් බරපතළ ආර්ථික හා සමාජ අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව නිසැකය.
මෙම පසුබිම තුළ අප යළි යළි අවධාරණය කරන්නේ හුදු දේශපාලන වහසිබස්වලින් ඔබ්බට ගොස් මෙම අර්බුදය තිරසර ලෙස කළමනාකරණය කර ගැනීමට ගත හැකි වඩාත්ම ප්‍රායෝගික සහ ඵලදායී විසඳුම් වෙත යොමු වීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවය.
එසේම අප යළි යළිත් අවධාරණය කරන්නේ විදුලි බිල ඉහළ යාම සහ ඉදිරියේ දී සිදුවීමට නියමිත විදුලි කප්පාදුවට කිසිසේත් මැදපෙරදිග යුද්ධය සම්බන්ධ නැති බවය. මෙය ඉතාම පැහැදිලිව බාල ගල් අඟුරු වංචාව නිසා සිදු වූ ව්‍යසනයක් වන අතර එම වගකීමෙන් ගැළවීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට හෝ මාළිමාව ආණ්ඩුවට හැකියාවක් නැත. එසේම ඔවුන්ට මෙම වගකීමෙන් ගැලවී යාමට අප කිසිසේත් ඉඩ නොදෙන බව ද දැඩිව අවධාරණය කරමු.
ගල් අඟුරු සමාගමට අති අපූරු ප්‍රේමය
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටි කාලය පුරාම බහුජාතික සමාගම් සම්බන්ධයෙන් වන අර්බුදවල දී කොන්දේසි විරහිතව ජනතාවගේ සහ සේවකයින්ගේ පැත්ත ගත් බව අපට අමතක නැත. එහෙත් ආණ්ඩු බලය ගත් පසු ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය හැසිරෙන්නේ සිය විපක්ෂ භූමිකාවට සපුරා පටහැනි ආකාරයටය. මේ බව වඩාත් ප්‍රකට වන්නේ බාල ගල් අඟුරු වංචාව සම්බන්ධ සිද්ධියේ දී ආණ්ඩුව හැසිරෙන ආකාරය දකින විටය.
මෙම වංචාව හෙළි වූ මුල්ම අවස්ථාවේ දී බලශක්ති අමාත්‍යවරයා වන කුමාර ජයකොඩි ගල් අඟුරු ආනයනය කරන සමාගමේ පැත්ත ගෙන බලාගාරය විසින් ලබා දුන් පර්යේෂණාගාර වාර්තාව ප්‍රතික්ෂේප කළ ආකාරය අපට මතකය. ඊට පසුව ද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අදාළ සමාගම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.
එහි වඩාත්ම නින්දා සහගත පෙනී සිටීම පසුගිය දා බිමල් රත්නායක ඇමැතිවරයා කළේය. කුප්‍රකට කන්ටේනර් 323 සිද්ධියේ ද චූදිතයෙකු වන බිමල් රත්නානායක අමාත්‍යවරයා පසුගිය දා පැවසුවේ ‘බාල ගල් අඟුරු සැපයූ සමාගමට අසීමාන්තිකව දඩ ගැසුවොත් අදාළ සමාගම බංකලොත් වනු ඇති’ බවයි. මේ ආකාරයෙන් සමාගම ආරක්ෂා කරන බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ ඇති වඩාත් හාස්‍යජනක ප්‍රකාශය වන්නේ ‘අපි එහෙම කළොත් අපට ගල් අඟුරු කොහෙන් ද ?’ යන ප්‍රශ්න විමසීමය.

වම්මුන්ගේ අලුත් ප්‍රේමය
ඊනියා මළිමාව ආණ්ඩුව යනු මෙරට බලයට පත් වූ පළමු වාමාංශික ආණ්ඩුවයි. වාමාංශික ආණ්ඩුවක් මේ ආකාරයෙන් ධනපති සමාගම් වෙනුවෙන් පෙනී සිටීම සුවිශේෂ තත්ත්වයකි. ඊට හේතුව වන්නේ ‘වාමාංශික ආණ්ඩුව ධනපති සමාගම් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවට’ විශ්වාසයක් තිබීමය. ජනතාවගේ කෝණයෙන් ප්‍රශ්න දෙස බැලීමය.
නමුත් ඊනියා මාළිමාව ආණ්ඩුව ප්‍රේමකරන්නේ ජනතාවට නොව විදේශ සමාගමටය. බාල ගල් අඟුරු ආනයනය කරමින් බිලියන ගණනක් මෙරට ජනතා මුදල් සොරා කෑ සමාගමටය. අපට මේ ගැන පුදුමයක් හෝ කණගාටුවක් ද නැත. ඒ ඊනියා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 60 වසර පුරාම ‘තිරය පිටුපස සිට’ ක්‍රියාත්මක වූයේ වත්මන් ස්වරූපයෙන්ම වීම බව අප දැන සිටි නිසාය.
නමුත් අද ජනතා විමුක්ති පෙරමුණට සහ ඊනියා මාළිමාව ආණ්ඩුවට තව දුරටත් තමන්ගේ සටකපට සහ අවස්ථාවාදී දේශපාලන භාවිතය සඟවා ගැනීමට හැකියාවක් නැත. බාල ගල් අඟුරු වංචාව පුරාම ආණ්ඩුවේ, ජනතා විමුක්ති පෙරමුණේ ’69 වසරක නිරුවත හෙළිවීම’ තව දුරටත් සැඟවිය නොහැකි කාරණයකි.
වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටිය දී ‘අසාදු ගත, වංචනික සමාගමක් ලෙස චෝදනා කළ සමාගමක් වර්තමානයේ ජනපතිවරයාම යටතේ තිබෙන ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අලුතින් ලියාපදිංචි කිරීම ගැටලු සහගත තත්ත්වයකි.

පුද්ගලයින් ලියාපංදිචි කිරීමේ අර්බුදය
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනු හුදෙක් ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ‘තවත් එක්’ රජයේ දෙපාර්තමේන්තුවක් නොවේ. මෙරට වඩාත්ම වැදගත්, වටිනා සහ සුරක්ෂිත කළ යුතු ‘දත්ත’ පවතින්නේ එම දෙපාර්තමේන්තුව සතුවය.
එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු අපට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඇසෙන්නේ එතරම් යහපත් හෝ සතුටුදායක කතා නොවේ. ඒ අතර වඩාත් අවධානය යොමු කළ යුතු කතාව වන්නේ පසුගිය දා එහි පරිඝණක පද්ධතිය බිඳ වැටීමය. මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන කාර්යාලය තුළත්ව දිවයින පුරා පිහිටි සියලුම කාර්යාවල සේවා කටයුතු නතර කිරීමට දෙපාර්තමේන්තුවට සිදු වුණ අතර අද (30) එහි කටයුතු යථා තත්ත්වයට පත් කළ බව දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් පොලිසිය, බැංකු ඇතුළු ආයතන ගණනාවක් අර්බුදයකට ලක් වුණේය.
මෙම බිඳ වැටීම සම්බන්ධ තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ පසුගිය මාර්තු 13 වැනිදා ජාතික හැඳුනුම්පත් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ යාවත්කාලීන කිරීමක් කර ඇති බවයි. ඉන්දීය සමාගමක් මෙම කටයුත්ත මුල් වී ඇති අතර මෙම සමාගම අදාළ ටෙන්ඩර් ලැයිස්තුවේ නොසිටි සමාගමක් ද වීම විශේෂත්වයකි.
මෙම ආයතනය ‘අසාදුගත, වංචනික’ ආයතනයක් බව වර්තමාන ජනාධිපතිවරයාම විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටිය දී 2023.08.11 වැනිදා පාර්ලිමේන්තුවේ දී චෝදනා කර තිබීම ද විශේෂත්වයකි.
වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටිය දී ‘අසාදු ගත, වංචනික සමාගමක් ලෙස චෝදනා කළ සමාගමක් වර්තමානයේ ජනපතිවරයාම යටතේ තිබෙන ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අලුතින් ලියාපදිංචි කිරීම ගැටලු සහගත තත්ත්වයකි.
මෙය කිසිසේත් ‘දෛවයේ සරදමක්’ ලෙස පහසුවෙන් බැහැර කළ නොහැකිය.















