මැදපෙරදිග කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන නමුත් ඔවුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධ වාතාවරණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සඳහාත්, මෙරට තුළ සිටින විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යංශය 0094 742595546 දුරකතන අංකය සහ 1989 ක්ෂණික දුරකතන සේවාව හඳුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට තම ගැටලු ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.










