මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
රාජකරණා මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වූ බවයි.
අද (10) කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් රාජකරණා මහතා මෙසේ ද පැවසුවේය.
“ඉන්ධන හිඟයක් එයි කියලා ජනතාව කලබල වුණ වෙලාවේ අපි ඔවුන්ට කිව්වා, කලබල වෙන්න එපා අපිට ප්‍රමාණවත් තෙල් සැපයුමක් තිබෙනවා කියලා. අපි ඒ අවස්ථාවේ පැහැදිලිව කිව්වා අප සතුව තිබෙන තොග සීමිතයි, අපට ඉන්ධන ගබඩා කරන්න පුළුවන් පහසුකම් සීමිතයි, මේ මාසේ එනවා කියලා තහවුරු කළ නැව් වල එකතුවත් එක්ක තමයි මේ කතාව කියන්නේ කියලා අපි පැහැදිලිව කිව්වා. යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි අනෙක් කලාප වලින් තෙල් එන එක තහවුරු වෙලා තිබුණා. නමුත් 27 වැනි දා වන විට මේ වගේ 100%කින් ඉන්ධන මිල වැඩි වෙනවා කියන එක කාටවත් අනුමාන කරන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. දැන් තියෙන්නේ ඒ ආපු නැව්වල තෙල්.
ජනතාව කලබල වෙලා පසුගිය 09 වැනිදා වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් පාවිච්චි කරලා තිබෙනවා. පෙට්‍රල් 92 පාවිච්චි කරලා තිබෙනවා මෙට්‍රික් ටොන් 47,200ක්. ඒ කියන්නේ මාර්තු මාසේ මැද වන තෙක් නිකුත් කිරීමට තිබුණ තෙල් ටික දැන් තියෙන්නේ ජනතාවගේ අතේ.
ඇත්තටම කිව්වොත් අපි පටන් ගන්න කොට තිබුණ තෙල් ටික, අඩුවට ගත්ත තෙල් ටික දැන් ඉවරයි. පසුගිය 01 වැනිදා සහ 07 වැනිදා නැවක් ආවා, දැන් ඒ තෙල් ටික තමයි අපට දෙන්න වෙලා තියෙන්නේ.
ඒ වගේම කෙනෙකුට කියන්න පුළුවන් ‘අපි තහවුරු කරලා තිබුණා නම් ඇයි මිල වැඩි වුණේ ?’ කියලා. අපි තහවුරු කරන්නේ ලෝක වෙළෙඳපොළේ මිල. නමුත් ලංකාවේ ගොඩබාන විට, දවස් පහට ලෝක වෙළෙඳපොළේ මිලට තමයි අපට ගෙවන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් නිකුත් කරන තෙල්වල මිල ගණන් වැඩියි.
එදා මාධ්‍යවේදීන් මගෙන් අහසු ප්රශ්නය තමයි ‘මිල වැඩිවෙන්නේ කවද්ද?’ කියන එක. මම එදා කිව්වේ, ‘සාමාන්‍ය ක්‍රමය තුළ මිල වැඩි වෙන්නේ මාසේ මුල, පළමු වැනිදා. නමුත් යුද්ධය කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි, ඒක අසාමාන්‍ය තත්ත්වයක්. තෙල් මිල මේ ආකාරයට වැඩි වීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි, අසාමාන්‍ය තත්ත්වයක්. ඒ අසාමාන්‍ය තත්ත්වයට අපට ප්‍රායෝගිකව මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.
තෙල් නැව් එකහාමාරක පමණ ප්‍රමාණයක් පසුගිය දවස් නවය ඇතුළත අපි පුච්චලා තිබෙනවා. මේ පුච්චලා තියෙන්නේ ඩොලර්. ඒක අවසානයට බලපාන්නේ රටේ ආර්ථිකයට. මේ තෙල් සංචිත කොතැනින් අවසන් වෙනවද කියලා අපි දන්නේ නැහැ. වෙන රටවල් වාගේ අපිත් මේ ප්‍රශ්නයට සාමූහිකව මුහුණ දීමට එකතු විය යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් අඩු කරලා, අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් ඉන්ධන වැය කරලා අපි සාමූහිකව මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.
මේ තත්ත්වය තුළ තෙල් මිල මේ ආකාරයට ඉදිරියට ගියොත් අපට රටක් ලෙස මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් ආයාචනා කරන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි ඉතාම දරුණු තත්ත්වයක්. ඒ නිසා මේක සමනය වන තෙක් අපි සියලු දෙනා එකතු වෙලා අධිෂ්ඨානයෙන්, තෙල් පාවිච්චිය අවම කරලා මේ අසීරු තත්ත්වයට මුහුණ දෙමු කියලා තමයි මට ආයාචනා කරන්න තියෙන්නේ” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.












