මැදපෙරදිග කලාපයේ උග්රවන ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු විපක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් සඳහා හදිසි රැස්වීමක් කැඳවා ඇති බව විපක්ෂ නායක කාර්යාලය පැවසීය.
මෙම හදිසි සැසිය හෙට (03) පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.
රැස්වීමේ මූලික අරමුණ මැද පෙරදිග කලාපයේ දැනට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කිරීමට බව ද විපක්ෂ නායක කාර්යාලය වැඩි දුරටත් පැවසුවේය.
මේ අතර මැදපෙරදිග උග්රවන අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත. එහි මෙසේ සඳහන් වේ. “මැද පෙරදිග කලාපය තුළ මේවන විට පවතින එදිරිවාදීත්වයන් සහ ගැටුම් ලෝක සාමයට සහ ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් වේ. සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන් සහ අනෙකුත් මැද පෙරදිග රටවලට එල්ල කරන ප්‍රහාර හරහා ගැටුම්කාරි පසුබිම තවදුරටත් ව්‍යාප්ත කිරිම දැඩි ලෙස හෙළා දැකිය යුතුය. යුද්ධය නවතා සාම සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන්න. මැද පෙරදිග සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අතිශයින් වැදගත් ය. කවර පිරිවැයක් දරා හෝ යුද්ධය වළක්වා ගත යුතුය. සාමයට අවස්ථාවක් ලබා දෙන්න”
















