මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඩොලර් 200 ඉක්මවිය හැකි බවට ඊජිප්තු ජනාධිපති අනතුරු අඟවයි

යුද්ධය නතර කළ හැක්කේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පමණක් බවත් ඔහු එසේ නොකළහොත් තෙල් බැරලයක් ඩොලර් 200 දක්වා ඉහළ යනු ඇති බවත් ඊජිත්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි පැවසූ බව රොයිටර් වාර්තාවක සහන් වේ.

“මම ජනාධිපති ට්‍රම්ප්ට කියනවා: ඔබ හැර වෙන කිසිවෙකුට ගල්ෆ් කලාපයේ යුද්ධය නැවැත්විය නොහැකියි. ජනාධිපතිතුමනි, කරුණාකර යුද්ධය නැවැත්වීමට අපට උදව් කරන්න, ඔබට එය කළ හැකියි,” ඔහු තවදුරටත් පැවසීය.

එක්සත් ජනපද මිලිටරි ආධාර සහ සහයෝගය දිගු කලක් ලබාගෙන ඇති ඊජිප්තුව, ගල්ෆ් අරාබි රාජ්‍යයන්ට ඉරාන ප්‍රහාර හෙළා දැක ඇති අතර පුළුල් කලාපීය යුද්ධයක් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ද ගෙන තිබේ.

යුද්ධය සැපයුම් හිඟයන් සහ මිල ඉහළ යාමේ ද්විත්ව කම්පන ඇති කරනු ඇති අතර, එහි සම්පූර්ණ ප්‍රමාණය තවමත් දැනී නොමැති බව ඊජිත්තු ජනපතිවරයා පැවසීය.

“නිෂ්පාදනය හෝ පිරිපහදු වේවා, බලශක්ති පහසුකම් ඉලක්ක කර ගැනීම ගෝලීය ආර්ථිකයට සහ ඉන්ධන මිල ගණන් වලට ඉතා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි මම බිය වෙනවා. තෙල් බැරලයක මිල ඩොලර් 200 ට වඩා වැඩි විය හැකි බවත්, මෙය අතිශයෝක්තියක් නොවන බවත් වෙළඳපොළ නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබෙනවා” ඊජිත්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි වැඩි දුරටත් පැවසුවේය.

ගෝලීය ආහාර සැපයුම් සඳහා ඉදිරියේදී ඇතිවිය හැකි අර්බුදයක් පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවූ අතර, පොහොර අපනයනයට සිදුවන බාධා මිල ගණන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇති බව සඳහන් කළේය.

“ධනවත් රටවලට මෙය අවශෝෂණය කර ගැනීමට හැකි විය හැකි නමුත්, මධ්‍යම ආදායම් ලබන සහ බිඳෙන සුළු ආර්ථිකයන් සඳහා මෙය දැඩි බලපෑමක් ඇති කළ හැකියි,” ඔහු පැවසීය.

1967 යුද්ධයේදී ඊශ්‍රායලය අල්ලා ගත් සිනායි අර්ධද්වීපය නැවත ලබා දුන් 1979 සාම ගිවිසුමේ සිට ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවතී.

කෙසේ වෙතත්, මෙම සම්බන්ධතාවය බොහෝ විට සීතල සාමයක් ලෙස හඳුන්වනු ලබන අතර, පලස්තීනුවන් ගාසා තීරයෙන් තම දේශසීමාව හරහා බලහත්කාරයෙන් පිටුවහල් කළ හැකි බවට කයිරෝව දිගු කලක් තිස්සේ බිය වී ඇත.

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ප්‍රශංසා කළ සිසි, නොවැම්බර් මාසයේදී ඊජිප්තු නිවාඩු නිකේතනයක් වන ෂාර්ම් එල්-ෂෙයික් හි සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමට පෙර එම ගැටුම නැවැත්විය හැක්කේ ඇමරිකානු ජනාධිපතිවරයාට පමණක් බව පැවසුවේය.

මීට පෙර, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ මහලේකම් ජාසෙම් මොහොමඩ් අල්බුදායිවි, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ කලාපීය බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින්, අත්‍යවශ්‍ය සමුද්‍රීය කොරිඩෝ ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ඔහු පැවසුවේ ඉරාන ආක්‍රමණශීලීත්වය ලෝකයට තර්ජනයක් බවයි.

“බලශක්ති පහසුකම්වලට එරෙහි කුරිරු ඉරාන තර්ජන සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් පමණක් නොව, ගෝලීය බලශක්තියට සෘජු තර්ජනයක් ද වේ,” ඔහු පැවසීය.

මූලාශ්‍රය: රොයිටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website