මැදපෙරදිග කලාපයේ වර්ධනය වන යුධ ආතතිය හමුවේ ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත්සමහර රටවල් ශ්‍රී ලංකාවේ වරායන් හමුදා කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ඉල්ලා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මැදපෙරදිග යුද්ධයේ ප්‍රතිවිපාක පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ එවැනි තත්වයක් තුළ තමන් කිරීමට අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව රජය ජනතාවට දැනුම් දිය යුතු බවයි.
“ මැදපෙරදිග ගැටුම සමඟ රටට මුහුණ දීමට සිදුවනනවතම වර්ධනයන් පිළිබඳව රජය ජනතාවට ඇත්ත ප්‍රකාශ කළ යුතුයි” විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.
ඒඩන් බොක්ක රතු මුහුද සමඟ සම්බන්ධ කරන පටු මුහුදු කොරිඩෝව වන බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සෙනසුරාදා මැදපෙරදිග යුද්ධයට එක් වූ යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද තර්ජනය ගැන සඳහන් කරමින් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේ එය ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන බවයි.
“බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය යනු වාර්ෂිකව නැව් 25,000ක් ගමන් කරන ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගක්. යම්කිසි ආකාරයකින් මෙහි ද අවහිර කිරීමක් සිදුවුවහොත් ශ්‍රී ලංකා වරායන්ට ද බලපෑම් ඇති විය හැකියි. එසේම, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ වර්ධනය වන ආතතිය ඉන්දියානු සාගරයේ ද හමුදාකරණයට හේතු විය හැකියි. සමහර රටවල් දැනටමත් ශ්‍රී ලංකාවේ වරායන් හමුදාමය අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර ඉල්ලා ඇති බවට අපට තොරතුරු තිබෙනවා. මෙවැනි අවස්ථාවක දී රජය කුමක් කිරීමට අදහස් කරන්නේද යන්න පිළිබඳව රටට දැනුම් දිය යුතුයි,” ඔහු තවදුරටත් පැවසීය.
“එපමණක් නොවෙි මැදපෙරදිග ගැටුම උග්‍රවීම ශ්‍රී ලංකාවේ ආනයන වියදම් වැඩි කළ හැකි අතර අපනයන අදායම අඩු කළ හැකියි. නෞකා ප්‍රවාහනයට අදාළ රක්ෂණ වාරික වැඩි කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩවල පිරිවැය වැඩි කළ හැකි අතර එමඟින් ශ්‍රී ලංකාවේ උද්ධමනය තව දුරටත් ඉහළ යා හැකියි. මේ තත්ත්වය තුළ ජනතාවට සහන දීමට සහ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය අවංකව පියවර ගත යුතුයි” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය.















