මැදපෙරදිග යුධ තත්ත්වය අපට කෙසේ බලපාවිද ? – විද්වත් මතවාද හතරක්

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව කාලීන සංවාද මාලාවේ 265 වැනි කතිකාව පසුගිය ද ඉරිදා ‘මැදපෙරදිග යද තත්ත්වය අපට කෙසේ බලපාවිද ? යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස Advocata Institute අධ්‍යක්ෂ රියාද් රිෆායි, සිංගප්පූරු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රජ්නි ගමගේ, මහාචාර්ය රොහාන් සමරජීව සහ වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන සහභාගී වූ අතර මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය.  මෙම කතිකාව ඇසුරින් සම්පාදිත ලිපියක් පහත පළ වේ.

ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ දී අවධානය යොමු කළ යුතු සාධක දෙකක් පවතී. එ් අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක වශයෙනි. වර්තමානය මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කර ගෙන වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය හා ඒ ඇසුරින් නිර්මාණය විය හැකි ආර්ථික ගැටලු සැලකිය හැකි වන්නේ බාහිර සාධක මත ඇති වන ගැටලුවක් ලෙස ය. මෙය ගෝලීය ගැටලුවක් ද වන අතර මෙවැනි ගෝලීය ගැටලු ලංකාව වැනි රටවල් වලට සැලකිය යුතු බලපෑමක් කරයි.

  • සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑම්

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ක්ෂණිකව බරපතළ ගැටලුවක් නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ යුරෝපා කලාපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණීම ය. විශේෂයෙන් ඩුබායි, සාජා, දෝහා සහ කටාර් හරහා මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයින් වැඩි පිරිසක් පැමිණෙති.

මේ සමඟ නිර්මාණය වන තවත් ගැටලුවක් වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් බහුතර ‘බජට් සංචාරකයින්’ හෙවත් අඩුමිල සංචාරකයින් වීම ය. මෙවැනි සංචාරකයින් වැඩි පිරිසක් පැමිණෙන්නේ මැදපෙරදිග කලාපය පසුකර ගෙනය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය මෙම සංචාරක පැමිණීම් අධෛර්යමත් කිරීමට ඍජුව දායක වේ.

ප්‍රශ්නය එතැනින් නිමා නොවේ. මේ වන විටත් ගුවන් ටිකට්පත් මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇත. ඇතැම් මූලාශ්‍ර පවසන්නේ ඩොලර් 600ක් වැනි මිලකට පැවති ගුවන් ටිකට්පතක් මේ වන විට ඩොලර් 1900 දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.

“ලංකාවට පැමිණෙන බජට් සංචාරකයෙක් තමන් කරන වියදම තඹ සතේටම ගණන් හදලා එන්නේ. ගුවන් ටිකට්පත්වල මිල මේ ආකාරයෙන් ඉහළ නම් ඔවුන් කිසිසේත් ලංකාවට එන්නේ නැහැ. ඊට වඩා අඩු මිල ගණන් වලට සංචාරය කරන්න පුළුවන් වෙනත් ගමනාන්ත සොයා යනවා” කතිකාව සංවාදයට එක් වෙමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කළ Advocata Institute අධ්‍යක්ෂ රියාද් රිෆායි පැවසුවේ ය.

  • ඉන්ධන මිල සහ සැපයුම් ගැටලු

රියාද්ට අනුව සංචාරකයින් ද මේ වන විට තමන්ගේ රටවල අභ්‍යන්තර ගැටලු සහ මිල ඉහළ යාම්වලට මුහුණ දී සිටී. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ද දුර්වල වී ඇත. ඒ අතර ඔස්ට්‍රේලියාව වැනි රටවල ඉන්ධන හිඟයක් පවතින අතර ඉන්ධන මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ ආකාරයෙන් සංචාරකයින්ගේ ක්‍රය ශක්තිය ද විශාල වශයෙන් දුර්වල කර ඇති අතර මෙය සංචාරක කර්මාන්තයට කිසිසේත් යහපත් තත්ත්වයක් නොවේ.

“මැදපෙරදිග තත්ත්වය තවත් අර්බුදයට ගියොත් තව දුරටත් ගෝලීය ඉන්ධන මිල ඉහළ යනවා. රුසියාව වැනි රටවල් මේක පාලනයට මැදිහත් වුණත් මිල ඉහළ යාම පාලනය කිරීම පහසු නැහැ. මේ තත්ත්වය ලංකාවට ඍජුව බලපානවා. ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ඉහළ යාමට සහ සැපයුම් දාමවල ගැටලු ඇති වුණොත් ඉන්ධන හිඟයක් ඇති වීමට විශාල අවස්ථාවක් තිබෙනවා. එහෙත් ගෑස් සැපයුමට සැලකිය යුතු බලපෑමක් එල්ල වෙයි කියලා හිතන්න අමාරුයි. ඒකට හේතුව තමයි වර්තමානයේ අපි ගෑස් මිල දී ගන්නේ ඇමෙරිකාවෙන්. නමුත් ගෑස් මිල ද සැලකිය යුතු ඉහළ යාමට අවස්ථාව තිබෙනවා. මෙහි සරල අදහස තමයි මැදපෙරදිග යුද තත්ත්වය ලංකාවේ ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍රයේ ක්ෂණික මිල ඉහළ යාමකට සහ සැපයුමේ හිඟයක් ඇති කිරීමට හේතුවක් වෙනවා”. රියාද් පෙන්නා දුන්නේය.

මෙහි දී රියාද් පැවසුවේ ඛනිජ තෙල් සැපයුමට වඩා ගෑස් සැපයුම සම්බන්ධ අර්බුදයක් ඉදිරියේ දී නිර්මාණය විමට වැඩි අවස්ථාවක් ඇති බවයි. ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ ගෑස් ගබඩා කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් ලංකාව සතුව නොතිබීමය.

ශ්‍රී ලංකාව සතුව ඉන්ධන ගබඩා කිරීමට තරම් ප්‍රමාණවත් ගබඩා නොතිබිම රියාද් දැඩිව විවේචනය කළ අතර ඔහු තර්ක කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි කිහිපයක් හෝ අලුත්වැඩියා කර තිබුණා නම් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක දී ඒවා වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකිව තිබූ බවයි.

  • ආහාර මිල ඉහළ යාම

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ඉරානය වැනි ගෝලීය කෘෂිකාර්මික සැපයුම්දාම අවහිර වීම ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යාමට සහ සැයපුම සීමිත වීමට පහසු පරිසරයක් නිර්මාණය කළ හැකිය. ‘මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යාමයි” රියාද් සිය තර්කය තහවුරු කරමින් පැවසුවේය.

ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යාම ලංකාවට ඍජු බලපෑමක් නොකළ ද රසායනික පොහොර සැපයුම් දාමයේ සිදුවිය හැකි බිඳ වැටීම් සහ මිල ඉහළ යාම් මෙරට කෘෂිකර්මාන්තය වෙත අහිතකර ලෙස බලපෑ හැකි බව ඔහුගේ අදහස විය.

“මගේ අදහස තමයි තව සති කිහිපයකින් ආහාර මිල ගණන් තව සති කිහිපයකින් විශාල ලෙස ඉහළ ගොස් උද්ධමනකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ වන විට ආහාර සැපයුම්දාමයේ සැලකිය යුතු ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වීම” රියාද් පැහැදිලි කළේය.

මෙහි දී රියාද් යළි යළි තහවුරු කිරීමට උත්සාහා කළේ වර්තමානය වන විට මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැලකිය යුතු බලපෑමක් වාර්තා නොවුණ ද මෙම යුද තත්ත්වය තව දුරටත් තීව්‍රර විමක් සිදු වුණොත් සැලකිය යුතු හානිකර තත්ත්වයන්ට ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

“නමුත් මේක අපට පමණක් බලපාන තත්ත්වයක් නොවෙයි. මේක ගෝලීය අර්බුදයක්” ඔහු පැවසුවේය.

  • තවත් අර්බුදයක්

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් නිර්මාණය වෙමින් පවතින වත්මන් අර්බුදය කිසිම ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට යහපත් නොවන බවත් මේ අර්බුදය සම්බන්ධයෙන් යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම ප්‍රඥාගෝචර බවත් රියාද් කීවේය.

“මේ තත්ත්වය අනිවාර්යයෙන්ම අපේ රුපියල අවප්‍රමාණය විමට බලපානවා. ඒක තවත් වටයකින් අපේ ගෙවීම්වලට බලපානවා. රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක අපේ විදේශ ණයවලට බලපානවා. තවත් පැත්තකින් අපේ ආනයන වියදම් ඉහළ යනවා. මේක ගෙවුම් ශේෂ අර්බුදය තීව්‍රර කිරීමට හේතුවක් වෙනවා. මේ පසුබිම තුළ මැදපෙරදිග අර්බුදය ලංකාවට චක්‍රීය බලපැමක් කරනවා. එක හේතුවකින් නිර්මාණය වන අර්බුදය තවත් ක්ෂේත්‍ර ගණනාවක් වෙත බලපෑම් කරමින් අර්බුදය තව තවත් තීව්‍රර සහ සංකීර්ණ කරනවා. එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ යළි ජාත්‍යන්තර අරමුදලට ගොස් අපේ ගිවිසුම සහ කොන්දේසි යළි සමාලෝචනය කිරීමට සිදුවීමයි.

ශ්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික කලාපයට අයත් සාගර කලාපයේ දී ඇමෙරිකානු නාවුක හමුදාව විසින් ඉරාන යුධ නෞකාවක් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමීම සමඟ මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගර කලාපයට, නැතහොත් ශ්‍රී ලංකාව ආසන්නයට ම පැමිණියේ ය. මේ සමඟ සිදු වූ තවත් හානිකර තත්ත්වයක් වන්නේ ලංකාවේ ම යෝජනාවක් අනුව එක්සත් ජාතීන් විසින් 1971 දී සම්මත කළ ‘ඉන්දියන් සාගරය සාම කලාපයක්’ යන සංකල්පය බිඳ වැටීම ය.

ඉන්දියානු සාගරය සාම කලාපයක් යන්නෙහි අදහස වූයේ ඒ තුළ න්‍යෂ්ටික අවි නැති, විදේශීය හමුදා කඳවුරු නැති, සාමකාමී කලාපයක් විය යුතු බවය.

“මේ සංකල්පය තව දුරටත් වලංගු ද ? කියලා දැන් අපට ප්‍රශ්න කරන්න පුළුවන්’ කතිකාවට ප්‍රවේශයක් ගනිමින් ආචාර්ය රජ්නි ගමගේ පැවසුවාය.

  • ඇමෙරිකානු ඉහළ අපේක්ෂා

එක්සත් ජනපද ජනාධිපතිවරයාට ඔහුගේ කලාපයෙන් බැහැර ශ්‍රී ලංකාව වැනි රටවල් වලින් ඉටුකර ගත යුතු ඉහළ අපේක්ෂාවන් කිහිපයක් පවතින අතර ඔහු එකී අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා අදාළ රටවල්වලට දැඩි බලපෑමක් කරන්නේය. එහි දී යම්කිසි රටක් ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට කන් නොදෙන්නේ නම් හෝ නොසලකා හරින්නේ නම් ඉතා ක්ෂණිකව සහ අනපේක්ෂිතව අදාළ රටවලට ප්‍රතිචාර දැක්වීම එක්සත් ජනපද ජනපතිවරයාගේ ස්වභාවය යි.

මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ආචාර්ය රජ්නි ගමටග් මෙසේ ද ප්‍රකාශ කළාය, “මෙහි ඇති විශේෂත්වය තමයි ඔහු ගන්න පියවර කුමක් ද කියලා අනුමාන කරන්න බැහැ. උදාහරණයක් ලෙස ස්පාඤ්ඤය ගන්න පුළුවන්. ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන්ගේ යුද කඳවුරු භාවිතා කිරීමට අමෙරිකාවට ඉඩ දෙන්නේ නැහැ කියලා ස්පාඤ්ඤය කිව්වා. ඒ සමඟම ඇමෙරිකානු ජනාධිපතිතුමා ස්පාඤ්ඤයට වෙළෙඳ තහනමක් පනවන බවට තර්ජනය කළා. මේ තත්ත්වය ලංකාවට ඉතාම වැදගත්. ලංකාව සහ අමෙරිකාව අතර වෙළ‍ඳ සම්බන්ධතා අපට ඉතාම අවාසිදායකයි. යම්කිසි සුළු සිදුවිමකින් විශාල හානියක් වෙන්න පුළුවන්කම තිබෙනවා. පසුගිය තීරු බදු අර්බුදයේ දී අපි මේ තත්ත්වය දැක්කා. කුඩා රටක් වන ලංකාවට විශාල දෙයක් අහිමි වෙන්න පුළුවන්. එදා තීරු බදු අර්බුදය හමුවේ නිර්මාණය වූ තත්ත්වය අද මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ යළි ප්‍රතිනිර්මාණය වෙනවා”.

  • ආණ්ඩුවේ ස්ථාවරය

ඉරාන යුධ නෞකා සිද්ධියේ දී ජනාධිතිවරයා  ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව නොබැඳ ප්‍රතිපත්තියක් යටතේ, මානුෂීය ප්‍රවේශයකින් කටයුතු කරන බවය. ජනපතිවරයාගේ මේ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව අතර ප්‍රසාදයට ලක් වූ අතර තමා ද ඒ සමඟ එකඟ වන බව ආචාර්ය ගමගේ පැවසුවා ය.

“මම මේ ප්‍රකාශය සමඟ එකඟ වෙනවා. නමුත් ශ්‍රී ලංකාව හමුවේ ඇති අවදානම තවමත් අවසන්ව නොමැති බව මම හිතනවා. තවම අපි ඉන්නේ පළමු පියවරේ. ඉදිරියේ දී කරුණු පෙළ ගැසෙන තත්ත්වය අනුව අපට මුහුණ දිමට සිදුවිය හැකි අර්බුද සහ අභියෝග තවත් සංකිර්ණ වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඉරාන නාවිකයින් යළි ඉරානයට භාර නොදෙන බවට ඇමෙරිකාව ශ්‍රී ලංකාවට බලපෑම් කළ බව විදේශ ජනමාධ්‍ය හෙළි කළා. ඉදිරියේ දී මෙවැනි බලපෑම් තවත් එල්ල වෙන්න පුළුවන් ” ඇය වැඩි දුරටත් පැවසුවා ය.

‘යම්කිසි ආකාරයකින් ලංකාවේ මධ්‍යස්ථභාවයට ඇමෙරිකාව අභියෝග කළොත් එම අභියෝගයට මුහුණ දීමට තරම් ශක්තියක් ශ්‍රී ලංකාව සතුව තිබේ දැයි’ ආචාර්ය රජ්නි මෙහි දී ප්‍රශ්න කළාය.

“ජාත්‍යන්තර නීතිය අපට ආරක්ෂාවක් දෙයි ද?’ ඇය තවත් ප්‍රශ්නයක් විමසුවාය.

මෙහි දී ඇය ගාසා යුද්ධය උදාහරණයක් ලෙස ඉදිරිපත් කළාය.

  • මධ්‍යස්ථභාවයේ අර්බුදය

“ගාසා යුද්ධයේ දී ඊශ්‍රායලය හැසිරෙන ආකාරය දෙස බලන විට අපට පැහැදිලිව පෙනී යනවා ජාත්‍යන්තර නීති බලවත් වෙන්නේ ඒවා ආරක්ෂා කරන ආයතන බලවත් නම් පමණයි. ඒ වගේම ශක්තිමත් රටවල්, බලවත් රටවල් ජාත්‍යන්තර නීතිවලට ගරුකරන්නේ ඒවා ඔවුන්ට අවශ්‍ය නම් පමණයි. මේ පසුබිම තුළ පවා ජාත්‍යන්තර නීතිය ලංකාව වැනි කුඩා රටවල් වලට අවශ්‍යයි. නමුත් එයම පමණක් ප්‍රමාණවත් නැහැ.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය වැනි රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීම ලංකාවට ඉතාම වැදගත්. නමුත් මෙවැනි අස්ථාවර තත්ත්වයක, සෑම අවස්ථාවක දීම මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීම අසීරු වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට අප සෑම අවස්ථාවකම සූදානම්ව සිටිය යුතුයි. ඒ සමඟ තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක තමයි, ‘ඇත්තටම අපට මධ්‍යස්ථභාවය අවශ්‍යය ද ?’ කියන ප්‍රශ්නය. මීට පෙර අපේ නායකයින් ‘නොබැඳි පිළිවෙත’ අනුගමනය කළා. නමුත් එයින් අදහස් කළේ මධ්‍යස්ථභාවය නොවෙයි. ‘බලවතුන්ගේ අරගලයේ දී අපි ඉත්තන් බවට පත් නොවිය යුතු’ බවයි එයින් අදහස් වුණේ. එවකට පැවති ගෝලීය බල අරගලය තුළ බල අරගලයේ ඉත්තන් නොවී සිටීමට තමයි එදා ඒ තීරණය ගත්තේ. නමුත් නොබැඳි පිළිවෙත කියන්නේ ගෝලීය දේශපාලනය ගැන කිසිම ස්ථාවරයක් නො ගැනීම නොවෙයි”

මෙහි දී ආචාර්ය රජ්නි පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ගෝලීය දකුණේ රටක් බවත්, ඒ නිසාම ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැඹුරු ව්‍යුහාත්මක ගැටලු සහ අභියෝග ඇති බවත්ය. දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය, ණයබර උදාහරණ ලෙස ඇය පෙන්වා දුන්නාය.

මෙහි දී ආචාර්ය රජ්නි තර්ක කළේ ශ්‍රී ලංකාව ගෝලීය දකුණ මුහුණ දෙන ප්‍රශ්න වලදී නිහඬව නොසිටිය යුතු බවත් ඒ සඳහා ක්‍රියාකාරීව මැදිහත් වීම ගෝලීය දකුණේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ වගකීම බවත්ය.

ජාත්‍යන්තර නීතිය, වටිනාකම් සහ යුක්තිය වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අවධාරණය කළ ඇය, යුක්තිය, අවිහිංසාව, ආර්ථික ආරක්ෂාව ආදි ගෝලීය වටිනාකම් ආරක්ෂා කිරීම වෙත ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ද ආචාර්ය රජ්නි ගමගේ පෙන්වා දුන්නා ය.

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡාවේ දී ඉන්දියාවේ භූමිකාව නිතර අවධානයට ලක්වේ. නමුත් වත්මන් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ ‘හාවොත් එක්ක දුවන ගමන් – බල්ලොත් එක්ක දඩයමේ යාම’ වැනි එකකි. මෙනිසා ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන ශ්‍රී ලංකාව අතිෂයින් සැලකිලිමත් විය යුතුය.

කතිකාව සංවාදයට එක් වූ හර්ෂ ගුණසේනගේ ආරම්භක අදහස වූයේ ‘වත්මන් යුද්ධය තවත් කොපමණ කාලයක් පවතී ද ? ’ යන්න කෙරෙහි සැලකිලිමත් වීම වැදගත් බවයි.

යුද්ධය ආරම්භ කරමින් යුද්ධය අවසන් කරන දිනය ද ප්‍රකාශයට පත් කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා දින කිහිපයක් තුළ සිය ආරම්භක අදහස වෙනස් කළ බව පෙන්වා දුන් හර්ෂණ ගුණසේන වර්තමානය වන විට යුද්ධය අවසන් වන දිනයක් ගැන ජනපති ට්‍රම්ප්ට පවා නිශ්චිත අදහසක් නොමැති බව කීවේය.

  • දින නියමයක් නැති යුද්ධයක්

“ඉරාන විප්ලවීය හමුදාව කියනවා මස හයක් වුණත් යුද්ධ කරන්න ඔවුන් සූදානම් කියලා. කොහොම වුණත් යුද්ධය කාලයක් ඉදිරියට යාම ඉරානයට වාසියි. මේක කඩිනමින් අවසන් වුණොත් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට වාසියි. අපි හිතාගෙන හිටියේ රුසියා – යුක්‍රේන යුද්ධය කෙටි කාලයක් තුළ අවසන් වෙයි කියලා. නමුත් ඒක තවමත් කරනවා” හර්ෂ ගුණසේන තම ස්ථාවර පැහැදිලි කරමින් සඳහන් කළේය.

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ කලාපීය වරායන් වෙත ප්‍රහාර එල්ල කිරීම සමග නාවික රක්ෂණ ගාස්තු ඉහළ ගොස් ඇති අතර මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දැඩි නෞකා තදබදයක් නිර්මාණය වි ඇත.

“මේ හරහා අපේ අපනයන සහ ආනයනවලට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන් අපේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ තිබෙන්නේ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වෙළෙඳපොළ මැදපෙරදිග කලාපය. ඊට අමතරව අපි මම කලාපයට එළවළු, පලතුරු, කුළුබඩු ඇතුළු තවත් අපනයන රැසක් කරනවා. වත්මන් ගැටුම්කාරී තත්ත්වය හමුවේ මේ සියල්ල අභියෝගයට ලක්ව තිබෙනවා. යම්කිසි ආකාරයකින් යුද්ධය දීර්ඝ කාලයක් ඇදී ගියොත් අපේ අපනයන වෙළෙඳපොළට සිදු වන බාධා හමුවේ තත්ත්වය තව දුරටත් දුෂ්කර වෙන්න පුළුවන්” හර්ෂ ගුණසේන සඳහන් කළේය.

මෙහි දී ඔහුගේ අදහස වූයේ මැදපෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයට, විදේශ සංචිතවලට ද ඍජු බලපෑමක් එල්ල කළ හැකි වාතාවරණයක් පවතින බවයි.

“තත්ත්වය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම හෝ සැපයුමේ ගැටලු මතු විම හරහා යළිත් අපේ උපයෝගීතා සේවාවන්වල මිල ගණන් ඉහළ යාමට පුළුවන්. විදුලි බිල වැඩි වීමට ඇති හැකියාව පවා මේ තත්ත්වය තුළ බැහැර කිරීමට හැකියාවක් නැහැ” හර්ෂ තව දුරටත් පැහැදිලි කළේය.

මැදපෙරදිග වත්මන් අර්බුදය සමඟ රට තුළ නිර්මාණය වි පවතින හෝ නිර්මාණය විය හැකි බවට විශ්වාස කරන බොහෝ ප්‍රශ්න ලංකාවට අලුත් ප්‍රශ්න නොවේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව රසායනික පොහොර ආනයනය කරන ප්‍රධාන රට වන්නේ කටාර් ය, තවත් මැදපෙරදිග රටවල් කිහිපයකින් රසායනික පොහොර ආනයනය කරන තත්ත්වය හමුවේ ඉදිරියේ දී රට තුළ පොහොර හිඟයක් ඇති වීමට අවස්ථාව තිබෙන බව කතිකාව සංවාදයට එක්වෙමින් මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කළේය.

මෙහිදී මහාචාර්ය රොහාන් සමරජීවගේ අදහස වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමකට වඩා සිදුවී ඇත්තේ එහි ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් නාවික රක්ෂණ ගාස්තු විශාල වශයෙන් ඉහළ යාමය. මෙම පිරිවැය දරාගත නොහැකි හෙයිව් විශාල නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අකමැති බව ද මහාචාර්ය සමරජිව කීවේය.

  • රසායනික පොහොර ආනයනය

2001 වර්ෂයේ කටුනායක ගුවන්තොටුපොළට එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව ද රක්ෂණ ගාස්තු ඉහළ යාමේ අර්බුදයට මුහුණ දුන් ආකාරය සිහිපත් කළ මහාචාර්ය සමරජීව වර්තමානයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඇසුරින් ද නිර්මාණය වී ඇත්තේ ලංකාව මුහුණ දුන් අර්බුදය හා සමාන තත්ත්වයක් බව ද ඔහු පැහැදිලි කළේය.

“මේ අර්බුදය හේතුවෙන් මැදපෙරදිග කලාපයෙන් ආනයනය කරන රසායනික පොහොර (NPK) නැති වුණොත් හෝ සැපයුමට බාධා ඇති වුණොක් ඒ හරහා එල්ල වෙන්න පුළුවන් වගා හානි ගැන අපට පසුගිය රසායනික පොහොර තහනම හේතුවෙන් ඇති වුණ තත්ත්වය දිහා බලලා පහසුවෙන් වටහා ගන්න පුළුවන්. නමුත් තත්ත්වය වඩාත් හානිකර වෙන්නේ යුරෝපයේ සහ ඒ ආශ්‍රිත කලාපයේ වගා කටයුතු ඉදිරි දිනවල දී ආරම්භ වෙනවා. ඒ කාලයට ඔවුන්ට විශාල වශයෙන් රසායනික පොහොර අවශ්‍ය වෙනවා. මේ තත්ත්වය තුළ මේ කලාපයේ වගා කරන තිරිඟු වැනි ධාන්‍ය නිෂ්පාදනවල අස්වැන්න පහළ වැටෙයි කියලා මේ දිනවල සාකච්ඡාවක් තිබෙනවා. නමුත් ලංකාවේ වගා චක්‍රය වෙනස්. ඒ වෙනස සමඟ සිදුවිය හැකි බලපෑම ගැන අදාළ විෂය ගැන විශේෂඥයින් සාකච්ඡා කරයි කියලා මම හිතනවා. නමුත් මගෙත් අදහස වන්නේ මේ පොහොර ප්‍රශ්නය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බවයි” මහාචාර්ය සමරජීව මෙහි දී අවධාරණය කළේ පොහොර සැලසුමට යළි බාධා මතු වන තත්ත්වයක් නිර්මාණය වුවහොත් පරණ වැරදි හෝ ආකල්ප වෙත යළි අවධානය යොමු කිරීම ගැටලුව තවත් සංකීර්ණ කරනු ඇති බවයි.

  • විකල්ප අවස්ථා

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරක ව්‍යාපාරයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද මහාචාර්ය සමරජීව සිය අවධානය යොමු කළේ ය. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින ජනප්‍රිය  මත ගණනාවක් ගෙනහැර දක්වමින් ඔහු ඒවා ‘මිත්‍යාවන්’ ලෙස බැහැර කළේය.

ලංකාවට පැමිණ වැඩි පුර වියදම් කරන්නේ යුරෝපීය සංචාරකයින්ය යන අදහසට ප්‍රතිචාර වශයෙන් මහාචාර්යවරයා පෙන්නා දුන්නේ ඉන්දීය සහ චීන සංචාරකයින් වැඩි වශයෙන් ලංකාවට පැමිණීම ගැන සතුටු විය යුතු බවයි.

ඩුබායි ඇතුළු මැදපෙරදිග රාජ්‍යයන් සංචාරක හා ආයෝජන ආකර්ෂණය දිනා ගැනීමට ප්‍රවර්ධනය කළ අදහස් හා ප්‍රචාරක ව්‍යාපාරය වත්මන් ගැටුම හමුවේ දැඩි ලෙස හානියට පත් වූ බව පැහැදිලි කළ මහාචාර්ය සමරජීව මේ තත්ත්ව හමුවේ තවත් ගුවන් තොටුපොළකට කලාපීය වශයෙන් අවස්ථාවක් නිර්මාණය වන බව සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන් ඩුබායි හි  ආරක්ෂාව ඇතුළු ඇමෙරිකානු පහසුකරණය යටතේ සංවර්ධනය කරන ලද විශේෂ ආර්ථික කලාප සම්බන්ධ මිත්‍යාව ඉරාන ප්‍රහාර හමුවේ බිඳී ගිය තත්ත්වයේ වාසිය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව මහාචාර්ය රොහාන් සමරජීව මෙහි දී පෙන්වා දුන්නේය. ඔහුගේ තර්කය වූයේ කොළඹ වරාය නගරය ගොඩනැගීමේ දී ඩුබායි ආදර්ශය කර ගත්ත ද ඒ අවස්ථාවේ  ඩුබායි වෙත තරඟයක් දීමට හෝ විකල්පයක් වීමට කොළඹ වරාය නගරයට හැකියාවක් නොතිබූ බවයි. නමුත් වත්මන් තත්ත්වය තුළ රජය සහ කොළඹ වරාය නගර පරිපාලනය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනිම් පියවරකට යාමට සමස්ත වුවහොත් වාසිදායක තත්ත්වයක් අත්කර ගත හැකි වනු ඇති බව මහාචාර්ය සමරජීවගේ අදහස විය.

“හරි දේවල් කළොත් යම් ප්‍රමාණයකට වරාය නගර ගොඩදාගන්න පුළුවන්කම තියෙනවා. ඒක ලංකාවට තිබෙන අවස්ථාවක්. සුපිරි ගුවන් තොටුපොළක අවස්ථාව අපට දිනා ගන්න බැහැ. නමුත් ඉන්දියාව හරි වෙනත් රටක් ඒ අවස්ථාවත් ලබා ගනී” මහාචාර්ය සමරජීව තව දුරටත් පෙන්නා දුන්නේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website