
ආචාර්ය රංග කලංසූරිය, අන්තර්ජාතික මාධ්‍ය සහයෝගීතාවයේ ආසියා සහ අප්‍රිකා කලාපීය උපදේශක
මාළිමාව ආණ්ඩුව බලයට පත් වූ පසු බලවතුන් සමඟ කටයුතු කරන ආකාරයේ ‘පොඩි අවුලක්’ අපි දැක්කා. ලංකාව ඉන්නේ භූ දේශපාලනිකව ඉතාම වැදගත් තැනක. ඒ නිසා තමයි එක්සත් ජනපදය ලංකාවේ හමුදා පහසුකම් ඉල්ලන්නේ. ඔවුන්ට දියෝගෝ ගර්ෂියා දූපත දුර වැඩියි. මේ උපාය මාර්ගික පිහිටීම නිසා ලංකාව එක්සත් ජනපදයට පමණක් නොවෙයි, ඉන්දියාවට, චීනයට සහ රුසියාවට අවශ්‍යයි. ඒ නිසා අපි කොන්ද කෙළින් තියා ගන්න පුළුවන් තැනක සිටිය යුතුයි
- මැදපෙරදිග අර්බුදය මේ වන විට ගෝලීය අර්බුදයක් බවට පත්ව තිබෙනවා. නමුත් බොහෝ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව මෙහි වඩාත්ම හානිකර බලපෑමට ලක්වන රටවල් අතර ඉදිරියෙන්ම සිටිනවා. මේ ගැන ඔබට හිතන්නේ කුමක් ද ?
ඍජුව මුහුණ දෙන ගැටලු සහ අභියෝග අපට පේනවා. විශේෂයෙන් බලශක්ති අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව ප්‍රවාහන ගාස්තුවල සිට කොත්තු රොටිය දක්වා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම හමුවේ සමස්ත ජනතාවම, ආර්ථිකයම පීඩාවට පත්ව සිටිනවා. නමුත් මැදපෙරදිග කලාපයේ වර්ධනය යුද තත්ත්වය රටක් ලෙස අපට ධනාත්මක අතට හරවා ගත හැකි අවස්ථා ගණනාවක් ද නිර්මාණය කර තිබෙනවා. එය ‘කළු වලාකුළක රිදී රේඛාවක්’ ලෙස සලකන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රජයේ හෝ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව සතු කලාපීය සම්බන්ධතාවලින් ප්‍රයෝජන ගත හැකි පුළුල් අවස්ථාවන් විවෘත වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස අපේ ගුවන්තොටුපොළ සහ වරාය පහසුකම් ගන්න පුළුවන්. මේ වන විට අපේ ගුවන්තොටුපොළ වලට සහ වරායන්ට කලාපීය වශයෙන් විශාල ඉල්ලුමක් වර්ධනය වෙමින් තිබෙනවා. නමුත් අපි තාම ඒ අවස්ථාවන් පුළුල් කරගෙන නැති බව තමයි පේන්න තිබෙන්නේ. මේ වන විට පෙරදිගට යන ගුවන් ගමන් සඳහා ඉල්ලුම වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම ගල්ෆ් කලාපයේ ක්‍රියාත්මක වන ප්රමුඛ ගුවන් සේවා සමාගම් මත්තල ගුවන්තොටුපොළේ පහසුකම් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා. මම හිතනවා මේවා ස්වර්ණමය අවස්ථාවන් කියලා. ඒ වගේම ගල්ෆ් කලාපය හරහා යාත්‍රා කරන නෞකාවලට කොළඹ වරාය තුළ සේවා පහසුකම් ලබා දෙන්න අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාව හරහා දීර්ඝ කාලයක් තිස්සේ අපි දක්ක ‘වරාය හබ්’ එකක් බවට කොළඹ වරාය පත් කිරීමේ සිහිනය සැබැ කර ගන්න පුළුවන්කම තිබෙනවා.
- අපේ වෘත්තිකයින්ටත් මේ අර්බුදය හරහා වැඩි අවස්ථා නිර්මාණය වෙන්න පුළුවන්කම තිබෙනවා ද ?
පැහැදිලිවම අවස්ථාවක් තිබෙනවා. මේ වන විට ගල්ෆ් කලාපයේ රැකියාව කළ මිලියන දෙකකට අධික පිරිසක් යළි ඔවුන්ගේ රටවල් වලට ගිහින් තිබෙනවා. ඩුබායි වල සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් 45,000ක් පමණ යළි බ්‍රිතාන්‍යයට ගොස් තිබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් සංක්‍රමණය වෙලා තිබෙනවා. යම්කිසි කාලයකට පසු මේ යුද්ධය අවසන් වූ පසු මේ රටවල් විනාශයට පත් ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ හරහා විශාල රැකියා ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ නිර්මාණය වෙනවා. ඒ අනුව පුහුණු ශ්‍රමිකයින්ට සහ වෘත්තිකයින්ට මැදපෙරදිග කලාපයේ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මෙහි සරල අදහස තමයි යුද්ධ අවසන් වූ පසු ගල්ෆ් කලාපය තුළ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතුවල දී රැකියා විශාල ප්‍රමාණයක් බිහිවීම සහ ඒ සඳහා ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් නිර්මාණය වීම. ශ්‍රී ලංකාව සතුව ගල්ෆ් කලාපය සමඟ සමීප සම්බන්ධතා පැවතීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ගල්ෆ් රටවල් දක්වන ධනාත්මක ආකල්පය ශ්‍රී ලංකාව වාසිදායක බව මගේ අදහසයි. මැදපෙරදිග අර්බුදය හරහා නිර්මාණය වන ඍණාත්මක තත්ත්වයන්ට අපි අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු අතර ඒ හරහා නිර්මාණය විය හැකි ධනාත්මක තත්ත්වයන්ට අපි නිසි අවධානයකින් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයකින් මුහුණ දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මෙහි දී රාමුවෙන් පිටත කල්පනා කිරීම වගේම සැලසුම් සම්පාදනයත් ඉතාම වැදගත්. අපි මෙවැනි පියවරකට ගියොත් මැදපෙරදිග අර්බුදය හරහා නිර්මාණය වූ හානිකර තත්ත්වයන් කෙටි කාලයක් තුළ ප්‍රතිපූර්ණය කර ගැනීමේ අවස්ථාව අපට ලැබෙනවා.
- අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට මේ සම්බන්ධයෙන් දැක්මක් තිබෙනවා කියා ඔබ විශ්වාස කරනවා ද ?
අලුත් කණ්ඩායමක්, විශේෂයෙන් අත්දැකීම් විරහිත කණ්ඩායමක් බලයට පත් වූ අවස්ථාවක ඕනෑම රටක් මුහුණ දෙන පොදු ගැටලුව මෙහිදී තිබෙනවා. මෙවැනි ජාත්‍යන්තර අර්බුදයක් පවතින පරිසරයක සරල රේඛාවක ගමන් කිරීම නොකළ යුතුයි. නීතියටම, අකුරටම වැඩ කරලත් බැහැ. අනිවාර්යයෙන්ම වංගු ගහන්න වෙනවා. ඒ වංගු ගහන්නේ පුද්ගලික සම්බන්ධතා මත, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පවතින සම්බන්ධතා මත. මේකට ලබා දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි පාකිස්ථානයේ වත්මන් ක්‍රියාකාරීත්වය. මේ වන විට ඉරානය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත්කරුවෙක් ලෙස පාකිස්ථානය ඉදිරියට එමින් තිබෙනවා. මේ සඳහා මූලික වෙන්නේ පාකිස්ථාන ජනාධිපති හෝ අගමැතිවරයා නොවෙයි. පාකිස්ථානයේ හමුදාපතිවරයා. ඔහු තමයි ජනාධිපති ට්‍රම්ප්ට මුලින්ම කතා කරන්නේ. මේක ඉතාම පැහැදිලිවම පුද්ගලික සම්බන්ධතා මත සිදු වුණ දෙයක්. පාකිස්ථාන හමුදාපතිවරයා ට්‍රම්ප්ගේ බෑණගේ හොඳම යාළුවෙක්. නමුත් ප්රශ්නය තියෙන්නේ අපේ ආණ්ඩුවේ නායකයින්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙවැනි සම්බන්ධතා අලුතින් හදා ගන්න වෙනවා. ඒක කාලයක් ගත වෙන, අසීරු දෙයක්. මේ අවස්ථාවේ ලංකාව මුහුණ දෙන ගැටලුව මේකයි. එ් වගේම මේ අවස්ථාවේ දී පුළුල් දේශපාලන දැක්මකින් කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේ දේශපාලනිකව සිතීම සහ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.
- පසුගිය කාලය තුළ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක වූ ආකාරය ගැන ඔබේ අදහස කුමක් ද ?
පසුගිය දවස්වල අපේ අතින් හොඳ දේවල් වගේම වැරදි දේවලුත් සිදු වුණා, නොකළ යුතු දේවලුත් සිදු වුණා. උදාහරණයක් ලෙස අපේ ගුවන් තොටුපොළවල් ඇමෙරිකාවට පාවිච්චි කිරීමට ඉඩ නොදීම ඉතාම හොඳ තීරණයක්, ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුවක්. ඉතාම පැහැදිලිව අපි මේ යුද්ධයේ පාර්ශ්වකරුවෙකු නොවිය යුතුයි. මේ වන විට ඉන්දියාව පාර්ශ්වකරුවෙකු වී සිටිනවා. පාකිස්ථානය පාර්ශ්වකරුවෙකු නොවුණ නිසා තමයි මැදිහත්කරුවෙකු ලෙස ඉදිරියට යන්නේ. මම කියන්නේ ලංකාවත් මැදිහත්කරුවෙක් මිස පාර්ශ්වකරුවෙකු නොවිය යුතුයි. එක්සත් ජනපද ගුවන් යානාවලට අපේ ගුවන්තොටුපොළ පාවිච්චි නොකිරීමට ඉඩ නොදීමට ගත් තීන්දුව තුළ අපි මේ පාර්ශ්වකරුවෙකු නොවීමේ භූමිකාව මනාව ඉටු කළා. නමුත් ජනාධිපතිවරයා මේ තීරණය පාර්ලිමේන්තුවේ දී හෙළි නොකළ යුතුව තිබුණා. ඒක ‘නොකිව යුතු කතාවක්’ ලෙස මම දකිනවා. මෙවැනි ක්‍රියාවලින් එක්සත් ජනපදය සහ බටහිර රටවල් සමඟ අනවශ්‍ය හිත් අමනාපකම් ඇති වෙනවා. විදේශ අමාත්‍යවරයා මේ ප්‍රකාශය කළා නම් සිදුවිය හැකි හානිය අඩුයි. සාමාන්‍ය උපාය මාර්ගික සන්නිවේදනය තුළ මෙවැනි ප්‍රකාශ රාජ්‍ය නායකයා කරන්නේ නැහැ, ‘ලීක් වෙන්න’ හරිනවා පමණයි. ඒ වගේම මෙවැනි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේ පාරම්බාන්න ගියාම අපේ මැදිහත් විදේශ ප්‍රතිපත්තියට හානි වෙනවා. ඒ වගේම ඉරාන යුද නෞකා සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණය ඉතාම හොඳයි. ඒක ජාත්‍යන්තරව ප්‍රසාදයට ලක් වුණා. මෙවැනි සංවේදී සිදුවීම් රාජ්‍ය තාන්ත්‍රිකව කළමනාකරණය කරගත යුතුයි.
- පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපද සහ රුසියානු ප්‍රබලයින් කිහිප දෙනෙක් ලංකාවේ නිල සංචාරවල නිරත වුණා. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණියා. මහ බලවතුන් සමඟ මාළිමාව ආණ්ඩුව පවත්වන සම්බන්ධතා ගැන ඔබ මොකද හිතන්නේ ?
මාළිමාව ආණ්ඩුව බලයට පත් වූ පසු බලවතුන් සමඟ කටයුතු කරන ආකාරයේ ‘පොඩි අවුලක්’ අපි දැක්කා. ලංකාව ඉන්නේ භූ දේශපාලනිකව ඉතාම වැදගත් තැනක. ඒ නිසා තමයි එක්සත් ජනපදය ලංකාවේ හමුදා පහසුකම් ඉල්ලන්නේ. ඔවුන්ට දියෝගෝ ගර්ෂියා දූපත දුර වැඩියි. මේ උපාය මාර්ගික පිහිටීම නිසා ලංකාව එක්සත් ජනපදයට පමණක් නොවෙයි, ඉන්දියාවට, චීනයට සහ රුසියාවට අවශ්‍යයි. ඒ නිසා අපි කොන්ද කෙළින් තියා ගන්න පුළුවන් තැනක සිටිය යුතුයි. නමුත් පසුගිය කාලය තුළ සීමාව ඉක්මවා බටහිරට ගැති වන ස්වභාවයක් අපි දැක්කා. බ්‍රික්ස් සමුළුව සම්බන්ධ සිද්ධියේ දී රුසියානු තානාපතිවරයා ජනාධිපති අනුරට පොඩි සමච්චලයක් පවා කළා. ගෝලීය දේශපාලනය සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක් දැරුවත් භූ දේශපාලනිකව අපි ස්ථිරසාරව සිටිය යුතුයි, ස්වාධීනව සිටිය යුතුයි. ඒ වගේම අපි දකිනවා ඉරාන ගැටුමේ දී ගෝලීය බලය දෝලනය වෙන්නේ කවර දිසාවකට ද කියලා. මේ යුද්ධයේ දී එක්සත් ජනපදය දැනටමත් පරාජයට පත්ව අවසන්. ඉරාන ආණ්ඩුව මාරු කරන තෙක් මේ යුද්ධයෙන් එක්සත් ජනපදය පරාදයි. ඉරානය දිනන්නේ කොහොමද ?, ඉරානය දිනන්නේ චීනය සහ රුසියාව නිසා. ඉරානයේ ජයග්‍රහණය පිටුපස ඉන්නේ චීනය සහ රුසියාව. මේ තත්ත්වයම තමයි පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇති වුණ දින 12 යුද්ධයේ දීත් සිදු වුණේ. මෙම ගැටුමේ ජයග්‍රාහකයා වුණ පාකිස්ථානය පිටුපස හිටියේ චීනය. මේ අනුව අපට පැහැදිලි වෙනවා ගෝලීය බලතුලනය බ්‍රික්ස් සංවිධානය වෙත ගමන් කරනවා. මේ පසුබිම තුළ ලංකාව ගෝලීය බලතුලනය ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. නව ගෝලීය බලවතුන් සමඟ ලංකාව සමීප සබඳතා පවත්වා ගත යුතුයි. විශේෂයෙන් චීනය සහ රුසියාව සමඟ සම්බන්ධතා ශක්තිමත් කළ යුතුයි. ඔවුන් ඓතිහාසිකව අපට උපකාර කර තිබෙනවා. පසුගිය යුද සමයේ, පශ්චාත් යුද සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ දී ලංකාවට ඍජුව උදව් කළේ චීනය සහ රුසියාවයි. එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් ලංකාවට විරුද්ධවයි කටයුතු කළේ. ඉන්දියාව සමඟ කටයුතු කරන විට පාකිස්ථානය සහ චීනය ගැන සංවේදී විය යුතුයි. ඉන්දියාවට දක්වන සැලකිල්ල පාකිස්ථානයටත් දැක්විය යුතුයි. මීට පෙර සිටි පාලකයින් මේ තත්ත්වය වටහා ගෙනයි කටයුතු කළේ. වත්මන් ගෝලීය දේශපාලන ප්රවණතා හමුවේ වත්මන් ආණ්ඩුව මීට වඩා සංවේදීව හා සවිඥානිකව කටයුතු කළ යුතුයි.
- අපනයන වෙළඳාමේ දී, විදේශ ආයෝජනවල දී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන සමඟඍජුව ගැටගැසී සිටින ශ්‍රී ලංකාවට ඔබ කියන ආකාරයේ ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාමට පුළුවන් ද ?, එවැනි හැකියාවක් වාමාංශික යැයි කියන මාළිමාව ආණ්ඩුවට තිබෙනවා ද ?
ආර්ථිකය සහ දේශපාලනය අතර පවතින සම්බන්ධතා අපි වටහා ගත යුතුයි. අපට මූලික වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන්නේ ආර්ථික සම්බන්ධතාවක්, එහි යම්කිසි දේශපාලන බලපෑමක් තිබුණත් ප්රමුඛ වෙන්නේ ආර්ථික බලපෑම. අනික් කාරණය තමයි මේක ජේ.ආර්. ජයවර්ධන කපාපු පාර, මේ පාරේ වංගු ගහන්න බැහැ, කෙළින්ම යන්න වෙනවා. අනික මේ කරන්නේ අපි පමණක් නොවෙයි. චීනයත් මේක කරනවා. විවෘත ආර්ථිකය තුළ කටයුතු කරන ගමන් චීනය කොමියුනිස්ට්වාදී දේශපාලනය කරනවා. මම කියන්නේ ආර්ථික සමබන්ධ ගමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් දේශපාලනිකව අපට සෑම කඳවුරක් සමඟම ගනුදෙනුවකට යන්න වෙනවා. ඒක මේ වන විට මනාව පැහැදිලි වෙනවා. අපිට රුසියාවෙන් තෙල් ඉල්ලන්න සිදු වුණා. දෙරට අතර යම් කිසි ධනාත්මක සම්බන්ධයක් තිබෙන නිසානේ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පසුගිය දා ලංකාවට ආවේ. ඊට පෙර රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ආවා. අපි අමතක නොකළ යුතුයි, අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසු බ්‍රික්ස් සමුළුවට අරාධනා කළත් ගියේ නැහැ. ඒ නිසා රුසියාව යම්කිසි හිත් අමනාපයකින් හිටියේ. නමුත් අපිට තවමත් රුසියාවට කතා කරන්න පුළුවන්. ඒ අඩිතාලම දැම්මේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය.
- ඔබ ද ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවේ භූ දේශපාලනික පිහිටීමේ වැදගත්කම, වාසි ගැන කතා කරනවා. ඒත් අපිට මේ පිහිටීමෙන් ඇත්තටම වාසියක් වුණා ද ?
වාසියක් ගත්තේ නැහැ කියලා කියන්න බැහැ. ජේ.ආර්. ජයවර්ධන මේ තත්ත්වය වටහා ගෙන සිටි නිසයි 1977 දී විවෘත ආර්ථිකයට ගියේ. ලෝකයේ මුලින්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ගිය රටවල් අතර ලංකාව මුලින්ම ඉන්නවා. නමුත් ජනවාර්ගික අර්බුදය නිසා අපට ඒ වාසිය ලබා ගන්න නොහැකි වුණා. නමුත් අපි වැරදි තීන්දු ගණනාවක් ගත්තා. වරාය ජනසතුකරණය, තෙල් සහ ගෑස් සමාගම් රජයට පවරා ගැනීමට ඒ අතර ප්‍රධානයි. මේ ජනසතුකරණයේ සම්පූර්ණ වාසිය ලබා ගත්තේ සිංගප්පූරුව. අපි ෂෙල් සමාගමට යන්න කිව්වා. ෂෙල් සමාගම සිංගප්පූරුවට ගියා. අදත් සිංගප්පූරු වැසියෝ ඒ තීරණය සම්බන්ධයෙන් ලංකාවට ස්තුති කරනවා. ඔවුන් හිතනවා මේ අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකාව නිසා කියලා. අපේ බොහෝ නායකයෝ භූ දේශපාලනික යථර්ථය පිළිගත්තේ නැහැ, වටහා ගත්තේ නැහැ. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය කළමනාකරණය කළ ආකාරය වැරදියි. ඒ නිසා තමයි ප්‍රශ්න බොහොමයක් නිර්මාණය වුණේ.
- ඔබ ජනමාධ්‍ය සම්බන්ධ විශේෂඥයෙක්. මැදපෙරදිග අර්බුදය වාර්තාකරණය සම්බන්ධයෙන් ඔබගේ අදහස් දැන ගන්න පුළුවන් ද ?
මේ මාධ්‍ය වාර්තාකරණයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය කියන තරමක් කියන්නේ බොරු. ඇමෙරිකානු මාධ්‍ය ‘පච මොල්’වාගේ තමයි මැදපෙරදිග තත්ත්වය වාර්තාකරණය කරන්නේ. ලංකාවේ තත්ත්වය ගත්විට, ලංකාවේ විශ්ලේෂණාත්මක වාර්තාකරණයක් සිදුවන්නේ නැති තරම්. මේ සම්බන්ධ ලංකාවේ වාර්තාකරණය ‘හරිම’ අවුල්. ලංකාවේ මාධ්‍යකරුවන් බටහිර මාධ්‍ය වෙත තමයි වැඩියෙන් රැදී සිටින්නේ. මේ නිසා ලංකාවේ ජනතාවට මැදපෙරදිග යුද්ධයේ නිවැරදි තොරතුරු නොලැබෙන බවයි මගේ අදහස.
- ලංකාව මුහුණ දෙමින් සිටින අර්බුදය සහ එම අර්බුදය හමුවේ මෙරට ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔබට අදහසක් තිබෙනවා ද ?
වාර්තාකරණයේ බරපතළ අවුලක් තිබෙනවා. මාධ්‍ය ආයතන දේශපාලනීකරණය වෙලා අවසන්. රූපවාහිනී නාළිකා ගත් විට ඔවුන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය ඉතාම ප්රකටයි, ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍ර, පුද්ගලික න්‍යාය පත්‍ර තිබෙනවා. මේවා පසුගිය කාලයෙත් තිබුණා. නමුත් වර්තමානය වන විට එහි පැහැදිලි වර්ධනයක් දකින්න පුළුවන්. සමාජ මාධ්‍ය ගත් විට තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. බොහෝ සමාජ මාධ්‍ය වේදිකා අනුග්‍රාහකත්වය මත කටයුතු කරන බවක් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් ආණ්ඩු විරෝධය හදන්න වෙහෙසෙනවා. ආණ්ඩුවත් මේ ආකාරයේ සැලසුම් සහගත ප්රචාරක ව්‍යාපෘතියක ඉන්න බව පේනවා. නමුත් ආණ්ඩුවට උපාය මාර්ගික සන්නිවේදන වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා සන්නිවේදන පැත්තේ බරපතළ අවුලක් තිබෙනවා. පැහැදිලි සන්නිවේදන උපාය මාර්ගයක් නැතිව මෙවැනි අර්බුදකාරී අවස්ථාවල කටයුතු කරන්න බැහැ. ඉතාම පැහැදිලිව ආණ්ඩුවට උපාය මාර්ගික සන්නිවේදන වැඩපිළිවෙළක් නැති බව පේනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න තව තවත් සංකීර්ණ වෙන්නේ.
රතුඉර පුවත්පතේ 2026 අප්‍රේල් 05 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි
සටහන – භාතිය බරුකන්ද














